Thursday, December 28, 2023

නිහඬ වී යයි මිනිස්සු















අත් හැරී යන තැනදි වියරුව
රඟ මඬල ළඟ දුක කියාගෙන
නොවැළපී මුනි වත දරාගෙන
හිත් තැලූ අය රඟන අතරෙදි
කප් කෙළක් දුක හිත දරාගෙන
නිහඬ වී යයි මිනිස්සු

Shasika Amali Munasinghe
Picture - Kusal Kanushka

Sunday, December 17, 2023

සුළඟ සහ මේ ලෝකෙ තියෙන හොඳම ඇඳුම

ඉස්සර කාලෙ සුළඟ කියන්නෙ ලස්සන ගැහැණු ළමයෙක්. එයාට තිබුණෙ රන්වන් පාට කැරලි හිසකෙස්. එයාගෙ ඇස් ඇප්රිකොට් ගසක ළා දලු වගේ කොළ පාටයි.

කැමති වෙලාවට පාවෙලා යන්න පුළුවන් වුණත්, එයාට හිටියා පිච්චූ ගඩොල් පාට කදිම වෙලඹක්. හැම හැන්දෑවකම මුව පැටවු තණ කමින් සිටි තැනිතලා පසු කරන් ඉර බැහැ ගෙන යන හැටි බලන්න එයා මේ කදිම වෙලඹගේ පිට උඩ නැඟලා බටහිර කඳුවැටි බලා ගියා. වෙලඹ පිට යන සුළඟේ මිහිරි ගීත ඈතින් ඈතට ඇහුණා.

වස්දඬුවක සිනිඳු සද්දෙ
කඳු
බෑවුම් නිම්න මැද්දෙ
වතුර
බින්දු වැටෙන වැස්සෙ
නටන
ළපටි මුවෙකු ගැස්සෙ

බටහිර කඳු වැටි අද්දර මැටි ගෙදරක් තිබුණා. අන්න ඒ මැටි ගෙදර තමයි නිකොල්යා හිටියෙ. නිකොල්යා කියන්නේ බොහොම බුහුටි අපූරු කොලු පැටියෙක්. ඒත් එයාට හිටියෙ එයාගෙ සීයා විතරමයි. ගොඩක් වයසක සීයාට නිකොල්යා බලාගන්න එක ලේසි පහසු වුණෙත් නැහැ.

නිකොල්යාට කන්න අඳින්න දෙන්න නිකොල්යාව බලා කියා ගන්න ඕනෑ නිසාම එයාගෙ සීයා තිරිඟු වගා කළා. ඒත් අධික ශීතයත් හිමත් නිසා තිරිඟු වගාවෙන් ලාබ ලබන එක පහසු වුණේ නැහැ. ඒ නිසා නිකොල්යට එයා කැමති විදිහෙ කෑම බීම ලැබෙන එකත් එයා කැමති සෙල්ලම් බඩු ලැබෙන එකත් සිද්ධ වුණේ කලාතුරකින්. නිකොල්යාත් එක්ක සෙල්ලම් කරන්න යාළුවො හිටියෙත් නැහැ. ඉතින් එයාට හිනා වෙන එක හොඳටම අමතක වෙලයි තිබුණෙ.

නිකොල්යාගෙ සීයා හැමදාම හවසට නිකොල්යාට එළවලු සුප් හැදුවා. එතකං නිකොල්යා හිටියෙ ගෙදර මිදුලට වෙලා තනියම සෙල්ලං කරන ගමන්.

සිනා සලන මී මැස්සන්
කඳු ළඳු
මත මල් දැස්සන්

කඳු ලඳු මත පිපුණු මල් ගැන සුළඟ ගැයූ ගී ගෙදරට වෙලා තනියම සෙල්ලම් කරමින් හිටි නිකොල්යාව පුදුම කළා.

වැහි කාලය පටන් ගතී
අඳුරු සළුහු බිමට එතී
ඇළ
දොළ ගං පිරී යතී
රැළි
ගවුමින් උඩ පනිතී

සීතල වැහි බිංදු එක දෙක පොළොවට වැටෙන කොට සුළඟ ගයන්නට වුණා.

වැස්ස නැති හොඳින් ඉර පායා තිබූ දවසක හවස් කල මන්දාලෝකය දිගේ නිකොල්යා තීරණය කළා සුළඟ හොයා ගෙන යන්න. කුඩා කඳු ගැට දෙකක් පහු ළ තැනදි නිකොල්යාට හමු වුණා පාට පාට ලිලී මල් පිරී තිබුණු මිටියාවතක්. ඒ මිටියාවත මැද ගල් තලාවක සින්දු කියන රන්වන් පාට කැරලි හිස කෙස් සහිත ගැහැණු ළමයා වාඩි වෙලා හිටියා.

සන්ධ්යා හිරු රැසට ඇගේ සම දිලිසෙමින් තිබුණා. එයා එයාගෙ පුංචි කොළ පාට ඇස් දෙකින් නිකොල්යා දිහා බලල හිනා වුණා.

"ඉතින් නිකොල්යා, ඔයා එහෙනං මාව හමුවෙන්න ආවද?"

වචන ඇහෙද්දී නිකොල්යාටම පුදුමයි. "කොහොමද ඔයා මාව දන්නෙ?" නිකොල්යා සුළඟෙන් ඇහුවා. "මං තමයි සුළඟ." ඇය මිහිරි හඬින් හිනාවුණා. නිකොල්යාට හිනා වෙන එක අමතක වෙලයි තිබුණෙ.

