Wednesday, November 7, 2012

'යකින්නිය'

වටපිට සියලු මිනිසුනගෙන්
ගරු නම්බු ලද 'යකින්නිය' නම්
මම ගැහැනියක්මි පුත
පෑනෙන් පින්සලෙන් නොව
දබරැඟිල්ලෙන් ජීවිතය ලිවූ

පුත නුඹ පිය සඳ දිවි සෙවූ ගස් අතර
මොර සූරන වැසකට අසු ව
ළපල්ලක් සේ ගිලිහි උන් දිනෙක
සියලු කඳුළු අහවර කළෙමි
කුසෙහි උන් නුඹ ද සොඳ
නුඹ කුඩා සොයුරියන් තිදෙන ද
රැගෙන ගිරි දඹ නඟිනු පිණිස ම

පුත එ මඟ පිය නැඟ
ලිස්සා යන විට නිම්නවල
බෑවුම් ද කඳු හෙල්වල
තුරු ගැහැණු බදා වුන්
නොයෙකාකාර වැල්පටවල්
අත දෙන්ට පොර කෑ 'නමුදු
නුඹ සිවු දෙන ද අතින් ගෙන
නැඟුණෙමි සීරී ගිය දණින් ම මම

නුඹ පිය සෙවණ යට උන් සඳ
හෙල්මැලක සියුමැලි හඬ
ගොර බිරමට නඟන්නට වුණෙමි
හෙල ගල් මුල් පෙරළන්ට වූ සඳ
වන සතුන් නෙක වෙස් ගෙන
අප සපා කන්ට ආව ද

මහා සැඩ රළට අසු ව
ගසා ගියෙමි කාලයේ දිය පහරට
සොඳුරු ඉවුරක රැඳී
පුත දියණියන ඔබ
පිපෙන තුරු සව්සිරි දි දී

2 comments:

  1. ගොඩාක් අම්මලා එහෙම තමයි... සුපිරි...

    ReplyDelete