සාගරිකා මුලින්ම කන්තෝරුවට ආවෙ අවුරුද්දෙ අවසාන මාසෙ. එදා නම කියල අඳුන්නල දෙද්දි හුනස්නෙන් නැඟිට්ටෙ ආන්යා විතරයි. වයසත් එක්ක ගත්තම ජ්යෙෂ්ඨ නීතීඥවරියක්නෙ කියල ආන්යාට හිතුණා. සංවර්ධන නිලධාරීන් කවුරුවත් හුන් තැනින් හෙලවුණේවත් නෑ. රුචිකා, ඇන්තනී, ඉවාන්.. එයාල උන් තැනම ඉඳගෙන නම් කියාගෙන කියාගෙන ගියා.
සාගරිකා ඇවිත් තිබුණෙ විෂයෙ නම විතරක් දැන ගෙනයි. "අධිකරණ වෛද්‍ය විද්යාව කියන්නෙ මෙන්න මේකයි.." කියල ආන්යා එයාට උගන්නන්න ගත්තා. එයා ආවේ ආන්යාගේ අධීක්ෂණ නිලධාරියා විදිහට වුණාට පැළයකට වතුර දාන වැස්සක් වගෙයි ආන්යා එයාට දැනුම දුන්නේ. වයසින් වැඩි නිසා ගොඩක් දේවල් සාගරිකාට මතක හිටියෙ නෑ. ආයෙ ආයෙම එයා ආන්යාගෙන් එකම දේ ඇහුවා. චියැංගෝව කියන රටේ රාජ්‍ය සේවේ ඉහළම පත්වීම් දෙද්දි විෂය දැනුමට වඩා බැලුවෙ වයසයි. වයසට යන කොට ඉබේම දැනුම, හැකියාව වැඩි වෙනව කියල චියැංගෝ රජේ විශ්වාස කළා.
සාගරිකා විෂය මූලික විභාග කරද්දි එයා ආන්යාගෙන් උත්තර ලියන්න උදවු ඉල්ලුවා. දුරස්ථ අධ්යයන ප්රශ්න පත්රවලට උත්තර සාගරිකාට ලියල දුන්නෙ ආන්යා. සාගරිකා අධීක්ෂක තනතුරට පත් වෙලා තියෙන්නේ රැකියා දැන්වීමෙන් ඉල්ලා තිබුණු පත්වීමට අවශ්‍ය උපාධියවත් නැතුවයි කියල ඔය අතරේ ආන්යාට ආරංචි වුණා.
ආන්යාටත් සාගරිකාටත් තිබ්බෙ එකම ජාතියෙ විනෝදාංශ. ආන්යා කවි ලිව්වා. සාගරිකාත් කවි ලිව්වා. ආන්යා සාප්පු සවාරි ගියා. සාගරිකාත් සාප්පු සවාරි ගියා. නීතීඥ සමාජේ මතභේද ගැන ආන්යා දැනන් හිටියා. ආන්යාට වඩා හොඳට සාගරිකා ඒවා දැනන් හිටියා. ඒත් සාගරිකා කවි ලිව්වෙ සීතල සුළං ගැන, මල් සුවඳ ගැන, මහ පොළොවට හාදු දෙන වැහි බිංදු ගැන. සාගරිකා කවදාවත් මිනිසුන්ගේ විඳවීමේ කලාපය ස්පර්ශ කළේ නැහැ. තමන් ගෙවෙන හැම මොහොතකම සැපෙන් හා සන්තෝෂයෙන් ඉන්න ඕනෑ කියලයි එයා නිතරම කිව්වෙ. ශෝකය සහ අසාධාරණේ ඉස්සරහ ආන්යාගේ අකුරු දැඟලුවේ මහා සාගරයක ඉහළ යන දළ රළ වගේ. සාගරිකා සාප්පු සවාරි ගිහින් ගත්තේ සුදු පාටට හුරු කපු සාරි. ආන්යාට තිබුණෙ එයාගෙම විලාසිතා. එයා පාට පාට ඇඳුම් ඇන්ඳා. වෙලාවකට සමනලියක් වගේ ඇන්ඳා. වෙලාවකට ඉන්ද්රචාපයක් වගේ ඇන්ඳා. සාගරිකා ඔසරිය ඇඳගෙන කොණ්ඩ කූරක් ගහගෙන පුළුවන් තරන් නිවිච්ච ස්වරයෙන් කතා කරන කොට එයා කියන බොරුවක් වුණත් චියැංගෝවෙ මිනිස්සු අහගෙන හිටියා.
