'තිලක සිත' හි පළ ව තිබූ
'සොඳුරු මුස්පේන්තු දවස්' කියවීමෙන් අනතුරු ව ලියමි.
හොස්ටල් ජීවිතේ මට අප්සට් ම වුණේ මා කිසිවෙකුට බැන වදින හැටි දැන නොසිටි නිස යි. ඒ නිසා, කරන කියන හැම එක ම පිරිමහගන්නට වුණේ කඳුළෙනි. දිවේ නොගෑවී නොසරුප් වචන කියන කෙල්ලන් මුල්වරට දුටුවේත් එහිදී යි. ඒ දවස්වල මගේ කොට්ටය වැස්සට අසු වූ ලුණු පාන් ගෙඩියක් මෙන් විය.
මගේ එක රූමෙක් වූයේ තද සීනියර් කමක් ඔළුවට ගෙන හිටපු සීනියර් පප්පියකි. ඇය නිදාගත් විට හ්ම් සද්දයක් ඇහෙනවාට ඇය කැමති වූයේ නැත. අනෙක් අපට ඉන්නට සිදු ව තිබුණේ ඒ පිළිවෙළටය. මා එතරම් සද්ද බද්ද නොදාන පාඩම් නොකර ඔහේ නිදාගන්නා කෙල්ලක වූ බැවින් මට එය හැමවිට ම ගැටලුවක් වුණේ නැත. එහෙත් ඇය අප නිදා සිටිද්දී අප වෙනුවෙන් ඒ පිළිවෙත ක්‍රියාත්මක කළේ නැත. ඇගේ මිතුරියන් කාමරයට ගෙන්වා ගෙන හැකිතරම් කෑ කොස්සන් ගැසුවාය.
ඇය අපේ බඩු හිතේ හැටියට පාවිච්චි කළ අතර මට එපා ම කළ දේ වූයේ මගේ කැමරාවලට අත තැබීම ය. මම එ කල ඡායාරූපකරණයෙහි යෙදුණු අතර මා නැති අතර කිසිදු විමසීමකින් තොර ව ම එ කල මා හැකි තරං පරිස්සම් කළ කැමරා එහේ මෙහේ ගෙන යෑම මට මහත් හිසරදයක් විය. එහෙත් එයට විරුද්ධ වීමට මම එකල නොදැන සිටියෙමි. හොඳ වෙලාවට මගේ හොඳ ම කැමරාවෙන් ප්‍රයෝජන ගැනීමට ඇය දැන සිටියේ නැත.
අපට පාඩම් කිරීම සඳහා වෙන ම කාමරයක් තිබූ අතර මා එහි පාඩම් කළේ විභාගය අතර තදියමේ සහ යම් යම් පැවරුම් ලැබුණු විට පමණ ය.එහෙත් මට එකල නිතර පැවරුම් හා විභාග වූයේ ඉගෙන ගැනීමට තිබූ මෝඩ කැමැත්ත නිසා වෙනත් ඩිප්ලෝමා හා අධ්‍යයන පාඨමාලා රැසකට ම උපාධියට අමතර ව කර ගසා තිබු බැවිනි.
ඉතින්, පාඩම් කාමරයට වී පාඩම් කල කිසි දවසක නැවත නිදාගැනීමට කාමරයට යෑමට ලැබුණේ නැත. කිහිපවරක් තට්ටු කළ 'මුත් කිසි විටෙක දොර ඇරුණේ නැත. මුළු රැය ම පාඩම් කාමරයට වී තනි ව බියෙන් ගැහෙමින් අඬමින් බොහෝ රාත්‍රීන් ගෙවී ගියේ ය.
ඒ මදිවාට හොස්ටලය ගැන කියවෙන කොතෙක් නම් හොල්මන් කතාද? නරක ම දෙය මීට පෙර දින දෙකක් ම අමුතු ම ආකාරයේ ශබ්ද කිහිපයක් අපේ මහලින් ම මගේ කණ වැකී තිබීම ය. ඒ එක දිනක්, අපි දෙතුන් දෙනෙක් පමණක් මුළු හොස්ටල් එකේ ම හිටි දවසකි.
