Thursday, March 6, 2014

කඳුකර මං - ටොපි කොළ තරගය


1 කොටස - කඳුකර මං - ඉලුක් යායක් අතර


ගම්බද ප්‍රදේශය හෙමින් හෙමින් නිසොල්මන් විය. ජෝතීත් මමත් අලුත් අවුරුද්දේ යළි පාසල් යාම ඇරඹුවෙමු. අප හට කඳු ඉහ ගෙදර මාතාත් එකතු විය. ගෙදර සිට මහ පාර වෙත අප ආයේ ගල් ඔය දිගේ වැටී ඇති උස් කණ්ඩිය මතිනි. හෝඩියේ හා දෙකේ පන්තියේදී නම් අපේ අම්මලා අපව මහ පාර වෙත ඔසවාගෙන පැමිණ සීටිබී බසයට භාර දුන්හ.

සියුම් හ්ම් සද්දෙන් පටන්ගෙන හඬ වැඩි කරන බසයේ පැමිණීම අපට ඇසෙන්නට ගන්නේ බස් නැවතුමේ සිට හැතැප්මකටත් එහා සිටය. වටැති කඳු බඳහි හැටෙමින් දෝංකාර දෙන එහි සියුම් හඬ පවා හඳුනා ගැන්මට අපේ කන් සමත් වේ. ඇතැම් විට එහි මුල් හ්ම් හඬ අපට ගෙදර සිට පාරට දුවන්නට අණ දෙන හඬ වේ. ඒ හැම විට අප පාරට දිව ආවේ කුළු මී හරකෙකු අප පිටුපස එලවාගෙන එන්නාක් මෙනි.

අප බසයට නැඟුණේ ගල් ඔය හරහා වැටුණු පාලම ළඟිනි.  එහෙත් පාලම ලෙඩ ගන්ට වූ තැන පටන් අපගේ සීටිබී ගමන් අහවර විය. පාලම පිරියමට කියා මහ පාර වසා දැමිණි. එවක් පටන් ජෝතීටත් මාතාටත් මටත් අපේ ගම්දොරුවේ අනෙක් කොලු කෙල්ලන්ටත් පාසල් බඩ ගාන්නට වූයේ පයින් ය. පාලම ළඟ හිට පාසලට හැතැප්මක දෙකක දුර විය.

"ඕක ඒ හැටි දෙයක්යැ චූටි. අපි ඒ කාලේ ගුරුන්නාසෙලහා ගිය හැටි දන්නවා නං.."

සීය හිනා විය.

"ඒ දොහේ උඹලට වගේ අපට පාරවල් තිබ්බ එකක්යැ.. තනිකර කටුඅකුල.. කැලේ පාදාගෙනයි අපි ඉස්කෝලෙ ගියේ.. උඹලහැ ආච්චිට හෙම ඒ කාලෙ ඉස්කෝලෙකට යන්ට කාරියක් නොවුණෙත් ඒ නිසා නොවැ.. අඩි මං දිගේ සතා සීපාවගෙන් බේරිලා නඩෙත් එක්ක යන එක එක අතකට විනෝදයක් වුණා.."

"එක දොහක් මහා වැහි කෝඩෙ ඉස්කෝලෙ යන්න පිටත් වුණා කියමුකෝ.. අනිත් උන් ඇවිත් නොහිටියත් පිටත් වුණු ගමන ආපස්සට අඩිය තියන්න හිත දුන්නෙ නෑ.. තනියමම යන්ඩ පිටත් වුණා ඕං.. එන්න එන්න ම වැස්ස සැර වෙනවා.. මොර සූරන වැස්ස.. යමරෙට අකුණු ගහනවා.. විදුලි කෙටිල්ලෙන් ඇස් නිලංකාර වෙන තරං.. ඉහට අරගත්තු ඉලුක් අත්තත් බිමටම කඩන් වැටිල.. ඒත් මොකෑ.. වැස්සෙ සද්දෙත් එක්ක මං තව තවත් හයියෙන් ඉස්සරහටම ගෑටුවා.. යන කොට යන කොට මල්ලැහව ඔය දෙගොඩ ගලලා ඉවුරවලුත් ඇදගෙන ඉස්සරහට දුවනව.. ඉතිං කොහෙ යන්ඩෙයි..  ආයෙම ආපස්සට හැරිල කොටි හඬට ගැස්සුණු මුවෙක් වගේ අඩිය තියන්ඩ ගත්ත ගත්තමයි ආයෙ නැවතුණෙ ගෙදර. ඒ එනකොට උඹලහෑ ලොකු අත්තම්මයි මුත්තණ්ඩියි දෙන්නාම බය වෙලා මඟ බලන් ඉන්නව ඕං"

