Wednesday, October 2, 2013

කඳුකර මං - ඉලුක් යායක් අතර

Michael Gorban, Leaves in the Mist

"ඉක්මන් කරන්න. උන් එනවා." ජෝතිගේ තාත්තා ආවේ සීයා ව ඔසවාගෙන ය. අහස කළුවරට බර වී තිබූ ඒ හැන්දෑවේ අප සිටියේ ගෙයි පිටුපස කුස්සියට යාබද ව තිබූ ඉස්තෝප්පුවට වී තේ බොමිනි. ඔවුන් පිටුපස ජෝතීත් ඇගේ මවත් දිව ආහ.

"මෙච්චර පරක්කු වෙන්නෙත් නෑ.. මාමණ්ඩි කැමති වුණේ නෑ නොවැ මී හරක් බාන මඟ දමාල එන්න. උන්වත් දක්කන් එන්ඩ සිද්ද වුණා මේ තදියමේ." ජෝතිගේ තාත්තා කීවේ ය.

ආච්චීත් අම්මාත් කඩිමුඩියේ ජනෙල් දොරවල් වසන්නට විය. අම්මා අතට අහුවුණු රෙදි ටිකක් මල්ලකට ඔබා ගත්තා ය. කළුවර වෙමින් තිබුණු අහස යන්තමට වැහි බිඳු එක දෙක බිම දමන්නට විය. "මට පයින් එන්ඩ හයිය තිබ්බට මොකොද මේකා මාව උස්සන් ආවෙ නැතෑ.." උර රැඳී තිබූ තුවා ලේන්සුව ගසා දමමින් කී සීයා ගෙයි ළඟ වෙලෙහි නවතා තිබූ මී හරක් බාන කන්ද දෙසට දක්කන්ට විය.

වෙල නියරට වන් අපි සැවොම ඒ පිටුපස කන්ද දිහාට ඇදෙන්නට පටන් ගතිමු. අපට සමාන්තර ව වෙල දිගේ යන සීයා "ජඃ.. ජඃ.. ඉක්මන් කොරපල්ලා" යි කියමින් අම්බරුවන්ගේ පිට මතට කෙවිටෙන් තට්ටු කළේ ය.

මෙතරම් වේගයෙන් හති හලමින් අප කන්ද දෙසට ගමන් කරන්නේ මන්දැයි මට තේරුණේ නැත. ඒ කියන අය මේ ගන රූස්ස ගසැති කැලයෙන් මතු වන්ට බැරිදැයි කියා ඒ වෙනුවට මට සිතිණි. කුමක් හෝ දෙයක් නිසා පසුගිය සතිවලදී අප රාත්‍රිය ගත කළේ ඇළට මායිම් ව ඇති වත්ත පහළ මඤ්ඤොක්කා කොටුවේ ය. එහි තුන් පැත්තකින් මැටි ගසා කුඩා පැලක් තනා තිබිණ.

එහි සිටි අපි 'හ්ම්' හඬක් නොනඟා ඇළ දිගේ වැටී ඇති අඩි පාර දෙස බලා සිටියෙමු.

එහෙන් මෙහෙන් නැඟුණු සද්ද බද්ද තුරන් ව මැදියම් රැයේ පරිසරය නිශ්ශබ්ද ශාන්ත ස්වරූපයක් උසුලන්ට වෙද්දී, පැල කොණෙක ගිනි ඇවිලූ ආච්චී අපට කන්නට මඤ්ඤොක්කා අල පුච්චා දුන්නා ය. හවස් වරුවේ ඇළෙන් ගෙනැවිත් තැබූ දියෙන් රැය තිස්සේ කිහිපවරක් ම වතුර උණු කර තේ සාදනු ලැබුයේත් ආච්චී ය. හැම තිස්සේ ම කොනිති ගගහා මා විසින් අසන ලද නා නා ප්‍රකාර ප්‍රශ්නාවලීන් ආච්චීත් සීයාත් අම්මාත් තිදෙනා ම මේ දවස් ටිකේ ඉවසුවේ මහත් නොකැමැත්තෙනි. ආච්චී විටින් විට මගේ කට සිය අතින් වසනු ලැබුවා ය.

