
කුඩා මොළකැටි අත් දෙකින්
මුළු මහත් විශ්වය දරාගෙන සිටින්නාක් මෙන්
ඔබ දහවල් කාලය දරා ගෙන සිටියි
කල්පනාබරිත දෑසින් පෙර මඟ බලනු මිස ඔබ
කිසිදු හැඬුමක් නොම හඬයි
වේදනා දරාගෙන හිනා වෙන හැටි ඔබ
කවුරුන් ඉගැන්වූ පාඩමක්ද එය ඔබට
වේදනාව ගැන උගන්වන්නට බියෙන් පසු වන විට මම
තනිවම ඉගෙනගත්තෙහිද එය ඔබ
පැය අටක කාලයක් රස්සාවට
පැය හයක කාලයක් මහ මඟට
පැය එකක් දෙකක් ඔබට පමණදැයි කිසි කලක අසනු බැරි විට
සියල්ල දැන හඳුනා ගත් විලාසයෙන් ඔබ
දෑසින් සිනාසෙන අසිරියම කවියකි පුත
Picture - Anna Bilinska-Bohdanowiczowa, Ukrainian, 1857 - 1893, At the Seashore