Thursday, May 28, 2015
ඔබේ හද කොතරම් සුවඳද?
ජීවිතේ අබග්ග සමයක
මා අත ගෙන ඉතා මෘදුව
ඕනෑ මගේ හදවතය
කී මහ රජෙකි ඔබ, මා හිමිය
ඔබේ ඇස් මොනතරම් පවිත්‍රද
එතරම් පැහැදිලිද පෑදි දියකද
ඔබේ හද කොතරම් සුවඳද
දෙව් ලොව කුසුම් ඇකිළෙයි ඔබ සුවඳට
තලා පෙළද්දී මුළු මහත් ලෝකය
කඳු මුදුනකට මා කැටුව ආ ඔබ
දකින්නට මුළු මහත් ලෝකය
මා ඇස දිදුල කළෙහිය
ගාථා පොතට තව හිඟ
වන්දනාවකි සොඳුරු ඔබ හිත
හොයා ගන්නට සුදුසු ගී පද
තවම උගනෙමිය පෙළ පොත
Picture - Stian Rekdal
Wednesday, May 27, 2015
ඔබ පා තබා ගිය තැන් වල
ශීතය හමා එයි කවුළු පියන්පත් හැර
සඳ එළිය තවරා ඇති නමුදු ළාවට
හිම මත මිදී යන අර ඈත ගංගාව
වනපෙතින් හඹා එන වෘක නදකින් සැලී යයි
කසු කුසුව සුළඟට ළෙලෙන අතු අග
ශ්වේතය රැගෙන එන හිම කැට හා මුසු වෙයි
කුසුමක සුසුම් මිස පුල් කුසුම් ගෙන එන්න
සිසිරයට පුළුවන්ද රොබින් කුරුල්ලෙක් අසයි
අඩි තබා යන්න ඔබ ගංගාව මතින් සකිසඳ
ඔබ දරා ගැන්මට ගංගාවක් වුණත් ගොලු වෙයි
ඔබේ පා සටහන් තබා ගිය තැන් වල
මහා කව්සිළුමිණක් බිහිවෙයි!
Picture - From Kilian Schönberger's "Brothers Grimm's Homeland" series! http://huff.to/1i9MvWe
සමනලයෙකුගෙ ප්‍රේමය
සුරංගනා පාට මාරු කර සරුංගලයක් වගේ දිස්වුණ
මහ වියපත් ගැහැනියක් වගෙයි දේදුන්නක් විසි කළේ අහසට
වළං පිඟන්වල දඩි බිඩි සද්දෙට ගැස්සි ගැස්සී භ්‍රාන්තව
ගබ්සා වුණාවත්ද සමනලයෙකුගෙ ප්‍රේමය
නිළි වැසි වුණත් නවත්තන්නේ නැතුව වහින කොට
ගං ඉවුර ගසා ගොස් ඇත දන්නෙම නැතිව ඈතට
ගසක් නැත මලක් නැත නිදිකුම්බියක් නැත ඉවුරත
හුස්ම අල්ලන්න හෝ ගාන හඬ පමණි ඇහෙනවද අනෙකක් 'හෙම
ගිරා ජෝඩු විතරද කුරුලු පිහාටුත් ගියේ හරියට බැණ ගෙන
බකස් ගාලා විල පනින ගෙම්බෙක් වගේ හිනාවීගෙන
සමනලයයි රෝස මලයි අතැර ගිය ගෙදරකුයි ගැන වැයෙන කොට
තැටියෙන් නැඟෙන්නේ තනුද, වෙඩි වදින උණ්ඩද?
