උදෑසන පැය බාගයක් වේලාසනින් බසින මම කඩිමුඩි ව පිබිද වැඩ අරඹා ඇති නුගේගොඩ මංසන්ධිය පසු කරමින් යන්නේ ඉබි ගමනනි. ඉක්මන් අඩි පා කරමින් වර්ණවත් ඇඳුම් ඇඳගත් මිනිස්සු වේගවත් ගමනින් තැනින් තැන මතු ව නොපෙනී යති. වාහන තදබදයක් මට නොපෙනෙයි. මට පොත් බැලිය හැකි එක ම වේලාව එය වුවත් සරසවිය හැම දා ම වසා ඇත. මම වීදුරු දොර දෙස නිකමට මෙන් බලමින් ඇවිද යමි. තවත් අය යුහුසුළු ව තම සාප්පු, කඩ පිල් විවෘත කරනු පෙනේ. වාසනාව විකුණන මහතා පැමිණෙන්නේ හිමිදිරිය ම යැයි මට සිතේ. අයෙක් යන එන ගමන් මඳකට ඔහු අසල නවතති.
යන අතර කෝච්චි පාර වැසුණොතින්, දොර අසලට වී එහි ගමන් ගන්නා මඟීන් මට දැකිය හැකි ය. මම කෝච්චිය දැකීමට ප්‍රිය කරමි. පිච්ච ගස් තිබෙන්නේ කෝච්චි පාර පසු වුණු පසු ය. එහි හැම දා ම මල් පිපේ. ඔවුහු එතැනින් හැම දා ම යන ඉබි ගමනිය හඳුනන්නෝය. උදෑසන හීන් සුළඟක් අසල බංකු කිහිපය ද තුරු පෙළ ද පිස හමා යයි. ඉදිරි මඟ ඈත කොනකින් මතුවන උදා ආලෝකය මට පෙනෙයි.
ඉතින්, මා ඈ ගැන තව ම කීවේ නැත. ඇය මට හමුවන්නේ, නුගේගොඩ මංසන්ධියේ නාවල දෙසට හැරෙන තැන ය. පහන් මෘදු ගුණයක් ඇති ඈ හීන්දෑරි ය. 'මේ ආච්චිඅම්මා කොහේ සිට එන්නීද? ඈ විකුණන්නේ මොනවාද?' යි සිතමින් මම හැම දා ම එතැන පසු කර යමි. එක වරම මට එතැන නවතින්නට අපහසු බව දැනේ. අද ද මම ඇය පසු කර පැමිණියෙමි. අද නම් ඈ විකුණන දෙය ගත යුතු ම යැයි සිතා මම නැවත හැරුණෙමි. "මේ මොනවද?" මම ඈට ළං කොට විමසුවෙමි.
"හකුරු" ඈ ද මට ළං කොට මා විමසූ 'යුරින් ම සිනා මුහුණින් යුතු ව පැවසුවා ය. "මට එකක් දෙනවාද?" "නෑ.. මල්ලක් ඕනි නෑ..මේකට ම දාන්න." වියළන ලද කෙසෙල් කොළයක ඔතන ලද හකුරු මුලට මම මගේ බෑගය දිගු කළෙමි. "ආච්චි අම්මා, ළඟද ඉන්නේ?" "නෑ, මං හංවැල්ලේ ඉඳන් එන්නේ.. උදේ ම බස් එකේ එනවා.." "ඉතින්, උදේට කාලද ඉන්නේ.." "නෑ..තාම කඩේකින් බනිස් ගෙඩියක්වත් ගන්න ඕනි.." ඇගේ සිනාව පියකරු ය. ඈ සිටින්නේ හිටගත්වන ම ය. එහි හිඳ ගන්නට තැනක් නැත."මං ළඟ වැඩිපුර බතුත් තියෙනවා.. ආච්චිඅම්මට බත්මුලක් දෙන්නද?" "මෙතැන තියන් කන්න තැනක් නෑනේ.. ඒකයි මං බනිස් ගෙඩියක් ගන්නේ.." "එහෙනම් මං ගිහින් එන්නම්.." මම ඇය පසු කර ආවෙමි.
