Wednesday, March 5, 2014

ඇය සැබෑ වීරවරියක් නොවේද?

වීදුරු බඳුනක සැඟැවුණු ජීවිත

badadakathawa1පෝලන්තයේ වෝර්සෝ නුවර වෛද්‍යවරයකුගේ දියණියක වූ ඉරීනා සෙන්ඩ්ලර් දවෛනි ලෝක සංග්‍රාම අවධියේ, අනාථයන්ට පිළිසරණ වන සමාජ සේවා දෙපාර්තමේන්තුවක සේවයට බැඳුණාය.වෝර්සෝ නගරයද නාසි හමුදාවන්ට යටත් වීමෙන් පසු, යුදෙව්වන් දසදහස් ගණනින් අත්අඩංගුවට ගැනීමත්, සිරගත කිරීමත් ඇරඹුණි. ඉරීනාට එම සිර කඳවුරුවලද සේවය කරන්නට සිදුවිය.

මරණයට නියමව සිටින මේ අහිංසක මිනිසුන් දකින හැම විටෙකම ඉරීනාගේ සිත වේදනාවෙන් පිරුණි. ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් ඇත්දැයි ඇය කල්පනා කළාය.

කඳවුරෙන් පිටවී, නගරයට යාමට ඒමට ඉරීනාට අවසර තිබුණි. එසේ ගිය ගමන්වලදී, යුදෙව් ළමයින් ඇතිදැඩි කර ගැනීමට කැමති, කරුණාවන්ත පවුල් හා පුද්ගලයන් සමග සම්බන්ධතා ඇති කරගත් ඇය, ඒ සඳහා වැඩපිළිවෙළක්ද යෙදුවාය.

එහි පළමු පියවර වූයේ, යුදෙව් ළමුන් උදෙසා ව්‍යාජ හැඳුනුම්පත් සැකසීමය. දෙවනුව, ළමුන් පිටතට ගෙන යාම සඳහා දෙමව්පියන්ගෙන් අවසර ලබා ගැනීමය. එය ඉතා හැඟුම්බර, වේදනාකාරී කටයුත්තක් විය.
“මගේ දරුවාගේ ජීවිතය ආරක්ෂා වෙන බව ඔබට හොඳටම විශ්වාසද?” මව්පියන් ඇසූ විට ඉරීනා මෙසේ පිළිතුරු දුන්නාය.

“මේ කඳවුර ඇතුළේ හිටියොත්, ඔවුන්ට මරණය නියතයි.”

දෙමව්පියන්ගෙන් දරුවන් ලබා ගනිද්දී ඔවුන් දරාගත නොහැකි ශෝකයෙන් හඬා වැටුණු අයුරු, කිසි කලෙක අමතක නොකළ හැකි බව ඉරීනා පසුව කියා තිබුණාය. ඔවුන් එසේ වෙන්වන්නේ, යළි හමු නොවන්නටම බව දරුවන් කෙසේ වෙතත්, දෙමව්පියෝ දැන සිටියහ.

ඉරීනා මුහුණ පෑ විශාලම ගැටලුව වූයේ, කුඩා දරුවන් කඳවුරෙන් පිටතට ගෙන යාමය. නගරයට යන අවස්ථාවල ගෝනි මලු තුළ බහා දරුවන් සඟවාගෙන යාම එක් උපක්‍රමයක් විය.

මේ ගමන්වලදී ඉරීනාගේ සුරතල් බල්ලාද රථයේ සිටී. නාසි භටයින් දකින විට බුරන්නට පුහුණු කර තිබූ හෙයින්, ගේට්ටුව අසලදී ඌ තම ‘රාජකාරිය’ පටන් ගනී. එහෙයින්, ගෝනි තුළ සිටින කුඩා දරුවන්ගේ හැඬුම් යටපත් වෙයි.

මේ ආකාරයෙන් කුඩා යුදෙව් ළමුන් 2508කගේ ජීවිත ගලවා දීමට ඉරීනා සමත් වූවාය. ඒ සියල්ලන්ගේ සැබෑ නම් ගම් සහිත ලැයිස්තුවක් සැකසූ ඇය, එය වීදුරු භාජනයක් තුළට දමා තම වත්තේ ඇපල් ගසක් යට වැළලුවාය.

ඉරීනාගේ වැඩපිළිවෙළ පිළිබඳව ඉව වැටුණු නාසීහු, ඇයට පහරදී දෙපා කඩා බිඳ දැමූහ. වෙඩි තබා මරා දැමීම සඳහා ගෙන යද්දී, ඉරීනා ගලවා ගත්තේ, ඇය සම්බන්ධව සිටි රහසිගත සංවිධානයක් මගින් නාසි සෙබළුනට අල්ලස් දීමෙනි. එය නොදත් නාසි බලධාරීන් මරා දමන ලද නම් ලැයිස්තුවට ඇගේ නමද එක් කර තිබුණි.

යුද්ධය නිමාවීමෙන් පසු, ඉරීනා තමන් විසින් බේරාගත් යුදෙව් දරුවන් නැවත දෙමව්පියනට ලබා දීමටද උත්සාහ කළත්, ඒ වන විටත් ඔවුන් සියල්ලන්ම වාගේ මියගොසිනි.

පසු කලෙක නිහඬ ජීවිතයක් ගත කළ ඉරීනා සෙන්ඩ්ලර් ගැන ලෝක අවධානය යොමු වන්නේ, ඇමෙරිකාවේ කැන්සාස්හි ශිෂ්‍ය පිරිසක්, ඉතිහාස දින තරගයක් සඳහා සැඟවුණු වීරවරියක පිළිබඳ තොරතුරු සොයාගෙන ‘Life in a Jar’ නමින් නාට්‍යයක් ලිවීමෙන් පසුවය.

ඉරීනා පිළිබඳ කතා පුවත ප්‍රසිද්ධියට පත්වෙද්දී, ඇය පිළිබඳ මතකයෙහි තිබූ ඇතැම් අය (ජීවිත ගලවා ගත් දරුවෝ) දුරකථන ඇමතුම් දෙන්නටත්, ඇය හමුවීමට එන්නටත් පටන් ගත්හ.

2007 දී, නොබෙල් සාම ත්‍යාගය සඳහාද ඉරීනා සෙන්ඩ්ලර්ගේ  තම යෝජනා වුවද, එය අනුමත නොකෙරුණි. එවර නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ ගෝලීය උෂ්ණත්වය ගැන නිබන්ධනයක් හා ‘වාර්තා’ චිත්‍රපටයක් නිපදවූ, ඇමෙරිකානු උප ජනාධිපති අල් ගෝර්ටය.
(ලෝක සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ජනාධිපතිවරුන් හය දෙනකුට හිමිව ඇත. ඒ පිළිබඳ විවේචනද බොහෝය.)

තම ජීවිතය පිළිබඳව ආවර්ජනය කරමින්, ඉරීනා සෙන්ඩ්ලර් මෙසේ කියා තිබුණාය.

“මම ඒ හැම දරුවෙකුම බේරගත්තේ, මට ලැබුණු මනුෂ්‍ය ජීවිතය වෙනුවෙන්, යුක්තිය ඉෂ්ට කිරීමටයි. (Justification of my existence on this earth) ඒ තුළින් කීර්ති ප්‍රශංසා ලැබිමට නොවෙයි.”

කපිල කුමාර කාලිංග

15 comments:

  1. මම මහත් කනස්සල්ලට පත් කළ දෙයක් තමයි මේ යුදෙවු සංහාරය .මේ කතා මම අහපු මුල් දවස් වල දැනුන ශෝකය මේ ලිපිය කියවද්දි දැනුත් දැණුනා.ඇත්තටම මේ වගෙ දෙයක් මිනිස් ඉතිහාසයේ කවදාවත්ම වෙන්න නැතිව ඇති.මේ ඛේදවාචකයේ භයංකරබව හා විශාලත්වය නිසා අදටත් එය නිකම් අදහන්න බෑ වගෙ. ඉතින් ඉරීනලා වාගෙ දේව දූතිකාවන් මේ වගෙ යුගවලත් පහළ වෙනවා.ඉරීනල නැත්නම් මේ මිනිස් ලෝකය නිකම්ම පාළු කාන්තාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉරීනල නැත්නම් මේ මිනිස් ලෝකය නිකම්ම නිකම් පාළු කාන්තාරයක්.

      Delete
  2. ලංකාවෙත් යුද්ද කාලෙ කොච්චර ලමයි මැරෙන්න ඇතිද?

    ReplyDelete
  3. ඒ වගේ ඉරීනල ඉපදුනු යුගයක ඉපදී මැරුණත් සැපයි කියල හිතෙනවා.

    ReplyDelete
  4. ජීවිතේ මහ පුදුමයි ..An amazing co-incidence indeed....

    දවස් දහයකට වගෙ ඉස්සරවෙලා මම 50 First Dates ෆිල්ම් එක බැලුවා. ඒ තුන් වෙනි නැත්නම් හතරවෙනි පාරට. ෆිල්ම් එක බලල ඒකෙ ප්‍රධාන නළුවා Adam Sandler ගැන ගූගල් සර්ච් පාරක් දැම්මම ඔය Irina Sendler ගැනත් විස්තර ආවා. ඒ පාර ඒ විස්තරේ කියවල ඉරීනා ගැන ලියනවද නැද්ද කියල හිත හිතයි මේ දවස් ටිකේ ඔන්න හිටියෙ. හෙහ්, ඔන්න ඔයා ඒ පාර ඉරීනා ගැන ලියල... අනික් කාරණේ කපිල අයිය මම පෞද්ගලිකව හඳුනන බොහොම සුන්දර මනුස්සයෙක්.එයාගෙ කන්දේ වීදිය පොත මම පෙරේද කියවන්න පටන් ගත්තෙ.

    මේ බදාදා කතාව පළවෙන්නෙ මොන පත්තරේද කඳු?

    දෙවෙනි ලෝක යුද්දෙදි කරපු යුදෙව් සමූලඝාතනය ගැන හිතනකොටත් හිතට එන්නෙ මහ අසරණ හැඟීමක්. මිනිස්සුන්ට තමන් වගේම තවත් මිනිස් කොටසකට මේ තරම් කෲර වෙන්න හැකියාව ලැබුනෙ කොහොමද කියල හිතාගන්නත් අමාරුයි. එක අතකට ඒකෙ පුදුමෙකුත් නෑ. පරිත්‍යාගය, කැපවීම, සෙනෙහස, මනුෂ්‍යත්වය වගේම කෲරත්වය, පළිගැනීම,මෘග ප්‍රචණ්ඩත්වය සැඟවිලා තියෙන්නෙත් අපේම හිත් ඇතුලෙ තමයි..ස්තූතියි කඳු.....

    ReplyDelete
  5. ඇත්තෙන්ම ඇය විර වරියක්... අර ජනාධිපතිට නැතුව ඇයට සාම සම්මානෙ දුන්න නං.. ඇත්තටම වටිනව

    ReplyDelete
  6. ඇත්තටම ඇය වීරවරියක්...නිහඩ..ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවුන වීරවරියක්..

    ReplyDelete
  7. කදු මම ඔයාගෙ බ්ලොගේ මෙහෙම දෙයක් කියෙව්වමයි...

    ReplyDelete