Friday, August 28, 2015

වැළපෙන විලෝ පතක ස්වර මාධුර්යය

සුභද්‍රා ජයසුන්දර

මඳ'දුර හා මුසුව හිම කැට සී සී කඩ විසිර යයි. හිම ගොඩැති සීතලෙන් ගල් ගැසුණු පාළු මාවතකට හැරී පාවෙල් කොර්චාගින් නමැති උණුසුම් මිනිසා ඇවිද යනු මට පෙනේ..


“රුස්තෑම්, 
පාවෙල් කොර්චාගින් ඉන්න පොත හොයා ගන්න පුළුවන්ද” ඈ අසයි.

“ඔව් , ඒත් මොනවටද? ඒව කියෙව්වෙ මගේ පරම්පරාවටත් කලින්. තව දුරටත් ඒව වලංගු නෑ.” ඔහු කියයි..

ඒ හඬින් ඇගේ හද සලිත වන තරමටම අප හදද සලිත වෙයි.. ඉඳින්, ඇය ලියයි;

"හිම එරෙන කාලයට
පාවෙල්ගෙ දණිස තෙක් හිම පිරෙයි
ඒ උනත් සිසිර කෲරත්වයට
තෘණ මරා දමන්නට ‍නොහැකි වෙයි
මුල් ඇදුණ ‍ප්‍රේමයත්
මුල් ඇදුණ වෛරයත්
විඳල නෑ නේද නුඹ ඒතරම්
                                          
පෙම් කරපු අතීතය
අවලංගු කරන්නද කියන්නේ
ම‍හේශාක්‍යයයි අතීතය......
කිසි දි‍නෙක කල් ඉකුත් වෙන්නෙ නැති
හුස්ම එහි තැම්පත්ව තියෙන්නේ..”

“පුතාට නේද ? හෑන් ඇන්ඩර්සන් හරි මාක් ට්වෙන් හරි දෙන්නද”
“නෑ රුස්තෑම්, මට ඕනෙ වානේ පන්නරය” ඇගේ සුළකළ'කුරු රුසියානු සාහිත්‍යයට පෙම් බැඳි රසික හැම වෙත වග වෙයි.

ඇය සුභද්‍රා ජයසුන්දර නම් වේ.

http://www.weepingwillowspoetry.org ඇගේ අපූර්වාකාර කවි එකතුවයි..

ඒ අපූරු කවි මංජුසාවේ ඇය බහාලන්නේ තෝරා ගත් කවි කිහිපයක් පමණි. එහෙත්, ඇගේ එක කවියක් සෑහෙන කලකට සෑහේය. ඒවා රස කැවිලි මෙන් පහසුවෙන් වැළඳිය හැකි නොවෙයි.. එහෙත්, රෝස මල් මෙන් මුළු ජීවිත කාලයක් හදවතෙහි බහා තබා ගත හැකි වෙයි.

ව්‍යක්ත ගුණයෙන් යුතු ඇගේ කවි ජීවන දර්ශනයේ අහුමුළුහි නිහඬව වැතිර හිඳිනා සත්‍යයන් ඉහළ ඇද පෙන්වයි. ඇගේ බස මැනවින් හික්ම වූ අවැසි තැන අවැසි ලෙස තැබූ ඉගැඹුරු හැඟුම් සහ ප්‍රඥා රාශියකට මඟ තනයි.. දුවන මිනිසුන් හට නවතින්නට අණ කරයි.

සුභද්‍රා කියැවූ කෙනෙකුට ජීවිතයේ මතුපිටට වඩා අභ්‍යන්තරය ධාරණය වේ. වර්තමාන සමාජ සන්දර්භය තුළටද මුල් ඇද ගෙන ඇති ඉසියුම් පන්ති විසමතා හා වැඩවසම් චින්තනයට එරෙහිව ඇගේ කවි පෙරළි කරයි. ඈ එය අප කාටත් සමීපතම අත්දැකීම් තුළින් අව්‍යාජ ලෙස බල ගන්වයි.

"වැඩවසම් අයිතිය කෙළවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි"

එක කවියක් තුළ විශාල භාව ප්‍රභාවයන්, දැකුම්, ප්‍රඥා අවදිකිරීම් රැසක් පිණ්ඩනය කරයි.

"විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී
....

මියෙන්නෝ භාග්‍යවන්තයෝය
මක්නිසා ද, නොවිඳවීම ඔවුන්ගේය"

"කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට" යි කියා ආච්චී කල්පනා කළ පරණ තාලයට එරෙහි වන අතරම ඈ පිළිබඳව පවත්නා ස්නේහයද ඉඟි කරයි. ඈ මෙම කවිය 'සිහිනය' ලෙස නම් කරයි.

"ආදරෙන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය"

නානා විධ සංඝටකයන්ගෙන් යුක්තව ඇගේ කවි මහා සමුද්‍රයක් මෙන් රළ නඟයි.

"ලා හරිත වෙල් යාය අග පිපුණ
බකිනි මල් සොයා ගිය කෙලි රෑන
රන් පාට කරල් කපනා දිනෙක
කැපුණු පොඩි ඇඟිල්ලක් රිදි මතක
මේ වසන්තය මගේ නොවන බව
කියා දී සිතම අඩපණ කරයි"

අහිමි මහ පොළොව ගැන ඇය අකුරු කරන්නේ ළෙහි පිරී ගිය ස්නේහයකිනි. මවු බිම වෙත ඈ හද පිරි ප්‍රේමය අතුරද්දී ඈ වැන්නන් මවුබිම හිඟ ශෝකය අපිද හද පුරා අත් දකිතැයි මට සිතේ.

හෙළ බසින් විරචිත කව් හළ කොට ඉංග්‍රීසි බසින් ලියූ කවිද විලෝ අතු මත ලියැවී තිබේ..

"The universe has unveiled its immenseness
Familiar ground’s having a peculiar gravity
The northern wind does blow,
The Skies lie on September grey
Though this is June, the second week of June

Since I have never been without you
I never knew that about me
Had I ever known that I was you
I wouldn’t have let you go, without me"

weeping willows poetry කියා නම් කර ඇතත් සුභද්‍රා.., ඔබේ කවි විලෝ පත්හි වැළපුමට එහා ගිය ඒවාය. ඒවා කවි කියවන නොකියවන ඕනෑම කෙනෙකු කියවා කිමිද යා යුතු ඒවාය.


Picture - Crest Pictures http://bit.ly/1WaBPMi

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.