ආන්යා කිසිම දවසක තමන්ට වාසි ගන්න අනෙක් මිනිසුන්ට හානි කළේ නෑ. සාගරිකා තමන්ට වාසියක් වෙනව නම් වෙන කෙනෙකුට හානි කරන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ අතරින් සාගරිකා වැඩියෙන්ම හානි කළේ ආන්යාට. කවි වගේ දේවල් තිබුණෙ එයාලගෙ සුඛෝපභෝගී ලැයිස්තුවේ. ලස්සන පොත් පත් එයා පරිභෝජනය කළා. "නරක කරන මිනිසුන්ට නරක කාලයක් එනවා. සොබා දහම විශ්වාස කරන්න" එයා නිතරම ආන්යාට කිව්වා. "ඒත් ආන්යා මට ඔයාගෙ දැනුමවත් හැකියාවවත් කාර්ය සාධනයවත් හොඳයි කියල නම් ලියන්න බෑ." කලින් අවුරුද්දෙ කාර්ය සාධනය අගයන්න එයාට ආ වෙලේ එයා කිව්වා. "ඔයා ආවෙ අවුරුද්දෙ අවසාන මාසෙනෙ. ඉතින් ඔයා කොහොමද මගේ වැඩ ඇගයීම කරන්නෙ?" ආන්යා ඇහුවා. සාගරිකා මඳ සිනාවක් නැඟුවා. එයා කිසි පැකිලීමක් නැතුව ආන්යාගෙ දැනුමත් හැකියාවත් කාර්ය සාධනයත් අවමයි කියල සලකුණු කළා. "ආන්යා.. මට ඉහළින් උපදෙස් ලැබිල තියෙනවා මෙහෙම කරන්න. මට කරන්න දෙයක් නෑ." ඇය ආන්යාගේ උරහිසට තට්ටුවක් දැම්මා. චීන නාට්‍යවල බී හ්සුට පිහි පාරක් වදින්නා වගේ පිහි ඇනුමකට මුහුණ දුන්න වගක් ආන්යාට දැනුණා. ආන්යා එයාගෙ වැඩ මේසෙ ළඟට ඇවිත් වේදනාවෙන් ඇකිලුණා. ආන්යා ඒ අවුරුද්දෙ වැඩ කරල තිබුණේ සතියෙ දවස් පහ විතරක් නෙමෙයි. සති අන්තෙත් එයා වැඩ කරල තිබ්බා. ගෙවීම් ප්රතිපාදන මදියි කියල ආන්යාට සති අන්ත ගෙවීම් කරල තිබුණෙත් නෑ. දවල් කෑම එක දිග ඇර ගත්තට ආන්යාට එදා කටකට දෙකකට වැඩිය කන්න පුළුවන් වුණේ නෑ.
ආන්යා ඇගේ මිතුරියකට දුරකථන ඇමතුමක් ගත්තා. "ආන්යා.. ඔයා ඔහොම කිව්වට පහුගිය සමුළුවේදී මට එයාව මුණ ගැහුණු වෙලේ එයා ඔයා ගැන කතා කළේ මාරම ආදරයකින්." ආන්යාගේ යාළුවා ලිලැක් කිව්වා. ලිලැක් කීව කතාව එළියෙදි හම්බ වෙන හම්බ වෙන නීතිඥ මහත්ම මහත්මීන් කියන්න ගත්තා. සාගරිකා ආන්යාට ආදරෙයි කියන එක වෙනස් කරන්න බැරි සිද්ධාන්තයක් වගේ වුණා. ආන්යාට ඒක එහෙම නෙමෙයි කියලා කියන්න පුංචි ඉඩක්වත් තිබුණෙ නෑ.
