Friday, March 7, 2014

කඳුකර මං - මැන්ටල්


කඳුකර මං 1 - ඉලුක් යායක් අතර

කඳුකර මං 2 - ටොපි කොළ තරගය

මහ පාර දිගට ලයිට් කණු ඇත. ඒවායෙන් විදුලිය පැමිණ බල්බ් පත්තුවෙන බව තුන වසරේ ගුරුතුමී කීවා මතක ය. අම්මා සමඟ නගරයට ගිය දිනක තොරණකට ගසා තිබූ බල්බ් දැක ඇති මුත් දවල් නිසා ඒවා පත්තු කර නැති බව අම්මා කීවා ය.

මහ පාරෙන් ඈතට තිබූ අපේ ගෙවල්වලට ලයිට් කණු ආවේ නැත. ලයිට් නැතුවට චිමිනි ලාම්පු දෙකක් හා පිත්තල ලාම්පු කිහිපයක් අපේ ගෙයි විය. ආච්චී ගොම්මන් වී ගෙන එන විට ලාම්පු තෙල් දමා ඒවා පත්තු කරයි. අපේ සීයාගේ පැට්ටොල් ලාම්පු එළිය පරද්දන්නට නම් ලයිට්වලට පුළුවන් වෙතැයි මම නොසිතමි. එහෙත්, පැට්ටොල් ලාම්පුව පත්තු වූයේ විශේෂ අවස්ථාවකට පමණ ය.

කමතේ ගොයම් පාගන දවසට කමත අසල එල්ලන්නේ පැට්ටෝල් ලාම්පුවකි. සීයාගේ මී හරකුන් නැති වී ඔවුන් කන්දෙන් එහාට ගාටා කන්දෙන් එහා පැත්තේ ගමෙහි කුඹුරුවලට පැන පාඩු කර තිබුණු අවස්ථාවේ ඒ ගමේ කුඹුරුකරුවන් අපේ ගෙදරට පැමිණියහ. එහිදී සීයාත් පැමිණි අයවලුත් අලාභ හානි කිරා හෙට්ටු කර ගද්දී අපේ ගෙදර පත්තු කර තිබුණේ මේ පැට්ටෝල් ලාම්පුව ය.

එය පත්තු කරන විට අසලට වී බලා සිටීම මට මහත් විනෝදයක් විය. ලාම්පු හිසේ එල්ලී ඇති මැන්ටලය කුඩා අපට සුන්දර වස්තුවක් විය. මැන්ටලයේ උඩ කොටස ඇසට පිය උපදවන අලංකාර රෝස, නිල් පැහැයන්ගෙන් යුක්ත විය. ලාම්පුවට තෙල් පුරවා  එහි හුළං ගැසීමට ඇති පොම්පයෙන් හුළං ගැසීම බලා සිටීමට කදිම ය. ඉන් පසු, ගින්දර ඇතුළු කිරීමට ඇති සිදුරෙන් ගිනි ලූ රෙදි කැබැල්ලක් වැනි යමක් ඇතුළු කොට සුළං පාලනය කරමින් ගිනි අවුළයි. චූස් හඬක් නඟා සුළඟ සමඟ ඉහළ යන ගින්න මැන්ටලය වැළඳ ගනී. ඉන් පස්සේ නිකුත් වන්නේ අලංකාර සුදු එළියකි.

මහ පාර දිගේ තවත් දුරක් ගිය විට පාර අයිනෙන් ගලා බසිනා ගල් ඔය අසු වේ. මද්දහන අවු රැළි නොතකා ලයිට් කණු සෙල්ලමේ යෙදෙමින් දුවමින් නැවතෙමින් හති අරිමින් ආ අපේ ගමන නැවතුවේ ඔය දෙසින් ආ අද්භූත හඬකි.

"හ්...ම් හ්....ම්" ඈ ලෙස අපට ගෙවල්වලට ගොස් හඬ ගා පෙන්විය නොහැකි අමුතු අන්දමේ හඬක් නැවත නැවතත් මතුවන්ට විය. ජෝතීත් මාතාත් මමත් බිය වී මූණින් මූණ බැලීමු. පෙනෙන තෙක් මානයක් කිසිවෙක් නැත.

"දුවමූ.."

මාතාගේ හඬින් අවදි වූ අපි හිස් ලු ලූ අත දුවන්නට වීමු.

"අපේ අපුච්චා කියනව ඇහුණා.. මේ ඔයට මිනිස්සු මරල දැම්මලු"

ජෝතී දුවන අතරේ කෑ ගසා කීවා ය.

"අපේ සීයලා කතා වෙනවා මටත් ඇහුණා.."

 මමත් කීවෙමි.

"සමහර මිනිස්සු මැරුණ ම හොල්මන් වෙනවලු.. හොල්මන් වෙන්න ඇති.."

 ඊළඟ ගමන අපි පණ කඩාගෙන දුවන්නට වීමු. ඔයට විරුද්ධ දිසාවේ වූ වෙල් යාය මැද්දෑවටම දිවවිත් ය අප නතර වූයේ..

"දැන් කොහොමද ගෙදර යන්නේ"

ජෝති ඇසුවාය.

"අපි මොකද කරන්නෙ දැන්"

"මේ කුඹුර දිගේ ගෙවල් පැත්තට යන්න නියරක්වත් නෑනේ"

ජෝතීත් මමත් පෙළට ඇසුවෙමු.

"කටු අකුල් මේ.."

මාතා කණ්ඩිය දිගට වැටී තිබූ කටු පඳුරු පෙන්වූවාය. අප නැවත සිටි නියර ඔය වෙත ගලා බසිනා කුඩා දිය පහරකට මායිම් ව තිබූ අතර ඉන් එහා වූයේ මඳක් උස කණ්ඩියකි. කණ්ඩිය ඉස්මත්තේ අප ගෙවල් දෙසට හැරුණු වෙල් යායවල් විය.

ජෝතී කෝටුවක් ගෙන කටු පඳුරු තලන්නටත් අදින්නටත් වූවා ය. රබර්  සෙරෙප්පු පයලා එහි නැඟීම සිතීමටවත් නොහැක. ආපහු හැරී හොල්මන් ඔය වෙත යාම නම් කොහොමටවත් කරන්නට බැරි ය.

"මෙතැනින් නගින එක කොහොමටවත් කරන්න බෑ ජෝතී.. අපි තව අරහෙට ගිහින් බලමු"

මම කීවෙමි.

තවත් ඈතට යන විට වේල්ලේ කටු නැති තැනක් හමු විය. බෑග් ගලවා වේල්ල උඩට විසි කළ අපි කණ්ඩියෙන් මතු ව තිබූ ගස් මුලක එල්ලී ඉහළ නැඟ ගතිමු.

පෙනි පෙනී තිබූ ගල් ඔය පාලම අසලට ඒමට අපට කොපමණ වෙලා ගත වීදැයි කවුරු නම් දනීද?

මාතාගේ ආච්චිලාගේ ගෙදර තිබුණේ පාර අයිනේ ය. දවල්ට කෑම කා හවස ගෙදර යනාවායි මාතා එහි ගියා ය. ජෝතීත් මමත් හතිලමින් පාලම අයිනේ වූ මාර කොටයක් මත ඈඳි ගතිමු.

Picture 1 - Gilles Bedard, Canadian, Born 1954, "Le Paturage"

Picture 2 - http://en.wikipedia.org/wiki/File:Mantle.jpg

No comments:

Post a Comment