"බාගෙදාට කොලුවො, කොච්චර දහිරිය ගත්තත් සමහර එව්ව ජය ගන්ඩ බෑ තමයි.. ඒත් ඉතිං උඹලට මොන බාධාවක්ද.. මහපාරක් ම තියෙන කොට ඈ.."

ගැහැණු ළමයෙකු වුවත් සීයා ඇතැම්විට මා ඇමතුවේ "කොලුවො" කියා ය.

"සීයලගෙ කාලෙ මෙහෙම බස්, පාරවල් තිබිල ම නෑ. සීයලා ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙත් පයින්." මම ලොකු අක්කලා පිටුපස දිව යන අතරේ මාතාටත් ජෝතිටත් කීවෙමි. "ඇත්තද..?" ඇස් ලොකු කරගත් මාතා මා දෙස බලමින් ඇසුවාය. එක රිත්මයකට පා තබමින් පාසල් යන අක්කලා පසුපස දිවීම පාසු නැත. ඔවුන්ගේ වේගය අල්ලා ගැනීමට අප හට දුවන්නට සිදු විය. අප බෑග් මලු කරේ දමාගෙන පාසල් ගිය නමුත් ලොකු අක්කලා නම් පාසල් ගියේ පිළිවෙලට ඇහිරූ පොත් ගොන්නත් පැන්සල් පෙට්ටියත් ළැමට ගොනු කර ගෙන ය.

මෙ විට වැස්ස තුරල් වී තිබීම හොඳය. වැසි දවසට මං දිග කැලති මඩ දියෙන් අපේ කුඩා කකුල් දියබත් විය. සෙරෙප්පු කූට්ටං මඩ බින්දු ඉහළ දමමින් සුදු ගවුම් තිත් ගවුම් කළේය.

පාසලට ගොඩ වන අපි වැඩ ඇල්ලුවේ මිදුල් හා පන්ති කාමර අතු ගෑමෙනි. අතු ගාන විට තදින් දූවිලි නැඟීමත්, සුළං ඇති කල අතුගාන කොළ නැවත ආපස්සට දුවන්නට වීමත් මායිම් නොකළ අපි අපේ වැඩය කරගෙන ගියෙමු.

අපේ පාසල පසෙකිනි මල්ලැහැව ඔය ගලා බටුයේ. පාසල තවත් පසෙක විටින් විට වැඩ කළ නමුදු පුරන් ව ගිය කුඹුරකි. ඉනික්බිති ඉවක් බවක් නැති රබර් වතු ඈතට දිව යයි.

අලුත් වාරයක්, අලුත් අවුරුද්දක් නිසා පාසලේ එකම ගාල ගෝට්ටියකි. පසුගිය වාරාවසානයේ ශාලාවල එක පෙළට අහුරා ගිය තම පුටු ඩෙස්කු හොයමින් ළමයි ඒ මේ අත දිව ගියහ.

මමත් ඩෙස් බංකු හොයන පෝලිමක් අස්සෙන් රිංගා ගොස් අපගේ ඩෙස්කුවත් කුඩා පුටුවත් සොයා ගතිමි. අලුත් පන්තියට ගෙන ගිය ඩෙස් බංකු අහුරාගැනීමෙන් පසු උදෑසන රැස්වීමට සීනුව නාද විය.