Picture - Dame Laura Knight, British Artist
ඒ ඔබට හිමි තැනයි
තලා ගල් මුගුරින් ගසා
මිනිසත් බවින් මුක්ත මිනිසෙකු
දුටු කල භ්‍රාන්තියකින් ඇද වැටී
මැයි මල් ලේ වගුරුවයි
ඔබේ පිරික්සුම් තීරයෙත්
මගේ නම මකන්නට බැරිව
හිර වී ඇතැයි මට හිතෙයි
ඒ ඔබට හිමි තැනයි
Picture - Daniel Gerhartz
මල් උයන් තැනුව ඉක්මන
පඬු පාටින් අහස වැළපෙන කොට
අශ්වයෙක් වගේ ඔබ හිටියෙ බොහොම හදිස්සිව
යන්නම් කියන්නත් අමතකම වෙන තරමට
දිගු අඩිවලින් මහ මුහුදෙ ගිලුණෙ ඉර
ඔබේ බෝතල් කණ්ණාඩි දෙකත් එක්ක
වාඩිවෙලා ඉන්න කොට පන්තියේ ඉස්සර
කඳුකරේ මල් පිපුණෙ
ඔබෙ රුව බලන්නත් එක්කල
දූවිලි පාරක් වුණත් මල් පාරක් වගේ පෙනෙන තරමට
ඔබ මගේ හදවතේ මල් උයන් තැනුව ඉක්මන!
Picture - Vladimir Volegov
Tuesday, May 26, 2015
රූඪි උපමා වැනුම් මිස කවියෙකුට දැනෙද දුක අපමණ
රාත්‍රියේ අඳුරට තෙතබරිතව අඩදැණිව සසැලෙන සිතුවමකි
දිගු ළවැල්ලේ එරී ළපටි නෙරු මෙන් අඩි සටහනකි තලන මා පාරන
අඩ සඳ නළල කුංකුමය දිය කර සිවුරුහන්ලන්නෙක්ද දකුණු කුරුසිය
නිල් නයන මත රාත්‍රිය දිය කර හරමි පෙණ නඟන බීර වීදුරුවකට මහ මුහුද කෙටි කර ගනිමි
ප්‍රේමයෙන් උත්ථානව ඔඩිසිය රැඟූ හදෙහි වෙණ නදෙහි ඇසට ඇස හමුනොවෙන වේදනාව,අවිශ්‍රැතිය අත්දකිමි
අප්‍රමාදව අපමණව කල් මැරූ මුනිවතෙහි මුනිවර හදෙහි ගැඹරෙහි රාගයෙන් වෙළෙමි
තුඩින් මුදාහළ තෙලිසායමෙහි රළු බඳ එතී කුරුසයට ඇණ ගැසෙමි
නොවිපුලදැ මෙපමණ චලමුක්ත හැඟුම් ධාරා ගයා කුමටද දඩයක්කාරයාගේ දුන්නට
සඳේ ඡායාවට කැලතෙන වඩ දියට පිටු පා ගොඩ මානෙල් මලකි වනමුක්ත වැල්ලෙහි හිස තබන
ශීතයේ වෙවුලනා වලා පෙළ රඟන්නා වැනිද සරඹ සංදර්ශනයක් මහලු කවියෙකු අස
රූඪි උපමා වැනුම් මිස කවියෙකුට දැනෙද දුක අපමණ
Picture - Daniel Gerhartz
මතක ජලාශය
තත් බිඳින්නා මෙනි ඇසෙන්නේ
කට කට ගගා හමන සුළඟ
මන්දස්මිතයක් වැනි හීන් ආලෝක තීරුවකි
දුර ඈත මහල් නිවසක කවුළුවක
නිද්‍රාවකින් මත් වී රැයෙහි කලපුව දිගේ හමන සුළඟ
සිවුරුහන් ලන විට උමතුවෙන් එක පිට එක නැඟෙයි රළ පෙළ
නෙරළු තුරකට වහන් වෙන මතකයකි ගසල් ගීයක්ද එය
තැන තැන හඬ නිහඬ වුණු වැළපීමක් නොවෙද දිගු රැය
කඩදාසි ඔරුවක බහා ලුණු දියෙන් විකල් වුණු
මතකයක් කියා හඬන සරකට උවම් දෙන්නට නොහැකිය
සිප්පි කටුවක් තබා අහස් අවානක කොණක
වසමි වෙඩි උණ්ඩයෙන් විවර වුණු මතක ජලාශය
Picture - joaquin mir trinxet_(Barcellona, 1873 - 1940)
Monday, May 25, 2015
පලිඟු මෙන් බැබළෙත
ඔලිඳ සහ මදරැට
පලිඟු මෙන් බැබළෙත
හස වොරැඳි නිලුනෙත
මල්, මදාරා කුසුම්
ආමලක තුරු පෙම්
නොදුටු 'යුර රඟනෙම්
ගයා රළ රළ සරළ සරදම්
