Tuesday, June 19, 2018

දුගියන් හට රත් කෙවිටෙන්

බලවතුනට රන් පෑනෙන්
දුගියන් හට රත් කෙවිටෙන්

යුක්තිය හප ගා මිරිකා
දුගියන් වෙත ගසා දමන
යුක්තිය පසිඳලනා තැන
සත්‍යය මිය ගිය දවසක
යාරා ගං ඉවුරත හිඳ
ඉකි ගසමින් මම හැඬුවෙමි

යාරා ගඟ ගලා හැලෙන
දිය කඳ පෙණ බිඳු නගමින්
හෙමි-හෙමිහිට මා පසු කොට
ගලා බසින්නට වූවා
ඉහළ වනපෙතේ මිය යන
රැහැයි ගීය පරඬැල් හා
ගසාන විත් මඳ සුළඟට මුසු වූවා
තුඟු කඳු පෙළ දෑත් යොමා
මා අමතන්නට වූවා

'පුත මේ ලොව
විනිසුරන්ද සොරුන් අතර
නැත වෙනසක්
මිනිසෙකු හට හිමි ප්‍රීතිය
ඩැහැගෙන ඉහළට නඟිනා
නරක අයද හොඳ අය'තර
පවා නොමැත කිසි වෙනසක්
එක් එක් අය යන එන මඟ
පුරවා තම තම ඔලොගුව.."

ඒ දුක්බර දින සෝකෙන්
මිරිකා වැලි අහුරු අහුරු
බෑඟිරි නැඟුවෙමි හඬ ගා
"පියාණෙනි.. මට ඕනෑ වෙනසක්
ටිකක් හොඳ ටිකක් හොඳ ටිකක් හරි හොඳ
රටක්, සතුටක්"

ඉන් පසු ඉන් පසු ඉන් පසු
සත්‍යය මිය ගිය තැන
උන් එක් උස් විනිසුරුවෙක්
රත් වූ අඬුවක මා ගෙල
සිර කොට සිර කොට සිර කොට
කුස ගින්නේ වියරු වැටුණු
කොටි දෙන වෙත විසි කෙරුවා

වෙනසක් වෙනසක් ඕනෑ
හදපත්ලෙන් මතු වී ආ
මා දුබලැති ස්වර!!
හිස් අවකාශය වෙත වැද
මැකී ගියා මැකී ගියා

"වෙනසක් ඕනෑ
වෙනසක් ඕනෑ මට"

නීල නිලැති කඳු හිස්වල
රැව් දී රැව් දී රැව් දී
රෑහි හඬින් රෑහි හඬින්
තවමත් ඇසෙනව ඒ හඬ!

No comments:

Post a Comment