වියපත් වුවත්, ජීවන අරගලය නවත්වන්නට ඇයට නොහැකි ව ඇත. අප මුදල් සෙවිය යුතු ය. එය ව්‍යතිරේකී දෙයක් නොවේ. ජීවන නියෝගයක් නොවේද? ඇය වියපත් වුව ද නැවතීමට නොහැක.
ඇතැම් වාසනාවන්තයින්ට මුදල් සෙවීමට පහසු මාර්ග හෝ යටත් පිරිසෙයින් තමා කැමති රැකියාව හෝ ලැබේ. ඒත්, ඒ කොතරම් ස්වල්ප පිරිසකටද? එවැන්නන්ට රැකියා තෘප්තිය තුළින්, තමා කැමති කලාවක් සේවයක් තුළින් ජීවිතය රැක බලා ගත හැකි ය. සෙස්සන්ගේ ජීවිතය පොතට පතට පමණක් ම සීමා වන කම්කරු නීති මැදින් දිය ව වැහැරී ගලා බසින්නේ නොවේද?
සමාගම්හි සේවය කරන්නන්ට, ජීවත්වන්නට වේලාවක් නැත. ජීවිතය වැඩට සීමා වී ඇත. නිවාඩු ලැබෙන්නේ සතියට දිනක් පමණ ය. ඔෆීසියේ වැඩ පරිසරය අප්‍රසන්න ය. ලබා දිය යුතු මූලික පහසුකම්වත් නොමැති තැන් කොතෙක්ද?
සවස වැඩ ඇරී කෝච්චියේ සිර වී එන අතර මා වටා දහදියෙන්, වෙහෙසින් පෙඟී ගොස් සිටින සියලු මිනිසුන් කෙරේ මා සිත ඇදී යන්නේ මහත් දායානුකම්පාවකි. මම ද ඔවුන් අතර ම එකෙක්මී. සැබවින් ම, මම පෞද්ගලික ජීවිතයක් නැත්තියක්මි. ජීවත්වන්නට වෙලාවක්, නිවාඩුවක් නැත්තියක්මි.එසේ වුව ද, එකී කාලය තුළ අරුතැති රාජකාරියක් කරන්නට ද ඉඩ නොලද්දියක්මි. මට මිනිසුනට සේවය කළ හැකි යම්කිසි රැකියාවක් ලැබිය යුතු යැයි මට සිතෙන්නේ එබැවිනි.
සති අන්තයේ කෝච්චියේ අපේ ගෙදර යමින් සිටි මගේ යෙහෙළිය මා දෙස බලා සිටියේ මවිත වූ මුහුණෙනි. වෙහෙසකාරී ජීවිතය මා විසින් පිළි ගෙන ඇති බව ඇයට අදහාගන්නට නොහැකි ව ගොස් තිබේ.
"මං බැන්ඳොත් බඳින්නේ වයසක සල්ලිකාර මිනිහෙක්. මට බෑ ඔහොම දුක් විඳ විඳ රස්සා කරන්න" මගේ යෙහෙළිය කනුකුනු ගාන්නට වූවා ය. මම සිනාසුණෙමි. "හරි එහෙනං, බැඳගෙන බලන්නකෝ.." මම කීවෙමි. "මැරුණාට පස්සේ බූදලෙත් අයිති කරගන්ඩ බැරියැ.." අපි දෙදෙනා ම එ වර කුඩා උන් මෙන් සිනාසුණෙමු.
කෝච්චිය වේගයෙන් යයි. එහි හඬ මගේ හද පතුල විනිවිද නැඟේ. කොළ පාට ගස් කොළන් අතරින් ඇදී යන කෝච්චි ගමන රසාලිප්ත ය. කුඹුරු අතරින් මතු වෙන දිය ගඟුල් මට පෙනෙයි. මල් පිපී ඇති මිටියාවත් වුව යම් දිනෙක හමු විය නොහැකි නොවේ.
එතෙක් අපි ගමන යා යුතු වෙමු.
ඔව්, අපි අපේ හදින් නැඟී සිටිය යුතු වෙමු. අපට හැබෑ ලෙස අත දිය හැක්කේ අපට ම මිස ඒ අන් කිසිවෙකුට නොවෙයි. ඉතින්, අපි නැගිටිමු.

Picture - Ginette Beaulieu, Canadian, born 1954
No comments:
Post a Comment