ආන්යාගෙ හදවත කැට කැබිලිති වෙන කල් බිඳිල තිබුණට සාගරිකාට ඒකෙ වෙනසක් තිබුණෙ නෑ. එයා එහෙමම හිටියා. වෙනද වගේම ලස්සන පින්තූර, කවි කතා ආන්යා එක්ක බෙදා ගත්තා. වරක් තමන් ඇමති කෙනෙකුගේ ලේකම් කෙනෙකුට විරුද්ධව පොලිසියට බොරු පැමිණිල්ලක් කළ බව සාගරිකා ආන්යාට කිව්වා. නඩුව උසාවියේ අඬ ගාද්දි ජ්යෙෂ්ඨ කණිෂ්ට නීතීඥවරු ඔක්කොම එයා වෙනුවෙන් නැඟිටලා පෙනී හිටිය බවත් ඇමතිගේ නිලධරයාට විරුද්ධව කතා කළ බවත් සාගරිකා ආන්යාට කිව්වා. ආන්යා ගඟක් වගේ සිඳී ගියා. ඇයට ඇමතිගේ නිලධරයාව මවා ගන්න පුළුවන් වුණා. එයාට උසාවිය ඉදිරියේ තියා සමාජය ඉදිරියේවත් කට අරින්න බැරි වෙන්න ඇති කියල ආන්යාට හිතුණා. පවුලක් කැඩෙන්නත් තරං හේතුවක්නේ ඒක. තමා ගැහැනියක වුණේ හොඳ වෙලාවට කියා ආන්යාට අනෙක් අතට හිතුණා. සාගරිකා ඒ සිද්ධිය කිව්වේ හිනා වෙවී. ඒ ගැන වෙන කිසිම හැඟීමක් තිබුණෙ නෑ එයාට.
කාර්ය සාධනය දුර්වලයි කියල දාන එක පුරුද්දක් තරමටම සාමාන්‍ය වුණා. කාර්ය සාධනය දුර්වලයි කියල දානව වගේද ලිංගික අඩත්තේට්ටම් කිරීම කියල දාන එක.. ආන්යා හිතුවා. ටිකෙන් ටික කාර්ය සාධනය දුර්වලයි කියල හුදෙක් සලකුණු කරන එක වෙනුවට ආන්යාගේ ඉදිරි ගමනට හානිකර වචන එහි ලියන්නත් සාගරිකා පුරුදු වුණා. සාගරිකා බාහිර ලෝකේ ගොඩ නඟාගෙන තිබ්බ ප්රතිරූපයත් එක්ක ආන්යාට දුක බෙදා ගන්න කෙනෙක්වත් ඉතුරු වෙලා හිටියෙ නෑ.
ආන්යාට මුණගැහුණු මහාචාර්ය ජෙරී යාන්ට සාගරිකාව වර්ණනා කරන එක නවත්තගන්න බැරි තරං වෙලා තිබුණා. “එයා එච්චර හොඳ කෙනෙක් නෙමේ” යැයි ආන්යාගෙ කටින් ඉබේටම පිටවුණා. "හනේ කොච්චර අහිංසක මනුස්සයෙක්ද? කතා කරන වචන ඇහෙන්නේවත් නැති තරං. කට ඇරියොත් කියන්නෙ රටට සේවයක් කරන්න ඕනමයි කියල. ඊළඟ ජනාධිපති අපේක්ෂකයගෙ කලින් ගර්.ල් ෆ්රෙන්ඩ්ලු. ඔය වගේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනි." මහාචාර්ය ජෙරී යාන් කිව්වා. මහාචාර්ය ජෙරී යාන් කොපමණක් සාගරිකාගේ රසිකයෙක් වී තිබුණාදැයි ආන්නාට වැටහෙන්න ගත්තෙ ඊටත් පස්සෙයි. එයා යන යන තැන ආන්යාට සාගරිකා වගේ හොඳ මනුස්සයෙක් එක්කවත් ඉන්න බෑනේ කිය කියා යන්න වුණා. ආන්යා සෑහෙන කලක් මහාචාර්ය ජෙරී යාන්ගෙ සිසුවියක් වෙලා හිටියා. මහාචාර්ය ජෙරී යාන් ආන්යා ලවා නොයෙකුත් ඉදිරිපත් කිරීම් කරවා ගත්තා. මහාචාර්ය ජෙරී යාන් ගැන ආන්යාට තිබුණෙ සෙනෙහසක්. ඒ දවස්වල විශාකා සහ තවත් අය එදිරිව රාජස්ථාන් ප්‍රාන්තය නඩුවේ ඉදිරිපත් කිරීමකට පන්තියෙන්ම වැඩිම ලකුණු ලැබිල, ඉදිරිපත් කිරීම කරන්න සාරියක් ඇන්දෙ නෑ කියල මහාචාර්ය යාන් ආන්යාගෙ ලකුණු කැපුවත් එයා නෙමෙයි ඒක හිතකටවත් ගත්තෙ. ඒත් එයා "ඔයා සාගරිකාට ගරු කරන්න ඕනි" කියල කියන කොට ආන්යාගෙ ඇස්වලින් කඳුළු පැන්නා. ඇස් දෙක පියුවම කඳුළු එන එක වළක්වගන්න ආන්යාට තරමක කාලයක් ගත වුණා.