පාඩම් කාමරයේ කවුළු විවර ව තිබෙන්නේ මහ පාරට ය. මැදියම් රැයෙන් පසු එතැන ඉඳ ගෙන 'සූ සූ' කියන මිනිස්සුන්ගේ සද්ද බද්දත් මැකී යන්නේ ය. පාඩම් කාමරයට වී සිටි රැයවල දී කඳුළු පොදි පිටින් ඇතැම් විට ඇසින් ගිලිහී යයි. ඒ අතරේ මට හොල්මන් ම මතක් වෙන හැටි. මේ දැන් දැන් දොර ඇරගෙන පැමිණෙන හොල්මනක් අතිඋත්කර්ෂවත් හොල්මන් නැටුමකින් අනතුරු ව මා බිලි ගනීවිද?
ඒත් ඇයි මං මේ හැටි හොල්මන්වලට බය වෙන්නේ? හොල්මන්වලට වඩා මේ මිනිස්සු කොච්චර නපුරුද? කාමරේට එන්න බැරිවෙන්න ඇතුළෙන් අගුලු ලා ගෙන නිදියන එක.. බුදු හාමුදුරුවනේ, ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ කොහොමදැයි මම කන්නලවු කළෙමි.
කාලයක් මේ ගැහැට මැද ගෙවී ගියේ ය. මට කතා කරන්නට පුළුවන් වුණේ කථික තරගවලදී විතරය. අනෙක් විටදී, බැනීම කෙසේ වෙතත් සද්දෙට කතා කර ගන්නට වත් නොහැකි වීම කවර නම් නුගුණයක්ද?
දවසක් අන්තිම දින වෙනකල් ම කර ගැනීමට නොහැකි ව තිබූ පැවරුමක් කරමින් මම මුළු රැය ම පාඩම් කාමරයේ ගත කළෙමි. වෙලාව උදෑසන 6.25 විය. දෙයියනේ ඇමුණුම් ටික කාමරේ.. තව කොච්චර වැඩ කරන්න තියෙනවද.. මම කාමරයට දිව ගියෙමි.. දොරට කිහිපවරක් තට්ටු කලෙමි. එ දින කාමරයේ සිටියේ අර පෙර කී තැනැත්තිය පමණි. දොර ඇරුණේ නැත. මම නම කියමින් කිහිපවරක් හඬ ගෑවෙමි. කිසිදු ශබ්දයක් නැත.
"ඇරපිය දොර... ^@(^&!(^(^(^!(ඵ්!(!(!^!$^#^&&*(()____" මම දොරට පයින් ගසමින් කෑ ගැසුවෙමි. මම මගේ හඬින් ම බය වුණෙමි. දොර ඇරිය කෙනාත් දොර ඇරියේ බියෙනි.
එ දින සිට කිසි දිනෙක මා හට කාමරයේ දොර නොවැසුණු අතර කිසිවෙකු මා හට බැන වැදුණේ නම් ඒ දෙවරක් සිතා මතා විය හැක.
එදායින් පසු ව ද මම කිසි කෙනෙකුට තව ම කෑ ගසා බැන වැදී නැතත් එදා මා උගත් පාඩම ජීවත්වීම සඳහා මා උගත් වටිනා ම පාඩමකි.
මුදු බවින් බැහැර වීම ස්වභාවයෙන් අසීරු වුවත්, ඉවසීම යනු මුදු බව ඇති ව වේදනා විඳීම නොවේ. අද විනය පරීක්ෂණ මණ්ඩලවල ද විනිශ්චය මණ්ඩලවල ද කටයුතු කිරීමට සිදු වන බොහෝ අවස්ථාවලදී මා හට වැදගත් වන්නේ මේ පාඩමයි. විනය සම්බන්ධයෙන් මා වෙත එන නිලධාරීන් හෝ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් මා වෙත එන නිලධාරීන් මා ඉදිරියේ කුඩා දරුවන් මෙන් හඬා වැටෙන අවස්ථා සුලබ වේ. එහෙත්, ඒ කිසිවෙකුට මගේ හදවතේ අංශුමාත්‍රයක ඉඟියක් දකින්නට මම ඉඩ නොතබමි. මගේ හැසිරීමේ හා ප්‍රශ්නවල තද බවින් සලිත වන ඔවුහු ඇතැම් විට ආපසු යන්නේ මට ද සාප කරමින් විය හැකි ය. ඇතැම් විට, ඔවුන්ගේ ජීවිතයට වැදගත් විය හැකි උපදෙසක් ඒ මොහොතේ ම ප්‍රකාශ කරන නමුත් ඔවුන් වෙනුවෙන් ඉටු කළ හැකි සාධාරණයක් වෙතොත් මා එය ඉටු කරන්නේ පසු පියවර වන වාර්තාවන් තුළින් පමණි.
Picture - Priscilla Warren Roberts, American, 1916 - 2001