මඤ්ඤොක්කා කොළ අතරින් ඈත අහස කොණක සිට අඳුර පරයමින් ගලා ආ සඳ එළිය යන්තමට පෙරී ආවේ ය. මම පැල ඉදිරිපිට මිටි ගලක් මත ඇන බා ගෙන අහස පුරා විසිර ඇති තරු රටා දෙස බලා සිටියෙමි. ඉඳ හිට අහසේ චලනය වන ආලෝක පුඤ්ජ අසුරු සැණින් පෙනී නොපෙනී ගියේ ය. පොළොව වසා විහිදුණු කනමැදිරියන් ඇලවූ මැටි මූඩියක් මෙන් අහස විටෙක හිස උඩින් එබී බලා සිටියේ ය. තවත් විටෙක මහ පොළොව මත සිදු වෙන සියලු දෑ නිසසල ව නරඹන ආර්යාවක් මෙන් ඉඟෙහි ගැවසෙන වලා රැළි ඈත් මෑත් කරමින් ඇසි පියන් සැලුවා ය. එ වන් විට ඇය සිටින්නේ මට වඩා කොපමණ උසකින්දැයි සිතී සිහින් සාංකාවක් මා තුළට කාන්දු විය.

ඒ උස කොතෙක්ද යත් ඇයට අප එක් එක් පුද්ගල විලාසයෙන් සොයා ගනු බැරි වීම නිසැක ය. අහම්බයකින් හෝ අහස අත්තටු විදන විශ්ව පරාසය එක් පුද්ගලයෙකැයි අප හඳුනා අප වටා කේන්ද්‍ර ගත විය නොහැකිද? නො එසේ නම්, මෙය අහසේ ඉතා ඈත කොණක ක්ෂුද්‍ර ජීවීන් සමූහයක් වැනි පිරිසකගේ හැංගි මුත්තන් සෙල්ලමක් හෝ චක්ගුඩු පැනීමක් හෝ වගේ වන්නට බැරිද?

මඤ්ඤොක්කා කොටුවේ නිසලතාව ඉඳහිට බිඳී ගියේ වැට කඩා එහි ඇතුළු වූ ඌරෙකු දෙන්නෙකු නිසා ය. තටු ගසා ඉගිල යන වවුලන්ගේ හඬ ඉඳ හිට ඔය දෙසින් ඇසිණි. මැදියම් රැය පසුවෙද්දී මට බිම එලූ පැදුරු කෙටිය මත නින්ද යන්නට ඇති 'මුත් සීයාත් ආච්චීත් නම් රැය පහන් වන තුරු නිදා ගන්නට නැත.

ඉඳි හිට වැටුණු වැහි පොද  සමඟ සීතල සුළඟ ඇඟේ හැපෙමින් ඈතට දිව යන්නට විය. ජෝතී ඇගේ පියාගේ කර මත සිටි අතර මේ වන විට කඩි දෙනක මෙන් දිවයමින් සිටි මම හතිවැටීමෙන් අනතුරු ව අම්මා විසින් වඩා ගනු ලැබ කන්ද දෙසට ඇදෙමින් සිටියෙමි.

ජෝතිගේ තාත්තා කීවේ, කවුරුදෝ අපේ නම් ලැයිස්තුවක් සාදා කාටදෝ දී ඇති බවත් වහා පලා යා යුතු බවත් ය. පහුගිය දෝහේ මරා දැමූ මිනිසුන්ගේ හිස් මහ පාර අසල ගල ඔයට විසි කොට ඇති බවත් එය දැක බලා ගැනීමට තමා ද ගිය බවත් ඔහු කීවේ ජෝතිත් මාත් මහත් බය බිරාන්ත භාවයකට ගෙන යමිනි.

අප දෙදෙන එකිනෙකා දෙස බලමින් ගල් ගැසී සිටියෙමු. මේ වන විට අප සිටියේ පහළ තැනි වෙල් එළිය ද හෙල්මළු පඩි පෙළ ද නැඟ අවසන් ව අඳුරු කොළ පාට වනයට ඇතුළු වෙමිනි.