විදුහල්පතිතුමා එළිමහන් වේදිකාවේ සිට අලුත් අවුරුද්දේ පළවැනි කතාව කළේය. අපි පාසල් මිදුලේ එක පෙළට හිඳගෙන ඇහුන්කන් දුනිමු. උදෑසන කතාවෙන් පසු අලුත් පන්තියේ හිඳ ගැනීමට ඉඩ ලැබිණි. එක ඩෙස්කුවක අපි තිදෙනෙක් සිටියෙමු. මගේ ඩෙස්කුවේ එහා කොණේ සිටි ළමයා සැර වැර වූ බැවින් වෙනදා මෙන් ම අපට පළවැනි පේළිය අයිති විය.

අලුත් අවුරුද්දේ අලුත් පන්තිය අප තුළ නැවුම් බවක් දනවා තිබිණ. තිලකා ටීචර් අපේ අලුත් පන්තිය භාර ගුරුතුමී විය. සුදු පාට බොත්තම් වටේ පේපර් රිබන් අල්ලා අම්මා තැනූ රතු රෝස මල් පොකුර ගෙනවිත් ගුරු මේසය උඩ තියන්නට මම කල්පනා කළෙමි.

ගිය වාර විභාගයේදී මට වුණු ලැජ්ජා සහගත සිදුවීම අලුත් අවුරුද්දත් සමඟ කට්ටියට අමතක වී ඇති හැඩ ය. මොනතරං හොඳද? දෙසැම්බර් වාර විභාගයට පිළිතුරු ලියන්නට අපි පුටු තියා බිම වාඩි වී හිඳීමු. ගුරුතුමිය කියවන අතරේ ප්‍රශ්න ලියාගෙන ඉන්පසු පිළිතුරු ලිවීමයි අප කළේ. වැසිකිළියට යෑමට ඕනෑකමක් වූ මම ගුරුතුමියගෙන් අසන්නට පැකිළෙමින් සිටියෙමි. ඒ අතර නැඟිටගත් රත්නපාල ගුරුතුමියගෙන් වැසිකිළි යෑමට විමසුවේ ය. "විභාගේ පටන්ගන්නකංම හිටියද ඒකට යන්නත්" ගුරුතුමිය මඳක් හයියෙන් කෑ ගෑවාය. "හා.. යනව යනවා" රත්නපාල දිව ගිය අතර මම එතැන ම ගල් ගැසී බලා සිටියෙමි. ඉතින් ඉන් පසු සිදු වූ දේ කියන්නට ඕනෑද?

පළවැනි පරිච්ඡේදයෙන් පසු අපි ගෙදරින් ගෙනා බුලත් හුරුලුත් රැගෙන ගුරුන් වැඳුමට ගියෙමු. දණිස් රිදෙනවා යි අන්තිමට අන්තිමට එකෙකු දෙන්නෙකු කෑ ගැසුවත් මෙය ප්‍රීතිමත් රාජකාරියකි. "හොඳට ඉගෙනගන්න ඕනි.." "සුබ ම සුබ අලුත් අවුරුද්දක්" හැම ගුරුවර ගුරුවරියකම අප හිස අත ගා කියත්. පසුගිය වසරවල ගුරුවරු අප හඳුනා කතා කරත්.

ලොකු අක්කලාට පාසල් අරින්නට කලින් අපේ පාසල් කාලය නිම වේ. ඉන් පසු කිසිදු හදිස්සියක් නැතුව ම අපි ගෙවල් බලා පිටත් වෙමු.

"අව්ව තමයි සැර" මාතා කියයි. ජෝතිත් මාත් එය අනුමත කරමින් හිස වනමු. දිගු පටිවලින් එල්ලුණු වතුර බෝතල් කරකවමින් අපි ටික දුරක් පාර දිගේ ආවෙමු.

"අපි ලයිට් කණු අල්ලන සෙල්ලම කරමු. එතකොට ඉක්මනට යන්න පුළුවන්.."

මාතා කියයි.

"ඒ මොකක්ද?"

ජෝතිත් මමත් අසමු.

