Saturday, December 13, 2014

නෑ ගමන සහ කලිසම


පුංචි රොකට්කාගේ උපන්දිනය තිබුණේ අවුරුද්දේ අන්තිම නිවාඩුවේ අන්තිම සතියේය. එ'වර උපන්දිනයට අම්මාගේ උපන්දින තෑග්ග වූයේ නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ රෝස පෑ කදිම ටීෂර්ටයකි. සීයාත් ආච්චිඅම්මාත් සමඟ හැම අවුරුද්දකම යන ආච්චිඅම්මාගේ ගමේ සවාරියට රොකට්කා සැරසුණේ අම්මාගේ උපන්දින තෑග්ගෙනි.

එහෙත් රොකට්කාගේ සිතේ මහත් චකිතයකි. කුඩාම කල කලිසම් ඇඳ සිටියායින් පසු රොකට්කා දිගටම ඇන්ඳේ කුඩා කුඩා ගවුම්ය. පාට පාට ගවුම් කීපයක්ම ඈ සතු විය. ඉතින් කලකට පසු කලිසමකින් හැඩ වීම ඇගේ සිතට නුපුරුදු හැඟීමක් ගෙනාවේය. රොකට්කාගේ යාළුවෝ ඇන්ඳේත් ගවුම්ය. දන්න කියන යාළුවෝ කවුරුත් හමුනූණොත් හොඳ යැයි තම එහෙට මෙහෙට විසිරි කොණ්ඩය එක්කාසු කර රෝස පාට රිබන් පටියක් ගැට ගසන අතරේ ඇයට සිතුණේ ඒ නිසාය.

එහෙත් සීයාත් ආච්චිඅම්මාත් පෙරටු කරගෙන යන ගමනේ උජාරුව නම් ඉන් බිඳක්වත් සිඳුණේ නැති. බස් නැවතුමින් පොදු බස් රථයට නැඟුණු ඇය ආච්චිඅම්මාත් සීයාත් මැද්දට වී එහි අවසන්ම අසුනේ හිඳ ගත්තාය. අවුරුද්දකට වතාවක් ආච්චිඅම්මාගේ ගමේ යන මේ ගමන කොතරම් සුන්දරද බස් රථයේ වීදුරු කවුළු පසු කොට වේගයෙන් දුවන ගස්වැල් දෙස ඇය බලා සිටියේ මහත් ප්‍රීතියෙනි. ගස්වැල් පමණක්ද, ඉසෙහි වලාකුළු සැරසිල්ලක් දමාගෙන සිටි කඳුවැටි බසය පසෙකින් දුව ආයේ රොකට්කාට අත වනන්නට මෙනි. අවාන් බඳු තුරු වදුලු වන්නමක් නටන්නාක් මෙන් ඈට පෙනිණි. ආච්චිඅම්මා අසල කවුළුවට එබුණු ඇය බසය හා දුව එනු නොහී පසු බසින කඳු වෙත අත වනා ආචාර කළාය,

රොකට්කා මුළු නිවාඩුවම ගත කළේ නිවස අසල කඳුකරයේ වන ලැහැබ්වල ආර්යාත් සමනොලීත් සමඟ ඇවිදිමිනි. ඔවුන්ගේ වස්තු පෙට්ටීන්ට දමනු වස් එක්කහු කර ගන්නට මාහැඟි වස්තූන් රාශියක් වන ලැහැබ් තුළ තිබිණි. ගංහෝ දියකඩිති කිමිදැති රෝස, ඇත් දළ පෑ සෞම්‍ය වන් ගල් කැට සහ රන්වන් මිනිරන් කැබලි, ඔවුන් ඔංචිල්ලා පදින පුස්වැල් අසල වැටී ඇති මදට පෑ පුස්වැල් ඇට, තැනින් තැන සැඟවැති මදටිය සහ ඔළිඳැට ඔවුන්ගේ වස්තු පෙට්ටීන් පාට පාටින් විසිතුරු කළේය. ඉඳහිට මොණර පිහාටුද දේදුනු වන් සමනල තටුද වනයෙහි සිට ඔවුන් හමු විය.

ඉතින් දින කිහිපයකට වුවත් කඳුකරය තමා හා ඔහේ දුව පැන නටන ඇයව කෙසේ අමතක කරන්නද?

හුරුපුරුදු කඳුකරය දසුන් පථයෙන් මිදී යාම ඇගේ හිතට හීන් ශෝකයක් ගෙන ආවේ, එනයින්ම කලිසමේ විත්ති සිතින් බැහැර විය. 