කන්ද නැග්ගට පස්සෙ හැරමිටියෙන් වැඩක් නැති බව සාගරිකා දැන හිටියා. එයාට හැරමිටියක් වගේ ආන්යාව විසි කරල දාන එකේ අවුලක් තිබුණෙ නැහැ. කාර්යාලයට බල පවත්වන කිසිම නිලධාරියෙකුට සාගරිකා කවදාවත් ආන්යා හොඳ නිලධරයෙකු බව කියා තිබුණෙ නැහැ. ආන්යාට කාර්යාලාධිපතිගෙන් අවවාද ලිපියක් ආවේ ඒ විදිහටයි. ආන්යා සාගරිකාට අනිසි සහ ආවේගශීලීව කතා කර ඇති බවක් ඒ ලිපියේ ලියැවී තිබුණා. කිසි කෙනෙක් ඒ පිළිබඳ ආන්යාගෙන් කරුණු විමසුවේ නැහැ. ආන්යාත් සාගරිකාත් ඒ විදිහට වෙන් වුණා.
හිත්ක්ලිෆ්-කැතරින් සම්බන්ධෙ වගෙ ආදරයක් වෛරයක් එතැන තිබුණෙ නැහැ. ආන්යා හොඳ හිතින් කළ හැම දෙයක්ම සාගරිකා විසින් පාවා දෙනු ලැබ තිබුණා. ඉන් පසුව තමයි ආන්යා-සාගරිකා යුගය ආරම්භ වුණේ.. මුලින්ම සාගරිකා කාර්යාලාධිපති මාර්තාව කැඳවාගෙන ආන්යාගේ කාර්යාල කාමරයට ඇවිත් බලය පෙන්නුවා. ආන්යාගේ කාමරයට ආ කාර්යාලාධිපති මාර්තා එහි තිබූ මිටි වානේ අල්මාරිය සොලවා බැලුවාය. ඉන්පසුව අල්මාරිය මත වූ වේවැල් කූඩයට තට්ටුවක් දැම්මාය. දූවිලි පිරුණු දුඹුරු පාට ජනෙල් රෙදි ගසා දමා එය මුලින් අල්ලා වීදුරුව පෙනෙන සේ ඈතට ඇරියාය. " තමුන් තමයි මෙතැන වැඩ කරන්න ඕනි. අපි ඉන්නෙ අධීක්ෂණය කරන්න විතරයි" කියා ගුගුළාය. සාගරිකා වචනයක්වත් කතා කළේ නෑ.
අධීක්ෂක ලෙස සාගරිකාට ලැබුණු පහසුකම් කිසිවක් ආන්යාට ලැබුණේ නැත. පසු දින සිටම මහජන විමසීම්, ඒකපාර්ශ්වික හා ද්විපාර්ශ්වික විභාග පැවැත්වීම, අධිකරණ වෛද්‍ය වාර්තා සැකසීම, නිකුත් කිරීම, ආයතනයේ ලේඛනාගාරය මැනවින් පවත්වාගෙන යාම, නිලධාරීන්ගේ නිවාඩු අනුමැතිය ආදී සියලුම රාජකාරී ආන්යා විසින් තනිව ඉටු කළ යුතු බවට සාගරිකා විසින් ආන්යාට නියෝග කරනු ලැබුවාය. ආන්යා විසින් සකසන ලද වාර්තා හා නියෝග සාගරිකාගේ අනුමැතියට යොමු කළ විට ඒවා හරවා එවනු ලැබුවේ බැන වදිමිනි. සාගරිකා හෝ වෙනත් කිසිවෙක් ආන්යාගේ වාර්තා අනුමත කිරීම හෝ පරික්ෂා කිරීම නොකළහ.
සියලුම වැඩ අහවර කර ආන්යා දුම්.රියට දිව්වේ හති හළමිනි. ඉහින් කණින් දාඩිය දැමීමෙන් ඇය තෙතබරිතව සිටියාය. වෙනත් ප්‍රවාහන ක්‍රමවේදයක් සකසා ගැනීමට ආන්යාගේ වැටුප ප්‍රමාණවත් වූයේ නැත. කාර්ය සාධනය දුර්වල යැයි සටහන් කිරීම මත ආන්යාට අවුරුදු දහයක් තිස්සේ වැටුප් වර්ධක ලබා දී තිබුණේද නැත. ආන්යාගේ ද්විපාර්ශ්වික විභාගයකට සහභාගි වූ නියෝජිතයෙක් දිනක් දුම් රියේදී ආන්යාට සිය අසුන පරිත්‍යාග කළේය. අසුනේ හිඳ ගත්තද ආන්යාගේ හදවත පැකිලීමෙන් හැකිළී ගියේය.
