Saturday, March 8, 2014

කඳුබඩ නිවස



දිනෙක මා පොහොසත් වුවොත්
ඔබට දෙමි මා කඳුබඩ නිවස
ගණ වන පෙතක් මත අතුරන්න

කඳු වස්ත්‍ර මිහිදුමෙන් පෙගෙන හැටි
කඳු උවන් මිහිදුමෙන් මිදෙන හැටි
උදා දිවා නොතකා
එක ම ඉරියව්වෙන් බලා ඉන්න
තුරු මුදුන් අතරින් මිදී
වැටුණු තුරු තොල් සිපගන්න
ලයාදරෙන් හිරු විදන
එළි පුඤජ ඉරි දැක ගන්න

සන්ධ්‍යා සමයේ විඩා නිවනට
මිටියාවත් මුව වෙත ඇදී එන
කෝපි පෑ වලාකුළක්
වෙතට ඉඟි මරන්න
පොතක් සහ පැන්සලක් සමඟ
හැකිද ඔබ හට නිවහනක් අතුරන්න

කාත් කවුරුවත් නො එන ඉසව්වක
කාත් කවුරුවත් මා එහි සිටින බව නොදන්නා ඉසව්වක

Picture Owner - Unknown
Picture Place - Bieszczady Mountains, Poland
Picture Source - Green Renaissance

5 comments:

  1. කලින් දවසකත් කීවා වගේ මහන්සිය නිවිලා යනවා මේ නිර්මාණ කියෙව්වම.. පාඨක අපේ හිත නිවාලන්න ඔබ තුමිය ගොඩක් මහන්සිවෙනවා. සමහර දවස්වල එකම දවසෙ පෝස්ට් දෙකක්,තුනක් දානව මං දැකලා තියෙනවා.. දැන් බ්ලොග් කියවන ගොඩක් අය කියවලා ඉවරවෙලා හොරෙන්ම යනවා. මගේ බ්ලොග් එකට අදත් 33ක් ඇවිත්. ඒත් ඒ කවුරුත් කමෙන්ටුවක් දාන්න තරම් කාරුණික වෙලා නෑ. කොමෙන්ට් ඇතත් නැතත් මං නම් දිගටම කරගෙන යනවා. හැබැයි කමෙන්ට්ස් දැම්මම නම් ලි‍යන්න ඒක ලොකු හයියක්.

    කොහොම උනත් ජය පතනවා ඔබට මං. දිගටම ලියන්න ශක්තිය හා දිරිය ප්‍රාර්තනා කරනව මං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමිය කියා අමතා මා සිනාගැස්සුවාට.. ඔබ කියා කීවාම ඇතිනේ.. :)

      කමෙන්ට්ස් බලාපොරොත්තු නොවෙන තැනට හිත හදාගන්න ඕනෑ මනෝෂ්.. ඔබ තවත් අත්දැකීම් ලබද්දී එහෙම වෙයි..

      කමෙන්ටුවක් නොදානව කියන්නේ අකාරුණික කමක් කියා හිතන්නත් එපා.. රස විඳ කමෙන්ටුවක් නොදා යෑම වරදක් කියා හිතන්නත් එපා.. මම රසවිඳින නිර්මාණ කළ අයට කියන්නට බොහෝ දේ මා තුළ වුණත් තිබෙනවා.. ඒත් හැම විටම එවැනි දෑ ප්‍රකාශ කරන්නේ නෑ..

      ඇත්තට ම ඔබ ඔබ වෙනුවෙන් ලියන්න.. ඔබට කියන්නට ඕනෑ දේ ලියන්න.. ඔබට එය කියන්නට ඕනෑ නිසා ලියන්න.. ඔබ ඔබේ ම හයිය වෙන්න.. එතකොට ඔබ කවදාහරි අනිත් අයට නොකියවා බැරි රචකයෙක් වෙයි..

      අනෙක් අය ඔබේ බ්ලොග් එක කියවා යන එකත් කොතරම් දෙයක්ද? ඔබ සුන්දර යමක් බෙදා හදාගෙන තිබෙනවානේ.. මගේ බ්ලොග් එකට මුල් අවුරුදුවල එක්කෙනෙක්වත් නො ආ තරං.. මමත් හිතුවේ මා ලියන දෑ එක තැනකට ගොනු කරන්න විතරයි

      මම වුණත් මහන්සි වෙලා ලියන්නේ නෑ ඇත්තටම.. මම මහන්සිය නිවාගන්නයි ලියන්නේ.. ඒ ලියන දේවල් අනෙක් අයත් රසවිඳිනවා නම් ඒක වාසනාවක්..

      සු'පැතුම්..

      Delete
    2. ඔබ කියා ඇමතීම ඇත්තටම හොදය නමුදු,
      දැන ගන්න ආසයි
      තුමාද නොඑසේනම් තුමියද යන්න
      (වටිනා උපදේසයක්)

      Delete
  2. හ්ම්.. ඔයා කියන කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා. අපි ලියන ඒවා කවුරු කියෙව්වත් නැතත් සයිබර් අවකාශෙ සදාකල් පවතීවි.මං බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සෙ මේ වෙනකොට බ්ලොග් කරුවන් 4දෙනෙකුගෙ මරණ ආරංචි වුණා. ඒවා මං ආසාවෙන් කියවපු බ්ලොග්. මතක් වෙනකොට මහා දුකක් දැනෙනවා. ඒත් එයාලා මැරුනත් එයාලා ලියපු දේවල් සදාකල් පවිතිනවා. මේවා එකතුවක් විදියට කවදාහරි අපිටම තියෙනවනෙ. මං තාම අලුත් නිසා වෙන්නැති මට එහෙම හිතුනෙ. ඒත් ඒක වැරදියි කියලා දැන් තේරෙනව.

    ReplyDelete