එහෙත්, පාසල පසු වුණා පමණි, පාසලට අලුතින් ආ විද්‍යා-ගණිත ගුරුවරයා බසයට නැඟුණේය. අඳෝමැයි, ඔහු හිඳ ගත්තේද රොකට්කාගේ සීයාගේ පසෙකිනි. ඔහු කිහිපවිටක් ඇය දෙස බලනු ඇයට පෙනිණි. ඇඳුම පිළිබඳ යටපත්ව තිබූ හැඟුම් දියබුමක් මෙන් මතු වනු රොකට්කාට දැනිණි. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවාය. "ඔය ළමයා මොකක්ද ඔය හැඳගෙන ඉන්න ඇඳුම. ගැහැණු ළමයි කලිසම් අඳිනවද?" ඔහු දැන් දැන් සිය දබරැඟිල්ල දිගු කොට අසතැයි ඇය පොරොත්තු වූවාය. එහෙත්, දැන් කරන්නට දෙයක් නැත. සීයා ගිය අවුරුද්දට තෑගි දුන් දුඹුරු පැහැ මල් මල් ගවුම ඇඳගෙන ආවා නම් තිබුණේය. එහෙමත් නැත්නම්, ලොකු අම්මා චිත්‍ර තරගෙන් දිනුවාට මසා දුන් අපූරු ලා රෝස පාට ගවුම අඳින්නටත් තිබිණ. එය 'යෝ යෝ' නමින් හැඳින්වුණු ගලා හැලෙන රෙද්දකින් මසා තිබූ අතර අත් දෙකට සුදු පැහැ ලේස් රැළි පටි අල්ලා අලංකාර කර තිබිණි. එහෙත් උපන්දින තෑග්ග ඇස ගැටුණු විට ඇයට ඒ එකක්වත් සිහි නොවිණ.

බසය නගරයට ළඟා වීමට තවත් සැතපුම් හයක්වත් ඇත. පාසල ළඟ සිට නගරයට දුර සැතපුම් හයක් බව පරිසරය ගුරුතුමිය කීවා රොකට්කාට මතකය. ගණිත-විද්‍යා ගුරුවරයාට ඇය අමතක නම් හොඳය. එහෙත්, ඔහුගේ දකුණු කණට පහළින් උපන් ලපයක් ඇති බව පවා ඇයට මතකය. දකුණු කණට පහළින් උපන් ලපයක් තිබීම වාසනාව ගෙන එන්නේලු!

දුෂ්කර සේවය සඳහා ගණිත-විද්‍යා ගුරුවරයා පාසලට එවා ඇතැයි ගුරුවරියකගේ දුවක වන රොකට්කාගේ මිතුරියක කීවාය. සිහින් සිරුරකින් හෙබි නමුත් 'කඩවසම්' යැයි ඇගේ මිතුරියන් කියන ඔහුගේ කැරලි කොණ්ඩය පවා ඇයට දැන් යාන්තමින් පෙනෙන්නේය. රොකට්කා සීයාත් ආච්චිඅම්මාත් අතරේ හිඳගෙන සිටීම නිසා ඔහු මෙතෙක් වේලා නිහඬව සිටියා විය හැකිය. බසයෙන් බැස යන විටදී ඔහුට රොකට්කා අල්ලා ගත හැකිය. තමන් වඩ වඩා අවුලට පත් කරන සිතිවිලි! ඈ සිතා සිටියේ ප්‍රීතියෙන් පා වෙවී යන්නටය.

එහෙත්, නගරයෙහි බසය නැවතූ සැණින් තරුණ ගුරුවරයා ඇය වෙත සියුම් බැල්මක් හෙළා බසයෙන් බැස ගියේය. ඔහුගේ සියුම් බැල්මෙන් තමා ක්ලාන්ත වන්නාක් මෙන් ඇයට දැනිණ.

දැන් ඒ කරදරය අවසන්ය. ආච්චිඅම්මාගේ ගමට යන ලොරියට ගොඩ වෙන අතරේ ඇයට අපූරු සුවදායක හැඟීමක් දැනෙන්නට විය.

ආච්චිඅම්මාගේ ගම ඉතා පිටිසර ගමකි. නගරයේ සිට තවත් හැතැප්ම දහයක් දොළහක් දුරය. එහි යාමට බස් තිබුණේ ඉඳහිටය. එක පැත්තක් කපා තරප්පු පේළි සවි කළ ලොරි රථ එහි සෙනඟ ගෙන ගියේය. සිතේ කලබලයෙන් දැඩි වෙහෙසට පත්ව සිටි රොකට්කා මඳ වේලාවකින් තද නින්දකට වැටුණෙන්, ඇයට මතක තිබුණේ ලොරිය සිය බඳ ගස්සමින් ගමන ඇරඹූ බව පමණය. ලොරියේ එක පසෙක සවි කර තිබූ බංකුවෙහි හිඳ සිටි ඈ සිය කුඩා අත්වලින් බංකුවට සවි වූ කණුවක් අල්ලා ගෙන සිටියාය. "නැඟිටින්න. නැඟිටින්න" ලොරියෙන් බැසීමට ළංව උරහිසට හෙමින් තට්ටු කළ ආච්චි අම්මා ඇය අවදි කළාය. ඊළඟ නැවතුමේදී ආච්චිඅම්මාගේ මහගෙදරට හැරෙන හන්දිය හමු වූ අතර තිදෙනාම රථයෙන් බැස ගත්හ.