Picture - Kusal Kanushka Suraweera
Tuesday, May 19, 2015
මිටියාවතක නැවතීම
දකින දකින කඳු නඟින්නට නොහිත
මිටියාවතක මියයන එක මොනතරං හොඳද
හති හළා දුව යද්දි ලෝකය
තුරුවදුලක් යට සැතපෙන එක නරකද
නිමාවක් නැති තරම කඳු ඉසෙහි
නිමාවක් නැති බව දුකෙහි
ලිස්සා වැටෙන හැටි යළි යළි
නැවතුණොත් විතරක්ම අනුදැනිය හැකි
Picture - Karl Williams
Sunday, May 17, 2015
දේවදාර ගස්වලට ඉහළින්
රන්මුවා පාටටයි තිබුණෙ ඒ දවස්වල ආකාසය
ඔයාගෙ ඉසකෙස් වගෙයි
වලා දුහුල කඳු හිසට වැටිල තිබුණෙ
මල් පිපුණත් නැතත් එකම විදිහට
හැමදාමත් ළාකොළ පාටයි මිටියාවත
වචනයක්වත් කතා නොකළට
හරි හදිස්සියෙන් විදුලියක් වගේ ඇවිත් යන කොට
මහඋල්පත කන්ද වගෙයි
ගල් ගැහෙන්නෙ තවම හිත
Picture - Louis Aston Knight
දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති
*Nafeek's mother rejected offers of cash up to $16,000 from Saudis
අම්මා ඔබ සැබෑ අම්මෙකි
මල් දහසක් තබා වැඳිය යුතු අම්මෙකි
නෙළුම් මලක් ගෙන පැදකුණු කළ යුතු අම්මෙකි
කුසගින්න එද්දි මහ මුහුද දෙබෑ කර ගුරුළෙක් වගේ
ලොකු අක්කා රට යන්න කැමති වෙන්නත් ඇති
දුක නිවාගන්න වෙන මඟක් තියෙන්නත් නැතුව ඇති
හරි හමන් කවුරුවත් දුක අසන්නත් නැතුව ඇති
රජ අසුන ඈඳිගෙන සතෙන් සතෙත් හොරාගන්නා
හොරුන් රජ කරන්නැති බඩු මිලත් උඩ අරින්නැති
කඳුළු මිස ලුණු රහට කැඳත් නැති රෑ තියෙන්නැති
දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති
අම්මාගේ ළයෙන් මිස මවු කිරි එරෙන් නැතුවැති
දරුවෙකු බලාගත්ත දැරියක හිතින් ඉකි ගැසෙන්නැති
සොහොයුරු සොයුරියන් මතක අස කැටි ගැසී
දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති
http://en.wikipedia.org/wiki/Execution_of_Rizana_Nafeek
Picture - Julio Larraz (Cuban, b. 1944)
Saturday, May 16, 2015
ළමා හම
මා සිරුර වටා ඇති
ළමා හම ගලවමි
වැඩිහිටියෙකුට හිමිව ඇති
සම් මසින් සැරසෙමි
කැඩපතෙහි ඇති ලොකු වටකුරු ඇස්
කඳුළු අහුරක් හිමි!
ගලවන්ට නියම වූ ළමා හම
හොරෙන් යළි ඇඳ ගමි
ගස් වටේ කඳු වටේ
ප්‍රීතියෙන් ඇවිදිමි
Picture - Floral hairdressing from artist Hanayuishi Takaya
අලංකාර පියාපත් ඇති සමනලයෙක්
හරි උගත්යැ
යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම්ම
කොච්චරක්ද
ආඩම්බරයක්නෙ ගම රටට
ඇතැම්හු දොඩති රහසින්
උගත් වුණාට පල ඇතිද
මාපියෝ නැතිවුණා බාලෙම
කසාදයක් බැන්දද දරු පැටවු හැදුවද
ඇතැම්හු දොඩති රහසින්
පුදන්නට එක් අයෙකු නැති
මහත් වූ ප්‍රේමයක්
හිත මත තබාගෙන
අලංකාර පියාපත් ඇති සමනලයෙක්
බලන්න පා ගමනින් යන හැටි!