"එක ලයිට් කනුවක හිටන් අනෙක් ලයිට් කනුවට දුවන සෙල්ලම. පළවැනියා තමයි දිනුම්.."

 "ඒ පාර ඒ මොකක්ද..? ටොපි කොළ සෙල්ලම අහවරද?"

පසු ගිය ටිකේ අපි පාසලේ සිට ගෙදරට එනකල් ම ඩෙල්ටා ටොපි කොළ ඇහිලුවෙමු. ජෝතීට රේඩියෝ පෙට්ටියෙන් ටොපි කොළ වැඩිපුර ම එවන කෙනාට තෑගි දෙන තරගයක් ඇසී තිබිණි. ටොපි කන්නට සල්ලි නෑ කියා තරගය අත හළ යුතුද? මහ පාර දිගට අපි ටොපි කොළ එකතු කළෙමු. ඩෙල්ටා සත පනහේ ටොපි කොළය සිලි සිලි එකක් වූ අතර රුපියලේ ටොපි කොළය කඩදාසියක් බඳු විය.  මේ දෙවර්ගය ම එකතු කළ අපි බන්ටි ටොපි කොළ එකතු කිරීම ද අත නොහැරියමු. ටොපි කොළ එක්කාසුවට වඩා දෙපැත්තට ඇදි විට පහසුවෙන් ඇදෙන බන්ටි කොළ ඇදීමෙන් අපි ප්‍රීති වීමු. වැඩිය ම දිගට බන්ටි ටොපි කොළය ඇද පෙන් වූ කෙනා ජයග්‍රාහකයෙක්!

අප ගෙදර යන විට අපේ මලු ඩෙල්ටා ටොපි කොළවලින් පිරී තිබුණු අතර දිග ලියුම් කවරවලට ඒවා අඩුක් කළ අපි අම්මලාගෙන් සල්ලි ඉල්ලාගෙන ජෝති ගෙන ආ ලිපිනයට ටොපි කොළ තැපැල් කළෙමු.

ටොපි කොළ තරගය අපට එපා වූයේ කොච්චර ටොපි කොළ යැව්වත් අප තිදෙනාගෙන් එකෙකුටවත් කිසි තෑග්ගක් නොලැබුණු නිසා ය.

එ නිසා ලයිට් කණු අල්ලන තරගේ ඊට වඩා හොඳ විය යුතු ය.

Picture - Theodore Clement Steele, American, 1847 - 1926, Cumberland Mountains

9 comments:

  1. තවත් සිත නිවන අඩවියක්.. ලිපි සේරම නිදහසේ කියවන්නෝනි.

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  2. මං කතාව දෙපාරක් කියෙව්වා නෙව, යට තියෙන නම නිසා රැවටුනා පරිවර්තනයක් කියලා.. අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඒ නම පින්තූරය අයිති කෙනාගේ..

      Delete
  3. කඳුගේ සීයා මිනිපිරීටත් කොලුවෝ කිවවා වගේ අපේ ආච්චි හැම කොල්ලාටම, කෙල්ලටම කතාකලේ පුතේ කියල. ආදරෙන් මොකුත් කියනකොටත් ගෑනු පිරිමි බේදයක් නැතිව මයේ අප්පා හෝ මයේ අම්මා කිව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. හරි ම සුන්දරයි ඒ ආමන්ත්‍රණ..

      මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන් දා සිට" කෘතියේ ගම්වල වැඩිහිටියන් ආදරය ප්‍රකාශ කළ ගොලු බස ගැන ලියා තිබෙනවා... වචනවලින් කියන එක හොඳ වුණත්, එහෙම නොකීමෙත් ගැඹුරු සුන්දරත්වයක් තිබෙනවා..

      Delete
  4. "බාගෙදාට කොලුවො, කොච්චර දහිරිය ගත්තත් සමහර එව්ව ජය ගන්ඩ බෑ තමයි.. ඒත් ඉතිං උඹලට මොන බාධාවක්ද.. මහපාරක් ම තියෙන කොට ඈ.."

    ReplyDelete