Saturday, November 24, 2012

ගෙදර එනවද නැවත



වල දමා ආ දා තරුව
තෙමි තෙමී ඇඬුව මහනුවර
නුඹට මතකද තව ම
මා දමා ගිය බිරිඳ

හුළු ගඟෙන් රැළි නැඟී මැකූ යුග හසරැලී
දැස අග වෙලි වෙලී අඳුරු තිරකඩ අදී
කළුවර ම දවාලෙත් දුදුලු කඳුළෙන් වැසී
කඳු මතින් බිමට පැන රිදී ඉදිකටු අනී

කොකුම් සුවඳැති වරල විදා මා වැළඳ ගත්
සරා සඳ අහස හා විරසක ව යන්ට ගොස්
අහස අඳුරු ව හඬන හැටි නොදන්නෙද සඳක්
දුක ද ගල් ගැසී යයි අහිමි සඳ උරහිසක්

සඳේ ළය දෙපලු වී වලාවක ඇනෙන්නේ
නුඹ කූරු වී ගිහින් වක වෙලා පෙනෙන්නේ
සඳට කිරි එරෙන බව නොදන්නෙද කියන්නේ
එළි පුඤ්ජ එකතු කර යළි තරුව තනන්නේ

අකුරු හා පාපිලී නොදන්නෙ ය ගොතන්නට
ඇලපිලි ද ඉකි ගසයි නුඹ සොයා ඇදෙන්නට
නොදන්නෙමි සොඳුර මම මගේ දුක ලියන්නට
ගෙදර එනවද නැවත අපෙ තරුව සොයන්නට

Pic. from 'Dear John'

No comments:

Post a Comment