Thursday, September 12, 2013

වෛශ්‍යාවනි දුටිමි ඔබ



වෛශ්‍යාවනි දුටිමි ඔබ
බුදු කුටියෙ නොව සිර කුටියෙ
දෙනෝ දාහක් දනා පොර කන
තැනෙක සාක්කු කූඩුවේ

සිනා වුණා ඔබ
හැඬුමක්මැයි දුටුවෙ මම
කුණාටුවට සැලි කනාටු රුක බඳ
සිපනා හැටි රළ නඟනා ලුණු සඳ

ඉකියක් ගිල ගත්
හැම අකුරකට ම
සිනා විය උසාවිය
නඩුකාරතැන සමඟ
"හොඳ වැඩේ හොඳ වැඩේ"
ගැහැනියක හඬ ඇසිණ

වසා ගමි මුහුණ මත
බර ව ගිය ඉවුරු ඇස
මෙහෙව් ලොව දුටුවොතින්
හඬන තෙතබරිත හද
නොඅමතාද මට ඒ නමින්?
එහෙත් මට නුඹ සමඟ
ළෙහිකමක් ඇතිය ළය
සිනාසෙන රූකඩ පන්තියට වඩා ළඟ

ගරු ගාම්භීර මහතුනි නෝනාවරුනි
ගලවා ගනු මැන කබාය උරිසෙන්
අයිති නැත මා ඔබේ පන්තියට
ඇසෙන සඳ වර නඟන සිනා හඬ
සමඟ ඇගෙ සසල හඬ

"හිටියෙ නෑ මට පියෙක්
පැතුවා වුවත්..
නෑ මගේ දුවටත් පියෙක්
ඒ වගේ..."

ලාලන ලෝල පතන මහතුනි
තරු අමතලා හඬන මහතුනි
කෘශ සිරුර හිමි උත්තමාවට
ඉතින් නුඹ හිනැහීද මහතුනි?

Picture -
Alexey Slusar 1961- Ukrainian

3 comments:

  1. කඳු........ගංගොඩවිල උසාවිය අපේ ගෙවල් කිට්ටුව නිසා මම ඉස්සර ගිහින් වාඩිවෙලා නඩු අහනවා බලන් ඉන්නවා. මේ වගේ අවස්ථාවලදී ඇය පත්වන අපහසුතාවය කියලා වැඩැක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ වගේ නඩු විතරක් නෙමේ.. දික්කසාද නඩුවකදී වුණත්, පාර්ශවයන් මහා ජනකායක් ඉදිරියේ විශාල වශයෙන් අපහසුවට පත් වෙනවා.. තවමත්, අපේ රටේ ක්‍රමය සියුම් සංවේදීතාවන්ට ප්‍රතිචාර දක්වන්නක් නොවෙයි.

      Delete
    2. අපේ රටේ "ගණිකාවන් සහ උසාවි" කියන්නේ අමුතුම කතන්දරයක්.කොලඹ ආසන්න ප්‍රදෙශ වල උසාවි වල තමයි මේ කතන්දරේ බහුලවම සිද්ද වෙන්නේ.අපෙ රටේ ගණිකාවක් පහසුම මිලකට ගන්න පුලුවන් තැන තමයි උසාවිය.සාමාන්යෙන් ගනිකාවකට 500ක විතර දඩේකින් ශේප් වෙන්න පුලුවන්.නමුත් පහල පන්තියේ ගණිකාවො උසාවි වලදී ඉතාම අසරනයි.පොලිසියට මාට්ටු වෙනකොට ගොඩක් වෙලාවට ඇඳි වතත් නැති තරම්.ඉතින් මේ බිස්නස් එකේ කීයක් හරි හොයාගන්න අහින්සක අතරමැදියො අඩුම මිලට ගනිකාවන් අල්ලගන්න සෙට් වෙන්නේ උසාවි වලට තමයි.ඔවුන්ට ප්ලේස් වලට බස්සන්න , කොමිස් ගහන්න , වියදමක් නැතුවම සැප ගන්න , වගෙ පොඩි පොඩි බිස්නස් ඒරියා වලට දවසකට පහසුවෙන්ම හතර පස් දෙනෙක්වත් සෙට් කරගන්න පුලුවන්.මෙව බහුතරයක් කරන්නෙ බන්ධනාගාර නිලදාරියො නැත්තම් පොලිසියෙම එවුන් තමයි.ගනිකාවකගෙ ජීවිතේ තැලි තැලී එකතැන කැරකෙන චක්‍රාකාර එකක්.පොලිසියෙන් උසාවියට උසාවියෙන් නැවත බිස්නස් එකට නැවතත් පොලිසියට වගේ තමයි කැරකෙන්නේ.ගනිකාවො කිව්වම සමාජයේ එක එක බ්‍රෑන්ඩ් ඉන්නවනේ.මම මෙ ලිව්වෙ තවත් එක බ්‍රෑන්ඩ් එකක් ගැන විතරයි.(මෙව ලියන්න ගත්තොත් නවත්තගන්න අමාරුයී).

      Delete