Saturday, April 13, 2013

හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌ - උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ

මහරහතුන් වැඩි මග ඔස්සේ..

http://www.facebook.com/photo.php?fbid=464344630302294&set=a.463672693702821.1073741828.460853070651450&type=1&theater

6. හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌


නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්‌, බතක්‌, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්‌ ඇසෙනු ඇත.

"සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක්‌ බඳිමු ද?"

කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.

ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත.
ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න.
සමහර විට ඔබ මස්‌ මාංශ නොවළඳන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක්‌ වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.

ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර.

හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?

ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි.

හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස්‌ පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි. ඔබ මෙවන් අවබෝධයක්‌ ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක්‌ බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක්‌ වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න. සසර නැවත මව්කුසක්‌, බිත්තරයක්‌ තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය.

උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ

2 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. ස්තූතියි...මේ පොත හමුවෙලා අහම්බෙන් කියෙව්වා. හිත නිවන්නට , ආසාවන් අත් අරින්නට, කම්පා නොවෙන්නට මාර්ගයක් හමුවුනා වගෙයි !

    ReplyDelete