Monday, June 11, 2012

අනේ අත්තම්මේ..

Houses Along the Coast

මම ඔබේ තෙල් කුප්පිය රැගෙන ආවෙමි. ඔබ යනෙන තැන ගෙන ගිය පුවක් ගෙඩි කිහිපයක් ලූ කඩදාසි මල්ල..ඒ තුළ එබූ කළු පාට කුඩය.. හිසේ බැඳි හවරිය.. මින් වසර දාහතකට පෙර මිය ගිය සීයා තෑගි දුන් අමුතු ළා කොළ පාට තැනින් තැන සුදු කොටු විසිරි චීත්තය.. හැමදාම කොට්ටය යටට වී සිටි ඔබේ බැටරි දෙකේ ටෝර්ච් එක.. පොදි බැඳ ගෙන මහඟු වස්තූන් කොට රැගෙන ආවෙමි.

ඔබ වලළා මම ඔබේ වස්තූන් රැගෙන ආවෙමි. මා එන තුරු මඟ බලමින් හඬන, මා ආපිට එන විට මඟ බලමින් හඬන ඔබේ කඳුළු ද සමඟ මම ආපිට ආවෙමි.

වැළඳ හඬන්නට සොහොයුරෙකු සොහොයුරියක නැති, ජීවිතේ හයියට මවෙකු පියෙකු නැති.., මම මතකයෙන් ඔබේ සහ සීයාගේ සොහොනට මැදි ව ගල් ගැසී නිදමි.

ඔබට ඉන්නට පුළුවන් කමක් තිබුණා නම්, ඔබ මා අතැර නො යන බව මම හොඳාකාර ව ම දනිමි. මා හට බැඳි ආදරය නිසා ම ඔබ නිවන් නො යන බව ද එලෙසින් ම දනිමි. මම මගේ මතකයෙන් ඔබේ සහ සීයාගේ සොහොනට මැදි ව ගල් ගැසී නිදමි.

ඇත්තම නම් මට ඔබත් සීයාත් සමඟ හැම දා ජීවත්වන්නට අවැසි ය. මා ද මිය ගියොත් අපට වලාකුළක් මතට වී පියඹන්නට හැකි වෙයිද?

ඇත්තම නම් මට ඔබත් සීයාත් සමඟ හැම දා ජීවත්වන්නට අවැසි ය. මා ද මිය ගියොත් අපට වලාකුළක් මතට වී පියඹන්නට හැකි වෙයිද? "හාඃ ආතේ.." යැයි මම ඔබව විහිළුවට ඇමතුවෙමි.. අනේ ආතේ (අත්තම්මේ..) මාත් එන්නද?

Picture -
Franz Bischoff, Austrian/American, 1864 - 1929

3 comments:

  1. අනේ අත්තම්මේ . . . .

    ReplyDelete
  2. තවමත් ඔබේ විදුලි පන්දම එළිය දෙන එක පුදුමයකි.
    එහෙත් ඔබට ඒ වග ලියා එවන්නට බැරි එක පුදුමයකි.

    ReplyDelete
  3. තවමත් ඔබේ විදුලි පන්දම එළිය දෙන එක පුදුමයකි.
    එහෙත් ඔබට ඒ වග ලියා එවන්නට බැරි එක පුදුමයකි

    ReplyDelete