Tuesday, October 30, 2012

එක ආදර සහෝදරා

සති දහයක් කොළඹ ඉඳන්
අත්තම්මා එන දවසේ
පාර දිගට මල් එල්ලා
සැරසූවේ උඹ යි මම යි

වැලි කන්දක් ගොඩ ගහලා
තරප්පු පෙළවල් හදලා
අත්තම්මා එන සතුටට
උඩ පැන්නෙත් උඹ යි මම යි

උඹට අකුරු දුන්නු දවස
අද වාගෙ ම මට මතක යි
තෑගි දෙන්ට නත්තල් සීයෙක්
තෝරා ගත්තෙ මම යි

පොතක් නැතු ව නත්තල් සීයෙක්
ගත්තට තරහ වෙලා
කතා නොකර අපෙ සීයා
දිග අඩි ගමනකින් ගියා

මැරිගෝ රවුමක නැඟලා
අස්සය පිට අපි දෙන්නා
ගම් උදාවෙ කැරකෙන කොට
උඹ ඇඬුවා මතක යි මට

ඉන් ගෙනාපු ඉර කත් ගස
වතුර දදා පැළ කරලා
මල් පිපුණම උඹ ඒ මල
කඩා විසි කළා විගහට

එදා ඉතින් මගෙ ඇඬුමට
උඹත් එකට එකතු වෙලා
සූරිය කත් මළ ගෙදරක්
මතකද තිබ්බා දෙන්නා

උඹ වලටත් මම විලටත්
වැටුණේ කවදා ඉඳලද
තෝරගන්න බැරි අමාරු
තේරවිල්ල නොවෙද ඒක

නුඹේ මොළේ අඩු වුණාට
අවංකකම පිටාර යන
තඹුරු පිරුණු විලක් වගෙ යි
මල්ලියෙ උඹ තාමත් මට

කපටි මිනිස් කපුටු ගඟක්
ගයනා දුක් 'කුරු පහරට
රැවටී උඹ මගෙ කණ කර'
ගෙනිහින් දුන්නා ඔවුනට

ලොකු මිනිසුන් වී ආයෙත්
අපි මහ මඟ හමුවෙනවා
නුඹ හිස කසමින් එතකොට
පෙර වාගෙ ම හිනැහෙනවා

උඹ පාරක, මුර කුටියක
දූවිලි වැස්සක අව්වක
හිනා වෙවී ඉන්නා තැන
මගෙ රිය සක නවතින තැන

සුදු වූවත්, කළු වූවත්
ලොව අප හට එරවූවත්
නුඹ ම තමයි මට සිටිනා
එක ආදර සහෝදරා

උඹ ඔය හැටි මෝඩ වුණේ
උඹේ වරදකින් ද නොවේ
මම මේ හැටි උගත් වුණේ
මගෙ වරදින්දැයි නොදනී

අපේ යාළුකම් මකන්න
මෙව්වා ලොකු කරුම නොවේ
අප හට හිනැහෙනා දසන්
ඒ ගැන හරි හැටි නොදනී

1 comment:

  1. හරිම ලස්සනයි.ඒත් සමාජයේ මේ අද්දැකීම එමටයි. මේවා සමාජ වරදද කාගේ වරදද.මට හිතෙන්නේ තමන්ගේම වරද කියලයි.
    //අපේ යාළුකම් මකන්න
    මෙව්වා ලොකු කරුම නොවේ//
    ඔක්කොම කෙරුම් කිව්වත් මේ පද දෙකෙන් ලෙංගතු කම දෝරේ ගලනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete