Thursday, December 14, 2023

නිකොලායිගේ පුදුම රට


ග්‍රැන්තම් විදුහලේ මහාචාර්ය මාකස් නිකොලායිට තියෙන්නේ අධිමානය යැයි කියන අතරේ නිකොලායිගේ කාර්යාලාධිපති මාර්තා නිකොලායිට තියෙන්නේ හීනමානය යැයි කීවාය. නිකොලායි හිටියේ තමාට තිබෙන්නේ කවර මානයදැයි හිතා ගන්නට බැරිවය. ඔහු දැන හිටියේ කෝණ මානය පමණි. අධිමානයට නම් තමාව තරමකට හෝ ගලපා ගත හැකි යැයි පසුව ඔහු හිතුවේය.

අධිමානය යන්න මෙහෙමය. අලු පාට අහස මත දේදුන්ක් ඇඳිච්ච හැම වතාවකම නිකොලායි එය දෙව්ලොවක් යැයි සිතුවේය. දියසායම් ඉහිරුණාක් මෙන් වලාකුළු මත ඉහිරී යන පාට දුටු විට ඔහුගේ හදවත දිය මතුපිටට කරණම් ගසන මාළුවෙකු මෙන් නැටුවේය. අනෙක් අතට ඔහු චොකලට් බෝලයක් ලද විට තමාට  මේ ලැබුණේ ලොව ඇති වටිනාම වස්තුවකැයි සිතුවේය. ඔහු එය විස්තර කළේ එහි සැබෑ ප්‍රමාණයට වඩා විසි ගුණයක්වත් වැඩි කරමිනි. වරක් ඔහු සිය පෙම්වතියට දෙනු වස් ක්‍රිසැන්තම් චොකලට් බෝලයක් ඔහුගේ කෑම පෙට්ටියේ බහාගෙන පරිස්සම් කළේය. ඔහුගේ මිතුරෙකු විසින් එය ඩැහැ ගනු ලැබූ විට ඔහුගේ හදවත කැබලිවලට බිඳී ගියේය. ඉතා සියුම් දෙයක් වුව සුවිසල්ව හා වර්ණවත්ව පෙනුණු නිකොලායිට තමාට හීනමානය අදාළ වන්නේ කෙසේදැයි නොවැටහුණේය.

කොහොම නමුත් නිකොලායි ලැබූ ඒ අපූරු පැසසුම් දෙකටම හේතු වූ සිදුවීම් මෙසේය. මහාචාර්ය මාකස් නිකොලායි අමතා අධ්‍යක්ෂ හෙලං හොඳදැයි ඔහුගෙන් ඇසුවේය. තමන්ට නං අධ්‍යක්ෂ හොඳ කෙනෙක් නොවේ යැ‍යි නිකොලායි කීවේය. "හනේ කොච්චර අහිංසක මනුස්සයෙක්ද? කතා කරන වචන ඇහෙන්නේවත් නැති තරං. කට ඇරියොත් කියන්නෙ රටට සේවයක් කරන්න ඕනමයි කියල. ඊළඟ ජනාධිපති අපේක්ෂකයගෙ කලින් ගර්.ල් ෆ්‍රෙන්ඩ්ලු. ඔය වගේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනි." මහාචාර්ය මාකස් කිව්වේය. "හදවත් සැත්කම් කරල රටට සේවයක් කරන්න ඕනෑ කියන්න නං මහාචාර්යතුමා අඩුම තරමෙ එයා දොස්තර කෙනෙක්වත් වෙලා ඉන්න එපැයි." නිකොලායි කිව්වේය.

ඊළඟ දවසේ අධිපති මාර්තා කාර්යාල කාමරවල සංචාරය කළේය. වෙනත් කාර්යාලවල ප්‍රධානීන්ට පොලිසියෙන් පනින්නාක් මෙන් කාර්යාල කාමරවලට පනින්නට වෙලාව නොතිබුණද කිසිදු වැදගත් වැඩක් නොකළෙන් මාර්තාට ඕනෑ තරං වෙලාව තිබුණි. මාර්තා තම ප්‍රධාන රාජකාරිය ලෙස සැලකුවේ රටෙහි පළ වන සියලුම පත්තර අදාළ දවස ඇතුළත කියවා හමාර කිරීමය. හදවත් සැත්කම් ආයතනය ගැන විවේචනයක් පත්තර පිටු තුළින් හමු වූ විට මාර්තාගේ කාර්යාල කාමරය ඉතා ඝෝෂාකාරී විය.

නිකොලායිගේ කාමරයට ආ මාර්තා එහි තිබූ මිටි වානේ අල්මාරිය සොලවා බැලුවාය. ඉන්පසුව අල්මාරිය මත වූ වේවැල් කූඩයට තට්ටුවක් දැම්මාය. දූවිලි පිරුණු දුඹුරු පාට ජනෙල් රෙදි ගසා දමා එය මුලින් අල්ලා වීදුරුව පෙනෙන සේ ඈතට ඇරියාය. "තමුන්ට තියෙන්නෙ හීන මානෙ. තමුන්ට මම නියෝග කළා හදවත් සැත්කමක් වෙන විදිහ මට උගන්නන්න. තමුන් ඒක කළේ නැහැ. තමුන්ට පුදුම හීන මානයක් තියෙන්නෙ" මාර්තා ගුගුළාය. නිකොලායි සිනා වී ගෙන හිටියේය.

නිකොලායිගේ රට පුදුම රටකි. උඩ පුටුවල ඉන්දවන්නේම වැඩ බැරි අයය. ඔවුන් ඉන්නේ පඩි ගන්නත් මොන වැඩේ ආවත් 'FNA' ගහන්නත් විතරමය.

- ෂසිකා අමාලි මුණසිංහ


4 comments: