
අන්දර වැට අද්දර සිට ඔබ
'එයා කැමතියි මට
කැමති වෙන්නද මාත්'
ළපටි නා පතක් මෙන් රතුව
ඇසූ හැටි මතකැති බැවින් තවම
අන්න ඒකයි හේතුව
මට ඔබේ පින්තූරවලට කැමති වෙන්නට බැරි වන
යගදාවක් මෙන් බර වෙයි මගෙ හිත
කාලාන්තරයක් වැළලිලා ගිහින් වෙන කොට
නමුණුකුල මෙන් ගැහෙන තරමට හීතල
ඔබේ උණුසුම් අලුත් පින්තූර
හිමාලය මෙන් දිය කරයි අතීතය වත
අතීතය කියන්නේ එක්තරා මුසාවක් නම්
දිය බුමක් මෙන් මතුව එන මතකය!
'එයා කැමතියි මට
කැමති වෙන්නද මාත්' ඔබෙ හඬ
ගැබ්බර අහස මෙන් කඩා වැටෙනවා සවනට
අන්න ඒකයි කැමති වෙන්නට බැරි මට
ඉන් එහා දර්ශනයක් ඇත්තෙත් නෑ ඒකට
Picture - Trent Gudmundsen, from Utah, USA
No comments:
Post a Comment