මහා රූස්ස ගස්හු සුළඟට සැලෙන පත් බිම අතුරමින් අද්භූත ලෙස බලා සිටියහ. වනය අසල ගෙයක උදවිය ද ජෝතිගේ තාත්තා විසින් කියන ලද කතාව අසා අපේ නඩයට එකතු වූහ. අපි ඔවුන්ගේ ගෙයි අසලින් ඇරඹුණු මහා ගන වනය තුළ ඈතට ඈතට කිමිදී ගියෙමු. සිය මී හරක් බාන වනයට පිවිස ටික දුරකින් වූ ගසක බැඳ එහි නතර කර ආ සීයා පිරිසට මඟ කියමින් ඉදිරියේ සිටියේ ය.

අපි ගස් අතරින් රිංගා විත් ගල් තලාවකට ගොඩ වුණෙමු. මෙතෙක් සැඟවී තිබුණු වැහිබර අහස පෙනෙන්නට වූයේ එ විට ය. "මෙතන වාඩිවෙයල්ලා.." ගල් පොත්ත පෙන්වමින් සීයා කීවේ ය.

ගල්පොත්ත වට කොට තිබුණේ ඉලුක් යායකි. පහළ බසින බෑවුමකින් යුක්ත වූ ගල්තලාව මත එකලසක් වූ පසු, ගම්මානයේ ඈත කෙළවර ද අපගේ ගෙවල් දොරවල් ද අප ඇසට හසු විය. කිසිවෙකු නොමැති ව තනි ව ඇති ගෙදර පිළිබඳ හීන් ශෝකයකින් මා වෙළා ගනු ලැබිණි.

පසු ව ගමනට එක් වූ ගෙදර අය ගල මත රතු ඉටි රෙද්දක් එලන්නට විය. "ගනිල්ලා.. ගනිල්ලා.. ඕක අහකට. ඉන්න තැන පෙන්නලා මැරෙන්නද හදන්නේ..?" සීයා එය අහක් කරමින් කෑ ගැසුවේ ය. "ඇයි බොලවුනේ, පහතට රත පේන් නෑ කියලද හිතේ.." එක වරම මහා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේ එ විට ය. කඩිමුඩියේ පිහියකුත් රැගෙන ඉලුක් ගාල වෙත දිව ගිය ජෝතිගේ තාත්තා වැස්සෙන් ගැලවිය හැකි පිණිස ඉලුක් අතු කපා ගෙන ආවේ ය. කුඩයක්වත් රැගෙන එන්නට කිසිවෙකුට සිහි වී තිබුණේ නැත.

එයින් යම් ආවරණයක් ලැබුණ ද වැස්ස එන්න එන්න ම සැර විය. ඉහළින් ගලා ආ වතුර ගල් පොත්ත මතු පිටින් ද ගලා එන්නට විය. ආච්චී මා චීත්ත රෙද්දකින් වසා තමා වෙත ළං කර ගත්තා ය.

ජෝති ද ඇගේ මවගේ උකුල මතට වී ගුලි ගැසී සිටිනු පෙනිණි. වරින් වර අපි එකිනෙකා දෙස හොරැහින් බලා ගතිමු.

මේ වන විට හැම දෙනා ම හිටියේ වැස්සෙන් තෙතබරිත ව ය. විදුලි කොටමින් අකුණු ගසමින් වැස්ස තව තවත් සිය තදකම පෙන්වී ය. අප කිසිවෙකුට අප කිසිවෙකුගේ හඬ නොඇසෙන තරමට අහස ගර්ජනා කරමින් පොළොවට කඩා පැන්නේ ය. කොතරම් හයියෙන් වැසි වැටුණාද කීවොත්, ගම්මානයේ සිටින කෙනෙකුට අහඹු ලෙස අප පෙනෙනවා තබා අපට ගම්මානයවත් හරියට පෙනුණේ නැතැයි මට හිතේ.

අඳුර.. එක දිගට ඇද හැලෙන වතුර කඳ.. තද කහ පැහැයකින් අහස මත ඇඳී ගිය විදුලි ඉරි.. කන් පුපුරුවන - හද සලිත කරන ගෙරවුම් මැද නිහඬ මිනිස් පොදියක් ව තෙතබරිත ව දොරගල කඳුවැටියේ වන ගහණය අතර අපි ගල් ගැසී සිටියෙමු. විටෙන් විට විදුලි කෙටුමෙන් ඇති වූ ආලෝක ධාරා නොවේ නම්, අන් අයගේ මුහුණවත් දැක ගත නොහැකි වන ලෙස අන්ධකාරය සීතල පොරෝනාවක් එළමින් සිටියේ ය.

Picture - Michael Gorban, Russian, born 1956

11 comments:

  1. පුරුවේ පිනකට ඒ අවාසනාවන්ත කාල පරිච්ච්ජේදයේ මං මේ ජීවිතේ ඉපදිලා නොහිටියේ....

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ, ඔයා ඒ කාලේ ඉපදිලා ඉඳලා ඒ කාලෙන් පස්සේ ආයෙත් ඉපදුණාද කියලා...? :D

      Delete
    2. ඔව් ඒක තමා මං මේ ජීවිතේ කියල කිව්වේ,
      ඒත් මං හිතන්නේ නෑ ඒ කාලේ මැරිච්ච අය බොහොමයක් ආපහු මිනිස්සු වෙලා ඉපදෙන්ට ඇති කියල.

      Delete
    3. අපොයි! (ඒත්, එහෙම වුණා නම්, ඒක හරි ම අසාධාරණ යි. අහිංසක මිනිසුන්ට තම සංසාරගත රිත්මය නැති වෙච්ච එක..)

      Delete
    4. ලෝකේ සාධාරණත්වය හොයන්ට ගියොත් මහන්සියක විතරයි උරුම වෙන්නේ, වැඩේ තියන්නේ ඒක අපිට අමතක වෙන එක.
      ඒ මිනිස්සු කලින් කරපුවට විපාකද කියන්න දන්නේ කවුද?
      එහෙම නම් එක හරි රිද්මයක්,

      Delete
    5. විපාකමය විදිහට මේ වගේ දෙයක් හිතන්න ගියොත්, මේ භවයෙදී යහපත් භාවය නිසා ම සම්බන්ධකම් ප්‍රයෝජනයට නොගෙන, අවස්ථාවන් උදුරා නොගනිමින් දුෂ්කර ජීවිත ගත කරන මිනිසුන්ටත් හිතෙන්න පුළුවන්.. "මේ පෙර කර්ම විපාකද?" කියල.. ඒත්, මා නම් ඒ සංවේදී යහපත්භාව දකින්නේ 'කර්ම විපාකයක් විඳීමක්' විදිහට ම නෙමෙයි... සංසාර ගමන යහපතට ම යොමු කොට ඉදිරියට යෑමක් ලෙසයි..

      ඒත්, ඒක මගේ පුද්ගලබද්ධ අර්ථකථනයක් විතරයි.

      Delete
    6. ඔව් ඒ මිනිස්සු අනාගතේ සැප ලැබෙන දුකක් විඳිනවා.

      Delete
  2. මේ කලින් භීෂණ සමයේ කතාවක් මට සිහි ගැන්වුයේ. නියමයි කියන්නේ මට මතක් වුනා චම්මින්ද වෙලගෙදරගේ නවකතාවක්. ඒකෙත් මේ විදිහටම නියම ගම්බද හැඩය පෙන්වනවා ගැමි වහර මගින්...කැලයක රෑ මෙන්න මේ විදිහයි කියන එකත් මගේ හිතේ රූපයක් විදිහට මැවුනා. සාර්ථක කතාවක්...මේකෙ තවත් කොටහක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන විදිහට තවත් කොටස් ලියන්න උත්සාහ කර බලන්නම්.. ස්තූතියි ඔබට.

      Delete
  3. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වුනා.. මෙහෙම කාලයකුත් තිබුනනේ..

    ReplyDelete
    Replies
    1. hm.. ඇත්තට ම, මාත් ඒ කාලයේ කොටස්කාරියක් නෙමේ..

      Delete