Picture - Steve Hanks
මිය යන සත්ත්වයෙකු මෙන් හැඟෙයි
හැම මොහොතම මට
මිය යන සත්ත්වයෙකු මෙන් හැඟෙයි
උණු වී උතුරන්නෙය මා හිස
වෙළුම් පටිවලින් වෙළා ඇත කුස
මගේ ගෙල පවා රිසානාගේ ගෙල කපා හළ
කඩු තුඩින් පෑරෙන්නෙය
හදවත යනු සංසාරයේ විශාලම තුවාලයක්ය
පැද්දෙන්නෙය තාරකා අතර
ගැස්සෙන්නෙය අනන්තාකාශයේ දෙපසකට
පීනන්නෙය ශුක්‍රාණුවක් මෙන් ඉහළ
හිස හොවා ගනු පිණිස ඉඩ නොලැබ
මියෙන්නෙය අතරමඟ
සකුරා මල් උයන වෙනුවට
පූජියාමාවට මුදා හැර සැණෙන
සදාකාලයටම නොපවතින්නට මුල පුරන
හිතකට කියා පල ඇතිද
කෙටි කලකි පවතින්නේ එක දෙයක-
Picture - John MacWhirter
Friday, May 15, 2015
කොතරම් දාර්ශනිකද එය, කොතරම් දුක්ඛිතද?
පුටු සෙටි අරගෙන
පිත්තල මල් පෝච්චි වට කොට
වඩා සතුටින්
සිටින්නාහුය මා මිතුරෝ
දරුවන් හදා වඩමින්
රසබර කෑම පිසිමින්
අසල්වැසියන් හා දොඩමින්
මහත් ප්‍රීතියක්
අත්විඳින්නාහුය ඔවුහු
මහා කලා ශිල්පද
මහ මුහුදද කඳු ගැටද
තාරකා දිදුලන අහස යට සැතපෙන
ගුප්ත රාත්‍රීන්ද
සුණු විසුණු කර දැමිය යුතු සිතද
නැති දෙයක් සොයමින් ගෙවී යන්නෙය ජීවිතය
ක්රූරත්වය තුළ උෂ්ණාධිකව
හිමකැටයක් මෙන් දියව යන්නෙය සුසුම
අන්ධකාර මංපෙතක් දිගේ
මම මගේ ජීවිතයට එළඹෙමින් සිටිමි
කොතරම් දාර්ශනිකද එය
කොතරම් දුක්ඛිතද?
Picture - Mihai Olteanu-Rumania
Thursday, May 14, 2015
මල් පිපෙන අහස මම නම්
මල් පිපෙන අහස මම නම්
නිල නිලන සිරස කඳු නම්
ගන අඳුර වසා පැතිරෙයි
මගෙ හදම කඳුළ ඔබ නම්
කඳුළට කවි පද ඉහිරෙයි
දුකින් මිදී වියැකෙයි
Picture - Emile Auguste Hublin, 1830-1891
Wednesday, May 6, 2015
මමත් නිවිල යන්න ඕනෑ!
බැඳුමෙන් මිදී යන අහසක් වගෙයි මං හිටියෙ
හිටිහැටියෙ පැණි තාලියකට වැටුණු කුහුඹවක වගේ විනාස වෙලා ගියා
ආලෝකයක් වන්ට හිටි 'මුත් ඇස් නිලංකාර වෙලා ගියා
ඒ අතර ආපහු ආලෝකය!
මට මහා ආයුෂ්මතුන් වහන්සේලා සිහි වුණා
කොතරම් පියකරුද
කොතරම් සෞම්‍යද
කොතරම් සුන්දර මිනිසුන් පෙළක්ද දැල්විල නිවිල ගියේ
අන්න ඒ වගේ මමත් නිවිල යන්න ඕනෑ!
