Monday, September 23, 2013

වස්සාන වලා

Eric Sloane, Marsh

මම කුඩා කාලයේ නවකතා ලිවීමි. ඒවා කුඩා දැරියකගේ සුන්දර සිහින දාමයන්ගෙන් යුක්ත විය. මඩොල්සිම කඳුවැටිය, තුරු වෙළාගත් ලියවැල්, සාමාන්‍ය මිනිස් ඇසට පෙනෙන නොපෙනෙන කෘමීන්, දෙව් ලොවට පාර කිව් බත් කූරන්, කඳු බිම් සිට මිටි තැන් බල බලා මනමාලියකගේ සේල වියමින් ඇදුණු කුඩා දිය පහරවල්, නම නොදත් නන් වෛචිත්‍රික පුෂ්පයන් මගේ විෂය පථයේ මහත් වැදගත්කමින් යුතු වූ අංගයන් විය.

මා ලියූ එවැනි දෑ කියවමින් රස විඳි කුඩා මිතුරියන් කැලක් ද මා සතු විය. එක් දිනක පාසල් ඇරී ගෙදර ගොස් තවත් පරිච්ඡේදයක් ලියා ගෙන පසු දින මා පාසලට එන තුරු ඔවුන් බලා සිටි අයුරු විස්මය එලවන සුලු ය. මා ලියූ දෑ කියවා ඔවුහු සිනාසුණහ; හැඬුවහ. පුදුමාකාර ලෙස මිනිසුන් ජීවත් කරවන්නත් අවැසි විට ඔවුන් නසා දැමීමටත් කුඩා කතන්දරකාරියක වූ මට හැකි විය.

ගමේ බාල දරුවන් වූ අපේ සන්තෝෂය ගලා ගියේ මහත් වූ වස්තු සමුදායන් කරණ කොට ගෙන නොවේ. ඉර හඳ තාරකාවන් අප හට සෙවණ සැදූ අතර ලැහැබ්වල පිරි තුරු ලතාහු අපට ගඩා ගෙඩි සදා දුන්නහ.

මගේ ළදරු කාලය මට එතරම් පැහැදිලි නැතිමුත් එය අම්මා තාත්තාගේද ආච්චි සීයාගේද ආදරයෙන් පරිපූර්ණත්වයට පත් වූ ඉතා සුව පහසු දිවි පෙවතක් ගත කළ හුරුබුහුටි ළදැරියකගේ කතන්දර පරිච්ඡේදයක් විය.

ඉස්තරම් උපන්දින සාදයන්ගෙන් ද සමකාලීන සෙල්ලම් බඩුවලින් ද ඇඳුමින් පැළඳුමින් ද ඇය ආඪ්‍ය ව සිටියා ය. පින්තූර පොත් පෙරළන විට සහ මා පසුකාලීන ව ගත කළ ජීවිතය පිළිබඳ මෙනෙහි කරන විට එහි සිටින්නේ පුංචි සුරංගනාවියක මිස මා නම් ළදැරිය නොවන බව මට සිතේ.

එ කල තාත්තා සේවය කළේ නවෝදයෙහි ය. ඔහු සිය මිතුරන් සමඟ මාගේ උපන් දින සාද සැරසූ බව ද නිවස'සල මඩොල්සිම කඳුවැටිය නැංග බව ද මා මනසෙහි චිත්‍රණය වෙයි. එ දින අම්මාට ද තාත්තා සමඟ කන්ද නැඟීමට අවශ්‍ය වූ නමුත් අම්මාව ගේ අසල වෙල පසු කර යන අතර වෙලෙහි මඩ මත හිට වූ තාත්තා සිනාසෙමින් පලා ගියේ ය.

ලීවලින් කළ දෙපසට පැද්දෙන විශාල තොටිල්ලක් එ කල මට හිමි විය. "කෑම්.. කෑම්..." යි කියමින් කුඩා කල මා එහි සිට හඬන විට ආච්චී කැවුම් උයා දුන් බව මා අසා ඇත.

තාත්තා සේවය කළේ දිගාමඬුලු ප්‍රදේශයේ බැවින් ඔහු සැම විට ම නිවසෙහි පසු නොවිණ. දිනක් නිවාඩුවට ගෙදර පැමිණි තාත්තා ආපසු යෑමට සැරසුණු විට මා ද රැගෙන යන මෙන් මම මහ හඬින් හැඬීමි. ආච්චි මා රවටාගෙන ගෙය අසල වෙල්යායෙහි වූ කමතක් වෙත මා රැගෙන ගියා ය. මගේ අතට පිදුරුපතක් දුන් ඇය මා සනසන්නට වෙර දැරුවා ය. එසේ වුව ද, මගේ හැඬීම නවතාගන්නට ඈ අපොහොසත් වූවා ය. මගේ කෑ මොර දීම නිසාවෙන් තාත්තා මා රැගෙන යාමට කැමති වූවේ ය.

