Monday, December 30, 2013

ඔබ මිහිරි මුණුමුණුව


උනුන් හිස කලතනා ගල් මුගුරින්
පහර ලා උගුලමින් අත් පා
මුළු ලොව ම ඔබ හට සාප කළ 'මුත්
ඔබේ හද ප්‍රකම්පනය කරන සත්‍යය හැර
අන් කිසිවක් ම නො කියන්න

තමා පමණයි තම මතය පමණයි
'ලංකාර ලේබල් අතැති ව
කතා කරනා මිනිසුන් ළඟ
නිහඬ ව ම හිඳින්න
එහෙත් උර නො සොලවන්න
නරි රෑනක් බුරන අතර
ඔබේ මිහිරි මුණුමුණුව
උඩු බුරන අතට නොව
අන් දෙසට ගයන්න
කිසිවෙකුට නො ඇසුණ ද
නො සෙල්වී හිඳින්න

තනා ගත් හිත ඇති ව
සිදාදිය දුර වුව ද
වනගත ව මෙන් බවුන් වඩන්න
තරග ඇති උනුන් ළඟ
කෙලෙස යන හිතට පිඹ
දිනිය යුතු සැබෑ මඟ දිනන්න

Picture - Alexei Zaitsev, Russian, Born 1959

No comments:

Post a Comment