Thursday, January 15, 2015

විශ්වයෙන් ඈත්ව දෙසතියක්: වන සටහන්


ගිරි ඉස බැමි මුදා සිය බඳෙහි වලාකුළු රඳවා සිටින කල්හි දොරගල මවන්නේ අයස්කාන්ත ශ්‍රී දසුනකි. තැනින් තැන දම් පාට කවාකාර කඳුය. අවාන් බඳු තුරු වදුලුය. හිත මත බැලේ නැටුමකිය.

නැවුන් පලරසින් අමන්දානන්දනයට පත්ව නබෝ ගැබ වී කරලක් ලෙද ඉගිල යන විහඟ දනුව කඳු අස ශෝකී උදකලාව පලවා හරියි. මිනිස් වැසින් මිදි වන අරණක අස මමද විහඟෙකු පරිද්දෙන් වැතිර සිටිමි.

සිසිරයේ ශීත සුළඟ සර සර හඬින් ඉරුං පත් අතරින් ගලා එයි. ඊසාන දිග මෝසම නොතකා පුරු වනු පිණිස තැබූ ඉරුං ගස් සිය ඉස් ඔසවමින් කඳු ගර්භය දෙස කටාක්ෂ නිරීක්ෂණ පායි. වනපෙතට ඇදී යනු වස් මම නැඟිටිමි. "සීතල සුළඟ අප පිළිගෙන - කඳු බඳෙහි රඳවනු මැන" තණ පත් ගයන හඬ ඇසෙයි. ගසා යන පත්හි මිහිරි රහස් ගෙන සුළඟ කඳු ඉස් මතින් පියඹයි.

වෙල්ලස්ස අස්වද්දමින් හමා යන ඊශාන දිග මෝසම් වැසි දියෙහි සොඳුරු චුම්බනයන්ගෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් මනාලියන් පෙළක් මෙන් ගංහෝ වසා නටන දිය පොකුරුය. සියයට සියයක් පිරිසිදු නැවුම් සුළඟ ආශ්වාස ප්‍රශ්වාස කරමින් මම මඳක් නැවතෙමි.

මෙහි මාස් කන්නය සැප්තැම්බර් පහළොවේ සිට මාර්තුවේ පහළොස් වැනි දින තෙක් දින ගණියි. සැප්තැම්බරයේ කිහිප දොහක් බෙලි තෝර වැසි ඇද හැලෙන්නට ගනී. ඔක්තෝබරයේ විසි වැනි දින ළං වන විට වසරකට වරක් දීර්ඝ නිවාඩුවක් පතා පැමිණෙන්නාක් මෙන්, මඩකලපුව දෙසින් ඊශාන මෝසම් වැසි හමන්නට පටන් ගනී.

ඇළ අද්දර දියට හිස නවා හිඳින හබරල පත් මතට වැටි දිය බිඳු පළිඟු මෙන් දිස්න දෙයි. හබරල පත් ඔරුවක නැඟි බත් කූරෝ දෑස් දල්වා විශ්වාස නැති අහස් කුස දෙස බලා හිඳිති. වෙළ වියන බිඳ හීන් හිරු කිරණ මිහි මතට පාත් වන්නට ගද්දී, වන මැද ගලා බස්නා දිය පහරක මම දිය කාවෙකු මෙන් ගිලී යමි. මුළු මහත් සුන්දරත්වයම උරා ගත්තාක් මෙන් අහස වෛචිත්‍රයක් මෙන් පාට වන්නට පටන් ගනී. සීතල සම විද වෙවුලවන්නට තබද්දී, මම විරත කළ නොහී සුන්දරත්වයෙන් වන පෙතට ආබද්ධව හිඳිමි.

6 comments:

  1. / වී කරලක් ලෙද ඉගිල යන විහඟ දනුව කඳු අස ශෝකී උදකලාව පලවා හරියි./

    විහඟ දනුව කියන්නෙ මොකක්ද කඳු?

    / සියයට සියයක් පිරිසිදු නැවුම් සුළඟ ආශ්වාස ප්‍රශ්වාස කරමින් මම මඳක් නැවතෙමි./

    සියයට සියයක් කිව්වම එතන පොඩි නොගැලපීමක් තියනවයි කියල මට හිතෙනව කියල කියන්නට මට අවසරද?

    මම ලිව්වනම් ලියන්නෙ මෙහෙම...:)

    " තවමත් පහව නොගිය වැස්සෙහි සුවඳ රැඳි පිරිසිදු නැවුම් සුළඟ ආශ්වාස ප්‍රශ්වාස කරමින් මම මඳක් නැවතෙමි "

    හරිම අපූරුයි..කඳු...:)

    ReplyDelete
    Replies
    1. 'හඬ' නේද?

      ඔබ ලියා ඇති විදිහ වඩා අලංකාරයි තමයි, ඒත්, මේ මගේ නැහැයට දැනෙන විදිහ! ඒක නගරයේදී වෙනස්! (unable to sign in)

      Delete
    2. දනුව කියල හඬට කියනවද? ස්තූතියි... අලුත් වචනයක්...:)

      / ඒත්, මේ මගේ නැහැයට දැනෙන විදිහ! ඒක නගරයේදී වෙනස්! /

      එකඟයි..බොහෝ වෙලාවට තමන්ට දැනෙන දේ එලෙසම කියන්න වෙනව අලංකාරෝක්තීන් රහිතවම...

      Delete
    3. රවී, Basketballවලට පැසිපන්දු නොකියා බාස්කට් බෝල කියලා ලිව්වොත් වැරදිද?

      Delete
    4. ප්‍රශ්නයක් නෑ මම හිතන්නෙ....ඒත් වියෝවක් වගෙ දුක්මුසු අවස්තාවකදි බාස්කට්බෝල කියනවට වැඩිය පැසිපන්දු කිව්වොත් හොඳයි කියල මට හිතුනා...එපමණයි...:)

      Delete
    5. ගොඩක් ස්තූතියි!

      Delete