Picture - Carlos Blanco (White)
ගඟ ඉවුරු පසු කරමි
ඔබ මෙතරම් කොනිති ගගහා කියන්නේ
වේලාසන සීත කබා අකුළා දැමිය යුතු බවද
භංගව යන සෞම්‍ය ඉරෙළිය තුරු පතර
වොල්ගා නදිය මත වැතිරෙයි වෙහෙස මෙන්
කුඩා අඩි තබා ඇවිද යමි
ගඟ ඉවුරු පසු කරමි
Picture - Carlos Blanco
දෙවියන්
දෙවියන් කවරාකාරද කියා
එහෙත් කිසි විටෙක නොසිතේ
බෙල්ලන්විල දේවාල කුටියක
පිල්ලෑව බෝධිය වට
තැන තැන යාතිකා පවත්වන මැඳුරු අස
බලයට ලොබ බඳින්නන්ගේ සුරතට සිරව
ඔවුන් ලොව ඇතැයි කියා
මිනිසුන් ඇඳ, අඹා ඇති සැටියෙන්
නොසිතේ මට දෙවියන් ගැන
දෙවියන් තුරු වදුලක මැවෙන
සසොබන ශ්වේත කුසුමක් විය නොහැකිද
සිසිරයක වැටෙන හිම පියල්ලක් මෙන්
සැහැල්ලු විය නොහැකිද
නුඹ අරා වැජඹෙන කඳුවැටියක් විය නොහැකිද
දෙවියන් ගැන මට හිතෙන්නේ එලෙසය
Picture - JMW Turner
කොතරම් අමරණීයද කඳු ඉසක වැතිරීම
අපාසුය
මිනිස් ඇසුරෙහි ගිලුම
කඳු ඉසක වැතිරීම
වන මැදක දොළ ඉවුරක මියයාම
කොතරම් අමරණීයද
වනස්පතිඳ ඔබ අත්
මට සිලිටිද කොතරම්
තැන තැන මදටිය මිණි අතුළ ළවැලි
කොපමණ මනෝහරද
බස්සෙකුගේ හඬ පවා
සුවපහසු නොවන්නේද
ග්‍රීෂ්මාකාශයට ඉගිල යන
කිරලෙක් ක්වෑක් ක්වෑක් ගාන
'ගල-ගල' හඬින් ගලා යන
දිය පහරවල නවතින
සුම්බරය තුරු මතට විසි කරන්නදැයි
කන්දක් අහන
Picture - Nikita Gill
බෙලි කටුව පමණකි
වම් කකුලේ සුළැඟිල්ල වෙව්ලනු මට පෙනේ
විජාතිකයන් චෝදනා නඟන හදිසි රැස්වීමක්
තත්පර කටුවක් මෙන් මගේ හදවත උඩ පනී
එහෙත් කිසිවෙකුට නොපෙනේ
සුළැඟිල්ල පමණක් දනී
මිනිසෙකු මෙන් ඔබ අමතන කල
උදාරම් පායි නුඹේ රට තොට ගැන
යුවානයකින් ගසා දැමිය යුතු යැයි මට සිතේ
හොඳයි මං අහන්නේ, එය වැඩිය හොඳ නැත්ද
ගාස්තු ගෙවන්නේ නැතිව ප්‍රමාදය විමසන කල
රට පිළිබඳ ගර්වය තැබිය යුතුද පසෙකින්
ඔසවා බලමි එහෙත් සිප්පි කටුවක් මෙන් පහසුව
බෙලි කටුව පමණකි, මැද තැනකින් ගසා ගොස් ඇත මුතු ඇට
දෙපාර්ශවයම අසරණය, අතරමැදියෙකු දිනා ඇත
Picture - François Fressinier
Tuesday, May 5, 2015
Comfortable zones?
තම මිතුරන් සොයා එන කල මිගදායට
නොසලකා ඉන්න තනන කොට
තැන තැන එක්ව මිථ්‍යාදෘෂ්ටිකයන්
වහසි බස් දොඩන කොට
බඩ දරු මවුන් මෙන් පැමිණ
චෝදනා නඟන කොට
නොකළ මිනීමැරුමකට
පිටුදකින කොට
සා කළ සතක් පොවා
මැරුමට මඟ සිටින කොට
නිකමටවත් හිතෙනවාද ඔබට
අලංකාරයි කියා ජීවිතය?
ඉඳින් හිත මිස කවරකට
දිනා ජීවිතය
Picture - PatrickMcEvoy on DeviantArt
Monday, May 4, 2015
මං විතරක්
විසිතුරුය මංමාවත්
බලන්න වෙසක් සැරසිලි
මම විතරක් දොර වහගෙන
Picture - Charmaine Olivia
තාරුකා එළිය මා පෙළන්නෙය
තාරුකා එළිය මා පෙළන්නෙය
නිය පසුරු ගාන්නෙය
තනිකමයි දුකයි 'විත්
පෑළ දොර හිඳින්නෙය
ප්‍රේමයක් කියා මුතු මිටක් අත ලා පැමිණ
හිස් පැසින් ඈත් වෙන
ජීවිතය ගයන්නෙය
විසල් අහසකට හිමි කුඩා බව ගයන්නෙය
මා ඇසින් ඈත් වී ඈතටම ඇදෙන්නෙය
Picture - Edouard Gordeev
Friday, May 1, 2015
මැඩ පවත්වන්න සංසාරය
දවස වැඩ කර ගසා පැන නඟින වෙහෙසය
වෙසක් සඳ බණව බණවා ගොජ දමන මහත් ශබ්දය
කවි බණ ඇසෙයි, බොදු ගී ගැයෙයි, දෙසවන වෙවුලවයි
ඉර පමණක් නොසෙල්ලී ලෝ දිය වගුරවයි
තැන තැන පිළුණු වී ඇත, පිළිස්සී වණ ලා ඇත
රිදෙන්නෙය, තැවෙන්නෙය, නැති දෙයක් සොයන්නෙය
බිමට ඇද වැටෙන්නෙමි, වසන්නෙමි ඇස, බලන්නෙමි
පෙරහරක් යන අතර ඇතෙකුගේ ඇස කඳුළු දකින්නෙමි
වසාගත් අවකාශය ඇස පමුණවමි ඇතුළු තලයට
නරකාදියකි ම'සිත
තැන තැන ලෝ දිය වගුරවයි දැවෙයි
සශ්‍රීක බවින් යුත් වදන් 'විත් ඇන හිටියි
ලොව කුඩා ඇස්වලින් නැඟෙන දොස් මුරවලට
මහ මුහුද මෙන් නැඟෙයි
කඳුළ ආත්මාර්ථයෙන් පැන නඟින ව්‍යසනයක්ය
සුසුම ගිනි මැලයක්ය
අප්‍රාණිකව යන කය කඳුළ සුසුමෙහි එකතුවය
මේ මොහොතය නිසැකයෙන්ම මම මා ඇමතිය යුතු
මිනිසුන් නොමැති වනයට සැබැවි නුඹ පිය බව
ලෝකයෙහි තරාදියකට වැටෙනු නොම රිසි බව
එහෙත් මා මිත, හඳුනාගනු මැන
වනයෙන් නගරයට ආ යුතුය
බිඳලන්න සංසාරයේ සිවිය
සාදාගත් සිතින් යුතුවැ, පිය නඟනු ජනීජනයා 'තරට
හඳුනාගනු මැනවි ජීවිතය, බිඳලන්ට නොතනනු මැනවි ලොව පරිමිතිය
විවේකයෙන් මුදා ඔබ ජීවිතය සිර කරන හැටි පවා දත යුතුය
ඉතින් මිතුසඳ දුෂ්කර පරීක්ෂණයකි මේ මොහොත
නරකාදියකි ඔබ සිත
උපාධි දහසකින් පිරිනමන්නට බැරි මොහොතකි,
දුෂ්කර පරීක්ෂණ ජීවිතයේ ත්‍යාගයන්ය
නිසි කල නිසි තැන යහමින් පිළිවදන් සැපයිය යුතුය
දකින්න සංසාරයේ බියකරු බව
මැඩ පවත්වන්න සංසාරය
Picture - Juan Pavon (The Otzarreta Forest in Bizkaia, Spain)
පද්ධතියකි;
විශ්වයම පද්ධතියකි
සිරුරද පද්ධතියකි එවන්
එහි ශක්තිය කොතැනින් කොතැනටද
කුමකින් කුමකටද
තාරකා එළිය තරම්
බ්‍රහස්පති ගැන නොහිතුවෙමි
කර්මන් රේඛාවට වඩා
ආදම් උයන දුටුවෙමි
පෙති ගසා ඇපල් වතු පිටින්
ශ්වේත සඳ එළිය නෑවෙමි
Picture - Lidia Kirov
Subscribe to:
Posts (Atom)