ආච්චිඅම්මාගේ මහ ගෙදරට මංසන්ධියේ සිට තරමක් දුර පයින් ඇවිද යා යුතුය. අප්‍රේල් අලුත් අවුරුද්දටත් අවුරුද්ද අවසාන නිවාඩුවටත් නොවරදවාම ඔවුහු එහි පැමිණියහ. ලොකු අත්තම්මා, ආච්චිඅම්මාගේ අම්මා හැරුණු කොට පියුන් සීයාත් පියුන් ආත්තම්මාත් මහ ගෙදර වාසය කළහ. පියුන් සීයා ආච්චිඅම්මාගේ අයියාය. ලියුම් බෙදීමේ රස්සාව කර ඇති නිසා ගම්මුන් පියුන් සීයා ඇමතුවේ 'පියුම් මහත්තයා' කියාය.

පියුන් සීයාට දූවරු දෙදෙනෙක් වූ අතර ඔවුන්ගේ ගෙවල්දමහ ගෙදරට නුදුරින් පිහිටා තිබිණ. නෑගමේ රොකට්කාගේ ප්‍රියතම කොටස වූයේ ඔවුන්ගේ දූ දරුවන් හා කෙළිදෙළේ යෙදීමය.

ඔවුන් රථයෙන් බසින විට ඉර අහස මුදුන් කොට තිබූ අතර ඉරෙළිය වඩ වඩාත් රැස්ලන්නට විය. 'කුඹුරු හන්දිය' නම් වූ ඒ මංසන්ධිය පාසලකින් සහ කඩපිල් දෙකකින් යුක්ත විය. ළමයින් කල්ලි ගැසී පාසල් පිට්ටනියේ සෙල්ලමේ යෙදී සිටිනු ඇයට පෙනිණි.

නෑ ගෙවල ගෙන යනු පිණිස ගෙන ආ රස කැවිලි පෙට්ටි රොකට්කාගේ පාමුල තැබූ ආච්චිඅම්මාත් සීයාත් කිසිවක් මිලට ගැනීමට කඩපිළට ගොඩ වූහ. තනි සුදු සරමත් අත් දිග සුදු කමිසයත් ඇඳ ගෙන සිටි සීයා තම කමිසයේ යට පැත්තට වන්නට මසා තිබූ සාක්කුවෙන් මුදල් අදින 'යුරු රොකට්කා පාරට වී බලා සිටියාය. සීයාගේ ඉණ බැඳි හම් පටියට ඇල්ලූ අගේ ඇති කහ පාට බොත්තම් සහිත පසුම්බියක් ඇතත් සීයා වැඩි පරිස්සමට මුදල් ලූයේ අර කී කමිස සාක්කුවේය.

ඒ සමඟම ඇසුණු සර බර හඬකින් රොකට්කාගේ දෑස පාසැල් පිට්ටනිය වෙතට යොමු විය. "මෙන්නැ! කෙල්ලෙක් කලිසං ඇඳලා" උස කැහැටු පිරිමි ළමයෙක් මහ හඬින් බෙරිහන් තබන්නට වූයේය. රොකට්කාගේ තොල කට වියැළී යන්නාක් මෙන් ඇයට දැනිණි. මුළු පිට්ටනියේම සිටි ළමයි පාසලේ කම්බි වැට ළඟට දුව එන්නට ගත වූයේ තවත් තප්පර කිහිපයකි. ඉනික්බිති ඔවුහු රිලවුන් මෙන් කම්බි වැට දිගට එල්ලී හූ කියමින් කෑ ගසන්නට වූහ. "මෙන්න කෙල්ලෙක් කලිසං ඇඳලා" ක්‍රීඩා උත්සවයක ඔල්වරසන් නඟන්නාක් මෙන් ඔවුහු මහා හයියෙන් කෑ මොර තැබූහ. සිදු වූ අරුමයෙන් හඬන්නට පවා අමතක වූ රොකට්කා සිහි එළවා ගන්නට හැකි වූ තැන ඊ ඊ ඊ... ගාගෙන හඬන්නට පටන්ගත්තාය.

ඇගේ හැඬීම ඇසුණු සීයාත් ආච්චිඅම්මාත් අඩි ඉක්මන් කොට ඈ වෙත දුව ආහ. ඔවුන් එනු දුටු කොල්ලන් කම්බි වැට අතැර පාසල දිහාට දුවන්ට තබා ගත්හ.

රෝස පෑ කබායක් කුඩා දැරියක දෙබරුන්ගෙන් ගලවාගනිද්දී, කලිසමක් රොකට්කාව මහා කලබගෑනියක පැටලුවේ එසේය.

Picture - Dongmin Lai

3 comments:

  1. අනේ.... මේ වගේ රොකට්කා කෙනෙක් උන්නා ඒ දවස්වල..... මම දන්නා ගෙදරක... ලියාගන්න බැරි කතන්දර ගොඩක් ඒ කෙල්ලට තිබ්බ...

    ReplyDelete
  2. අපේ ගෙදර උන්නා රොකට්කා කෙනෙක් ගවුමක් ඇන්ද දාට ඕවගෙම කලබගෑනි ගොඩක පැටලෙන....

    ReplyDelete