Thursday, May 29, 2014

වැස්සක සිරි සිරිය




හීන් වැස්සක සිරි සිරිය
කුණාටුවක්
කළ
සැඩ සුළඟක
අලුත් හුස්මක්
ඇද්දැයි
සොයනෙම්

යදමින් බැඳ දමා යහනට
සේලයින් කටු ගසා තුනු කෙසඟට
ජීවත්වන්නට ලෝකයක්
තනන්නේදැයි නොදනිම්

ජීවත් කරවන්නට
මා
නොව
මගේ
හදවත
බුද්ධිය
යා යුතු
මඟ කිමැයි
නොඇසිම්

'හද සුව වනසා උතුම්
සිඳ දැමූ පියපත්
මඟ වැරද ගිය
රජුටත්
කිසි දිනෙක වෙර නොකරම්
වියැළ ගිය දිවියට
මරණාසන්න පණ දෙම්

පිපී ඇත මලක්
රත් පෑ ගත්
රත් ම රත් පෑ ගත්
දැවට මල මත
මල නොව
සිඹින පිනි බිඳු
කුඩා කිරිලියක සොයනෙම්
සමනලියක අත
සැළමුතු හද පරම
ගීතයක් ලියා
යවනෙම්

රෝහල් කවුළුවෙන් එපිට
ඈත කඳු සිරස් වට
විහිද ගිය මීදුම් පට
ගලන සැටි නයන වට කොට

සමනලිය
මා සුහද මිතුරිය
මා කෙලෙස ඉගිලෙන්නද
නොඅසා පිටව යන මහිමය
කල්හාරෙව් හද සියුමැලි
වියෝ දුක හැඳින හද ඇලි
කවුළුව කළ තරණ
විඳ කව් බසක මනකලි

නිලුද කෞමද මල් සුවඳ
නිලු උපුල ගැවසි සිහිලඹ
තුටිනි බුදු පුදට සැරසෙන
නයන මිත කඳුළ හඳුනන

සිරි පා ගමන් අතර
දුටිද මල් 'හුරු අමර
රැඳී පිනි කැට අතර
සැඟවු කඳුලැලි දහර

'කව ගෙන යන්නට සමත්
යෙහෙළියන අසන් පින්වත්
මැඩ බාධා යෙහෙන් යා යුත
සිරි පා ගමන් මෙන් දිරිමත්

දැහැමෙන් සෙමෙන් යා යුතුය ඔබ හමුවෙනා තුරු මා කිවූ තැන
අරලියා ගස් දහක් ඇති මෙන නමක් වූවත් නැති වසත් දින
කොහිද කොතැනද හදට දුන් වෙළ නොඅස කිසි විට යන අතර පැන
බිඳක් හෙලුවොත් වදන් අනිසිව සඳැස මා ඇත ලබනු අණ වින

උපන් දා සිට මෙතෙක් ආ මඟ නොබැලුයෙන් ශුභ මුහුර්ත
ඔවා දෙන්නට නොරිසි වෙම් මම් නුඹට සුමිතුර සහෘද
ගමන් අරඹව අසා පෙර මඟ තුටු සිතිනි පොබ ප්‍රෞඪ
සිතක වැළපෙන යහ සිතුම්මැය නුඹට පෙර මඟ මුහුර්ත

පසු කළ තැන්හි වෙල්ලස්ස සටන වුණු තැන
ඇත කඳුළු නිම්නයන් අසනිය කුසුම් පීදෙන
කඳුළු කැට දැක දුදනන් නින්දා බස් වහරන
'
යුර අසා නොහිට ඉගිලෙන් පුබුද අමකර නාදෙන

කඳු ගිරි මුදුන් අතුළ තේ පඳුරු වසා ගත්
අහස සිඹිනා බංගලාවෝ නිරුවතින් බලා ඉ'ත්
බලන් සකි නිල්ල දිග පිපෙන පිනි සියපත්
එවන් පිනිබිඳක්මී පඳුරෙන් බිමට පත්

තලා කඳු හිස් වොරැඳි වන වදුලු මහරු
වලා දුම් ගිනි විසුළ ලේ වපුළ ගොහුරු
පෙළා අප බිම් උදුර සින්ද දිය කඳුරු
එදා සිටියා රජුන් අද මෙන්ම වියරු

කවි සයුර ඉස ඉස ගොතා කිම කවිකම්
ගාථා ශ්ලෝකද ගයා කිම මනරම්
කාලයේ වේගයෙන් බිඳ දමා මල්කම්
පඳුරු පස් යට සැඟව මිණිවරැති මිණි කම්

ගිම්හාන සරතැස දරන්නට නොහැකී
සරතාකාශයෙහි වැහි වළලු වියැකී
පිපෙන්නට නොදී පෙති මලින මම මලකී
අයහ වොරැඳෙන ලොවක මියෙනු නම් යෙහෙකී

තියු ගේය දමිල සර ඇසෙන සඳ කෝවිලේ
විලාපය යටවේද අසල තේ කම්හලේ
කඳුළු කඳු උදුල කඳු දහසකුත් මං පෙළේ
අහර නැති කුසක කවි ලියන්නද බල කළේ

ඈත කඳු හිස ලැයිම් පේළිය අතර ගැහැනියකගෙ හැඬුම්
අතර මතුවෙයි අසා ඉන්නට නොහැකි බෑඟිරිමය කියුම්
දිවි සටන ගෙන යන්ට ළත වෙන කවර කත ළඟ වුව උතුම්
දණ නැමූවට කවර වරදද එසඳ විකසිත වෙයි පියුම්

පඩි කපාපන් පඩි කපාපන් කියා කෑ ගසනා මැසිම්
අතර මියයයි සිහින දහසක් මවන්නට පෙර නෙක උවම්
කෝවිලෙත් කම්හලෙත් නැති දෙවි කොහේ කොතැනද මට කියන්
දයාලූ හදවත් විරත ලොව දෙවියන්ද ගොරහැඬි මැසිම්

විහඟ පෙළ' අඩ'ඟ රඟ නිබඳ තුරු මඩුල්ලේ
සමඟ සුල සොඳුරු රඟ රඟව රුක් වදුල්ලේ
අනග පල මියුරු රස විඳව එම ඇසිල්ලේ
එසඳ නුඹ ඇස ගැටේ සොඳුරු මඟ බදුල්ලේ

රස අඳුන නිලැයි කඳු නිම්න දිග පාත්‍ර
සපදයින් ගයයි මුදු සරින ස්තෝත්‍ර
රොන් සුණු සුළං සර මෙන් නිබඳ පාත්‍ර
බදුලු මඟ විගසකින් යව මා සුමිත්‍ර

                                             -
ඉතිරිය මට හිතුණොත් පමණක් පසුවට
                                                                                  
Picture - © Amanda Clark

6 comments:

  1. මාගලක් සේ....... ඒ උනත් රසවත් ගඟක් සේ.............

    ReplyDelete
    Replies
    1. කවිවලින් කතන්දර කියන්න ගියාම එහෙම වෙනවා..

      Delete
  2. කව් පලස අතුරන්න,
    එ'මත මට වැතිරෙන්න,

    ReplyDelete
    Replies
    1. සඳ නැඟෙන තුරු ඉන්න
      පෙම් ගීත මුමුණන්න

      Delete
  3. එක හුස්මට කියවං ගියා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියවාගෙන යන්න පුළුවන් වෙයි කියා නං හිතුවෙ නෑ.. :)

      Delete