මම මහත් සතුටින් යුතුව තාත්තා සමඟ ඔහුගේ සේවා ස්ථානය පිහිටි අම්පාර ප්‍රදේශය බලා ගමන් කළෙමි. තාත්තා නතර ව සිටියේ කාර්යාලය අසල ම වූ කාමරයක ය. කාර්යාලය භූමියේ පසෙක නිල් මහනෙල් ගැවසි පොකුණක් පිහිටා තිබූ අතර එය වටා ගිය ගල් තලාවක් විය. මගේ සිත දැඩි ව අල්ලාගත්තේ එ'මනරම් පොකුණ ය.

තාත්තාගේ කාර්යාල කාමරයෙන් එ පිට සිටි 'සීලා', 'චන්ද්‍රා' ආදී නම්වලින් ඇමතූ ලිපිකාරිනියන් සහ ඔවුන් අසල වූ 'යතුරු ලියන' නමින් හැඳින් වූ අකුරු මවන අපූරු යන්ත්‍රයන් මට මතක ය. තාත්තා මා බලා ගැනීමට ඒ අතරින් කෙනෙකුට පැවරුවේ ය. ඇය මා ඇගේ ගෙදර ගෙන ගියා ය.

ඒ ගෙදර ඉදිරිපිට අතුපතර ගැවසි අඹ ගසක් විය. එහි එහෙ මෙහෙ දුවන ලේනන්ගේ අඩුවක් නොවීය. එහි තාත්තාගේ යෙහෙළියගේ සොහොයුරියගේ දරුවන් දෙදෙනෙකු ද සිටි අතර මම ද ඔවුන් සමඟ ඇගේ කාමරයේ බිම නිදා ගතිමි.

තාත්තා දිනක් මෝට සයිකලයෙන් ඔහුගේ යෙහෙළිය හා මා පොසොන් තොරන් බැලීමට කැඳවාගෙන ගියේ ය. එ තරම් විචිත්‍ර තොරන් මා කිසි දිනෙක දැක තිබුණේ නැත. ඒ තොරන් මත බෝනික්කෝ ගමන් කරමින් සිටියහ; නටමින් සිටියහ.

"අනේ ළමය කළු වෙලා" කට්ටිය ම නැවත ගෙදර ආ මගේ හිස අතගාමින් ඇසුවහ. "මේ කොහෙන්ද මේ බෝ කරන් ඇවිත් තියෙන්නෙ.." "උකුණො" ආච්චී දැති පනාවක් ගෙන තාත්තා කැටුව ගිය දා සිට ම නොකැපූ කොණ්ඩය පීරන්නට වූවාය. බිමට වැටුණු කුඩා සතුන් සී සී කඩ දිව යන්නට විය. (ඊයා..)

නැවත ගෙදර කැඳවාගෙන ආ මම අවුරුදු තුන පිරීමටත් පෙර අම්මා විසින් මොන්ටිසෝරියට භාර දෙනු ලැබුවෙමි. එසේ වුව ද මා අන් ළමුන් මෙන් එහි දී කිසිදු අකුරක් නූගත් අතර පොත් පිටු පිරෙන්නට චිත්‍ර ඇඳීම පමණක් කළ බවත් මා අසා ඇත.

ඊ ළඟ ජනේරුවේ මා පාසලට භාර දීමට අම්මාත් තාත්තාත් මෝට සයිකලයෙන් පාසලට පැමිණියහ. මා එහි ඉදිරිපස නැඟ ගියෙමි. අප පදිංචි ව සිටියේ පැරණි තාලයට සීයා විසින් සාදන ලද අලංකාර පැරණි නිවසක වන අතර පාසල් යෑමට මුල් වරට සුදු ගවුමක් ඇඳි එ දින නිවස ඉදිරිපිට ගෙමිදුලෙහි මල් දරා හිනැහෙමින් සිටි රතු රෝස මල් ගසෙහි මල් පොකුරු අල්ලාගෙන හිනැහි හිනැහී මම ඡායාරූපයකට මුහුණ දුන්නෙමි.

එ දින මා පාසලේ නවතා හැරී යාමට අම්මාටත් තාත්තාටත් නොහැකි විය. මම ඔවුන් නොමැති ව මහ හඬින් හඬන්නට පටන් ගතිමි. ඉතින්, විදුහල්පතිතුමාගෙන් අවසර ගෙන ඔවුහු මා ද රැගෙන ගියහ. යන අතරමඟ දී, ඔවුහු නගරයෙන් දින පෙරළන කුඩා ඔර්ලෝසුවක් මිල දී ගත්හ.

එහි එක් දිනක් පෙරළිණ. මම නොහඬමින් දෙවැනි දිනයේ පාසල් ගියෙමි. මා සමඟ අපේ නිවසට පහළ නිවසේ මගේ වයසේ තවත් දැරියක් විවා ය. මොන්ටිසෝරියේදී මම ඇය ව දැන සිටියෙමි. අපේ අම්මලා අප ඔසවාගෙන නිවසේ සිට වෙල් යාය මැදින් වැටි පිනි ගහණ කුඩා නියර දිගේ අප ව මහ පාරට ගෙනත් ඇරලූහ. එතැන් සිට අප ගමන් කළේ සීටිබී එකේ ය. පාසල පිහිටා තිබුණේ අප බසයට ගොඩ වෙන තැන සිට හැතැප්මක දුරිනි.

පාසලේ මා අසල හිඳ සිටි දැරිය එකදු වචනයක් හෝ කතා නොකොට බියපත් මුහුණින් බලා සිටින දැරියකි. මම ඇය ව ඉන් පෙර දැක තිබුණෙමි. ඇගේ නිවස පිහිටියේ අපේ නිවසට ඉහළින් වූ කඳුගැටය ආරම්භයේ තුරු වදුලින් ගැවසුණු මල් ඔය අසල බිමක ය. මා ඉන් පෙර අම්මාත් සමඟ එහි ගොස් තිබුණෙමි. එහි දී ද ඇය කිසි විටෙක මා සමඟ කතා නොකළ අතර බියෙන් සැඟවිණි.

මුල් දිනයේ පාසල පටන් ගැනීමේ සීනුව නාද වූ පසු පන්ති භාර ගුරුතුමී අප ව පෙළ ගස්වා පාසල් ගොඩනැඟිල්ලක් අසල හිස් බිමක් වෙත ගෙන ගියා ය. එහි දී පන්සිල් ගත් පසු පාසල් ගීතය කියා දෙනු ලැබිණි. 'පින්සිපොල්' විසින් කතාවක් ද කරනු ලැබිණි. පසු ව මගේ මව විසින් මා නිවැරදි කරනු ලබන තුරු මා සිතා සිටියේ විදුහල්පතිතුමාගේ නම 'පින්සිපොල්' කියා ය. කතාවෙන් අනතුරු අපි එකා පිටුපස එකා සීරුවෙන් සිටගෙන සිටියෙමු. එ දින තද අව්ව සහිත ජනේරුවේ තුන්වැනි බදාදා දිනය විය. අත් පා එහෙ මෙහෙ ලෙළවමින් අපි ව්‍යායාම්වල යෙදුණෙමු. මගේ පාසල් දිවියේ මුල් ම දවස එසේ ඇරඹී ගත විය.

දිනක් තාත්තා ගෙදර එන බව දැන ගත් අම්මා මා ද කැටුව නගරයට ගියා ය. අම්මාත් මමත් සිටගෙන සිටියේ නගරයේ පත්තර කඩය ඉදිරිපිට ය. හවස හයට පමණ තාත්තා පැමිණියේ ය. "ඇයි ආවේ" අම්මා ඇසුවා ය. "ඇයි එහෙම අහන්නෙ" තාත්තා ඇසුවේ ය. එයින් පසු අම්මාත් තාත්තාත් අතර වූ කතාබහ මට පැහැදිලි නොවී ය. "මට දැන් ආපහු යන්න වෙලාවක් නෑ.. අදට විතරක් මං ගෙදර එනවා." තාත්තා කීවේ ය.

Picture - Eric Sloane, American, 1905 - 1985

6 comments:

  1. මේ ඔයා ගොතන කතාවක් ද කඳූ?

    ReplyDelete
  2. ලස්සන කතාවක්, හැබැයි මේකෙත් වැරදුණ අකුරු තියනවා, ඒවා හදන්ට.

    ReplyDelete
    Replies
    1. අසීරුයි අවධානය යොමු කරන්ට.. හැකි නම්, පෙන්වා දෙන්න.. මට බැලූ බැල්මට ම සොයා ගත නොහැකියි.. පද බෙදීම් නම් දෙවිදිහකින් වෙලා තියෙනවා.. ඒත්, ඒවා සංස්කරණය කරන්නට වෙලාවක් නැහැ..

      ස්තූතියි..

      Delete
    2. වැරදුණ අකුරු කියල අදහස් කරේ ටයිප් කරනකොට වැරදුන එව්වා,
      අපරාදේ ලස්සන කතාව කතා වෙනවා.
      දැන් හොයාගන්ට බෑ මටත්,

      Delete
    3. ඉතා සුළු වේලාවක් තුළ වේගයෙන් යතුරු ලියන නිසා එහෙම වෙනවා... :)

      Delete