Monday, August 16, 2021

සමුගැන්ම


සැඳෑ අහස ගිනි රතු වී
ඔබ ගිය බැව් මුමුණාවී
හී තුඩ තුඩ බිමට එවා
රුහිරු ගඟක් වපුරාවී
මඳ රැස මත ගිමන් නිවූ
යොහොඹු කුසුම නැවතේවී
සුමුදු සුවඳ මා වට කළ
සුළඟ සමඟ මුහු වේවී

නිතඹ වැටුණු මුදු කෙහෙරැළ
ඈතට පාවී යාවී
නිතර ඇසුණු නිසඟ වදන්
නිකමටවත් නෑසේවී
ආලය වෙනුවට පාළුව
මා දිය කර වැගිරේවී
කතරක මල් පිපුණ වුණත්
මා මත මල් නො පිපේවී

මා වට කර ඉතින් සොඳුර 
ගිනි කඳු පුපුරා යාවී
උණුහුම නැති හිරිකඩ මැද
ශීත සමය ගත වේවී
ඕඝය වෙනුවට මේඝය
මා වට කොට වැතිරේවී
තානය නැති කාලය මැද
හෙමිහිට වියැළී යාවී

Picture -Ron Hicks, American, The Love on the Road

No comments:

Post a Comment