සාරි පොට ඇද බිම දමා
තඩි පිරිමි බසයට නඟිද්දී
තෙරපෙමින් පා පුවරුවට නැඟ ගනිමි
බසයේ ගර්භයට හෙමි හෙමින් තල්ලු වෙමි
දහදියෙන් තෙරපෙමින් අවකාශ අතර ගැටෙමි
වැරෙන් නොවැටී සිටිමි
වැටෙමි නැඟිටිමි
වටපිට කිසිත් නොපෙනෙන අතිමහත් තෙරපුම් අතර
මම සිතමි
"කවරෙක්ද මා
කවියෙක්ද අතිශය සුන්දර යුවතියක්ද
එසේත් නැත්නම් වෙනත් ඉහළ නිලයක් දරන්නෙක්ද
පෙම්වතියක්ද මවක්ද පිය බිරිඳක්ද
අහෝ කවර අසත්‍යයක්ද
මේ මොහොතෙහි අන් කවරෙක්ද
විඩාවෙන් ගිනිගැනෙන බසයක සිරව
දුක් විඳින සත්ත්වයෙකු නොවන්නෙම්ද?
සත්‍යය යනු කුමක්ද
බසයෙන් බැස ගෙට ගොඩ වෙන මොහොතක් ගැන සිහින දැකිය යුතුද
සිහිලඹෙන් ගත දොවා තේ කෝප්පයක් රස විඳින අයුර සිතිය යුතුද
එහෙත් සත්‍යය නම් මේ මොහොතය
මහා අන්ධකාරයක ගිලී සංසාර දුක විඳින සත්ත්වයෙකු ලෙස පමණක්
මට මා හමුවන මොහොතය
'මම' සිඳී බිඳී දියව යන මොහොතය
කවියෙකුද දුක් විඳින්නේ මේ බසය මැද
වෙදදුරෙකුද වෙනත් යම් කිසිවෙක්ද
ගැහැනියක්ද පිරිමියෙක්ද
හුදු සසර දුක් විඳින සත්ත්වයෙකු මිස අන් කවරෙක්ද
මේ මොහොතය සත්‍යය
මේ මොහොතය දුකින් මිදෙන දොරටුව දැකිය හැකි මොහොත
බසයෙන් බැස යනු පෙර ආලෝකයට මා ළඟා වේවා
සසරට බැඳී ඇති වර පට ලිහී ගිලිහේවා!!"
Picture -
Michael Tolleson