එක් යුගයක
මා පෙම් කළ
එක් මිනිසෙකුගෙ මැඳුරක
සිටි ඩොගී බ්‍රොන්සි තරමකුදු
නොවටිනා මිනිසෙකු විය
'රාජු' නම්
"මූ රාජු" පළමුවර
'ඔහු' හඳුන්වා දුන් ඔහු
දරා ගත නොහැකි ව
ඇස් අග සිහිල් වෙද්දී
පස් මහ බැලුම් නොබලා ම
බැලූයෙමි මම අහක
"පුංචි නෝනා
බිම් වැටී ඇති මේ
රතු මල්
වතුර මල්"
"කප්පාදු කළ වගා බිම් එපිට
තැනෙක ඇත මනරම් මල්
ඒ මගේ පැල"
මා ඇසූ දෙයකට ඇතැම් විට
හිනැහුණා රාජු අහිංසක ව ම
'ඔහු' සමඟ මුළු මැඳුර ම
දෙවනත් කර නැටූ නැටුම්
ගෝනි කබා ටයි සපත්තු
කළ විකාර බුහුටි දැකුම්
දැක රාජුගෙ ඇස් පියනුත්
හිනා වුණා හොර රහසින්
කනප්පුව උඩ තිබු පුවක් මල
කැඩී විසිරී බිම වැටෙද්දී
එමා ද චැටර්ලි ආර්යාවෝ
කැබලි පොත් පත් පාව යද්දී
දිනෙක ඔහුගේ රහස් කුටියේ
යදොර මා සුරතින් ඇරෙද්දී
බලා සිටියා රාජු ගැහෙමින්
වසත් සමයක් නිමා වෙද්දී
කුඩා දැරියක නොවේ මා වන්
බොහෝ පිරිමින් හට දැකුම්කලු
සෙක්සි අයිටම්ස් ඔහුගෙ මැඳුරට
ගෙන එන්ට වූ දිනෙක වැහිබර
මගේ කඳුළු නෙත අබියස
රාජුගෙ ගණ කඳුළු දුටිමි
ඒ කඳුළින් වීරිය ගෙන
මම ද අලුත් ලොවක් තනමි
මනරම් මල් ලතා ගැවසි
ලස්සණයි...
ReplyDelete