Wednesday, January 30, 2013

විදාපිය පියාපත යළිත් නොවැටෙන ලෙසින්

අඳුර ඇවිදින් ගොඩ වදින කොට වරායට
නුඹ හිටිය දියබත් ව රාජාලි පියාපත
පතුල අඳුරක තිබෙන බව මනින මුවහත
ගිලිහ තිබුණා අතර මුහුදු රළු කුණාටුව

පෙර නොගිය පාරවල යන්ට වන විටදි පුත
කනමැදිරි වැස්ස මදි කපා යන්නට කළුව
හෙමින් වැටි වැටී හරි නඟින විට කඳු උර
නුබ එළිය අවැසිමැයි දකින්නට මුරගල

රුදා දෙන දරු දුකා මවක් ඈ විඳින මෙන්
'කුරෙන් 'කුර එකතු කර මහ ගතක් තනන මෙන්
තබා නොසැලෙන අවිය නළල හරි මැද කෙළින්
විදාපිය පියාපත යළිත් නොවැටෙන ලෙසින්

ගොයම් යායෙන් වැටෙන වියැට සේ මිසක නුඹ
ලතා ගෘහයක සැඟව මැලව යන මලක් නොව
වෙරෙන් නොව ප්‍රේමයෙන් දිනිය යුතු බව ලොව
මහා වැස්සක් ලෙදින් ලියනු ඇත ගිරි කුළ

pic. - wallpaperscraft.com

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.