ආන්යාගේ අධීක්ෂක ලෙස කාර්යාලයට පැමිණි සාගරිකා ආන්යාගේ රාජකාරී කිසිවක් අධීක්ෂණය නොකළාය. ආන්යා කුමක් හෝ වාර්තාවක් යැවූ විට ආන්යාගේ අත් අකුරු කියැවිය නොහැකි යැයි ඇය විසින් හරවා එවනු ලැබුවාය. නැවත ලියා යැවු විට, යතුරු ලියනය කර එවන මෙන් නියෝග කළාය. ආන්යාගේ රාජකාරී දවසින් දවස දුෂ්කර වූ අතර සාගරිකා ආන්යාගෙන් යතුරු ලියනය කළ දෛනික ප්‍රගති වාර්තා කැඳවූවාය. ප්‍රගති වාර්තා අලකලංචිය නිසා මහජනයා පැමිණ ආන්යාගේ කාර්යාල කාමරයේ දොරටුව ළඟ පොරකන්නටත් ආන්යාට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තහ. වැඩ ප්‍රමාද වීම මත මිනිස්සු සාගරිකාට ආන්යා ගැන පැමිණිලි කළහ. ඒ සියලු අවස්ථාවන්හිදී ආන්යාට නැවත නැවතත් කාර්යාලාධිපති වෙතින් අවවාද ලිපි ලැබිණි.
ගෙදර ගිය කල ආන්යාගේ හිසත් අතපයත් කකියන්නට වූ අතර ඈ හට තම අංශ ප්‍රධානී ස්ටෙෆානීගේ උපන්දිනය හෙට බව හදිසියේම මතක් විය. කිසිම දවසක කාර්යාලයේ කිසිවෙකු විසින් තමාගේ උපන්දිනය සමරා නැති බවත් එවැනි සැමරීමක් කොතරම් ප්‍රීතිමත් විය හැකිද යන්නත් ආන්යාට සිතෙන්නට විය. ආන්යා වේලූ ලැවැන්ඩර් මල් අලවමින් කාඩ්පතක් සකසන්නට වූ අතර ඇයගේ හිසෙහි තදබදය එයින් ලිහිල් වන්නට විය.
පසුදා උදෑසන සුබපතා අත්සන් කිරීමට ආන්යා සුබපැතුම් කාඩ්පත ආන්යාගේ අංශයේ නිලධරයන් වෙත ලබා දුන්නේ සතුටින් ඉපිලෙමිනි. කාඩ්පත ඇන්දේ ආන්යා බව දැන ගත් විට සාගරිකාගේ මුහුණට කළු පිම්බාක් වැනි විය. ආන්යාගේ අංශය අවසන් වරට උපන්දිනයක් සැමරුවේ එදාය. කාර්යාලය තුළ උපන්දින සැමරුම සාගරිකා විසින් තහනම් කරනු ලැබුවාය. උපන්දිනය සැමරීමක් තහනම් කිරීම ගැන වෙන කිසිවෙකු පැවසුවේ නම් ආන්යා එය විශ්වාස නොකරන්නටත් ඉඩ තිබිණ.
ඊළඟ දින මූණ කළු කරන් සිටින තමාගේ කාර්යාල කාර්ය සහායක වැන්තලන් ආන්යාට මුණ ගැසිණ. "හිනාවෙමින් හිටි වැන්තලන්ට මොකද මේ වෙලා තියෙන්නේ?" යි ආන්නා ඇසුවාය. වැන්තලන් පැවසූ දෙයින් ආන්යා තුෂ්නිම්භූත වූවාය. වැන්තලන් අල්ලසක් ගන්නවා ආන්යා දුටු බවත් ඒ පිළිබඳ ආන්යා සාගරිකාට පැමිණිලි කොට තිබෙන බවත් සාගරිකා විසින් වැන්තලන්ට පවසනු ලැබ තිබුණාය. එසේ පවසමින් සාගරිකා වැන්තලන්ට ආන්යාට නොදැනෙන ලෙස ආන්යාගේ ඡායාරූප කිහිපයක් ගැනීමට භාර දී තිබුණාය.
ඉන්පසු වැඩි දවසක් ආන්යාට වැඩට ඒමට ඉඩ ලැබුණේ නැත. ඇගේ හිසකෙස් යොමු කර තිබුණේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටය.
Fiction - ෂසිකා අමාලි මුණසිංහ
Painting - Gary Jenkins (https://www.jenkinsartstudio.com/)