"ඔයාගෙ ගෙදර ළඟින් පාවෙලා එන කොට මං හැමදාම දකිනවා ඔයා හුඟක් දුකින් ගෙයි පඩිය උඩ වාඩිවෙලා ඉන්න හැටි.." සුළඟ කිව්වා. නිකොල්යාගෙ ඇස් දෙකට කඳුළු පිරුණා. "මට ඉන්නෙ සීයා විතරයි. වෙන කවුරුත්ම නැහැ." නිකොල්යා කිව්වා. "ඔහ්.. ඔයාට රසම රස සුප් හදන සීයා කෙනෙක් ඉන්නවා නේද? .. සුප් සුවඳ ඉවසන්න පුළුවන් එකක් නං නෙමෙයි." සුළඟ කිව්වා. නිකොල්යා සීයාගේ එළවලු සුප් ගැන කල්පනා කළා. එයා මීට කලින් ගැන හිතල තිබුණෙ නැහැ.

"තැඹිලි පාට අලුත්ම අලුත් කැරට් පෙති, බෝංචි, අල වගේම මෑ ඇටත් එයාට මැවිල පෙනුණා.. ආහ්.. සුප් එක රසයි තමයි.. එහි අයිතිකාරයත් මමයි.." නිකොල්යාට හිතුණා

"ඒත් ඉතින් මට යාළුවෝවත් නැහැනෙ. මට තියෙන්නෙ ඇඳුම් දෙක තුනක් විතරයි" නිකොල්යා කිව්වා. "ඒත් ඇත්තටම මට තියෙනවා උණුසුම් කබායක්." තමාව උණුසුම් කරමින් ඉන්න ලා දුඹුරු ලොම් කබාය අල්ලගෙන එයා කිව්වා. ".. ඒක හරිම අපූරු කබායක්" සුළඟ කිව්වා. "මට පුළුවන් ඔයාගෙ ඇඳුම් හෝදගන්න හැම වතාවකම ඔයාට ඒවා ඉක්මනින්ම වේලගන්න උදවු කරන්න. එකම ඇඳුම වුණත් පිරිසිදුවට ඇන්දම ඔයාට පුළුවන් හොඳ යාළුවෝ හොයාගන්න." සුළඟ කිව්වා.

"ඔයා දන්නවද නිකොල්යා.. මේ ලෝකෙ තියෙන හොඳම ඇඳුම තමයි හිනාව. මේ ලෝකේ තරං ලස්සන කිසිම දෙයක් නැති තරං.." සුළඟ කිව්වා.

"ඒත් දුකින් ඉන්න කෙනෙක් එහෙම හිනාවෙන්නෙ කොහොමද?" නිකොල්යා ඇහුවා.

"කොච්චර දුකින් හිටියත් හිනාවෙන්න.." සුළඟ කිව්වා. නිකොල්යා තොල් දෙක ඈත් කරල හිනාවෙන්න උත්සාහ කළා.

"ඔව් ඔව් එහෙම තමා. හොඳට තොල් ඈත් කරල හිනාවෙන්න. නිතර නිතර හිනාවෙන්න. එතකොට හිනාව දන්නෙම නැතුව සතුට අරන් එනවා. මොකද හිනාව එක්ක දුක ඉන්න බැහැ. උදේම නැගිටලා හිනාවෙලා බලන්න. ඊට පස්සෙ හිනාවෙන්න පුළුවන් කොච්චර දේවල් මුණ ගැහෙනවද? ඔයාට පුළුවන් ඕක් ගහකට වෙලා කීචි බීචි ගාන පුංචි කුරුල්ලෙක් එක්ක හිනාවෙන්න. ඔයා දිහා බලන් ඉන්න පුංචි මලකට හෙමින් තට්ටුවක් දමමින් හිනාවෙන්න."

"ඒත් එයාලට ඒක දැනෙනවද?" නිකොල්යා ඇහුවා. "ඔව්. බලන්න අත් දෙක විහිදලා ගසක් වැළඳගෙන.. ඔයාට දැනේවී 'පුංචි නිකොල්යා..' කියමින් ගස හිනාවෙන හඬ." සුළඟ කිව්වා. නිකොල්යා එයා ළඟ හිටගෙන හිටිය කුඩා ලොවි ගසක් වැළඳගෙන ඇස් පියාගත්තා. ඉදිච්ච ලොවි ගෙඩියක් එයාගෙ ඔළුවට වැටුණා. එයා මහ හඬින් හිනා වුණා.

එදා පටන් නිකොල්යා හිනාවෙන්න අමතක කළේ නැහැ. හිනාවෙන්න හිනාවෙන්න අලුත් අලුත් සතුටු දේවල් එයාට හමු වුණා. මලක සුවඳත් අහසෙ පාටත් වතුරෙහි ස්පර්ශයත් එයාට සිනාවත් සතුටත් ගෙනාවා. එයාගෙ අපූරු හිනාවට ගමේ ළමයි හැමෝම ආස වුණා විතරක් නෙමෙයි හැමෝම එයත් එක්ක යාළු වුණා. විතරක්ද? නිකොල්යාගෙ හිනා හඬට කෙතේ තිරිඟු අස්වැන්න දෙගුණ තෙගුණ වුණා. නිකොල්යාගෙ සීයට ගොඩක් සල්ලි ලැබුණා. නිකොල්යාගෙ හිනාව දන්නෙම නැතුව නිකොල්යාගෙ සීයටත් නිකොල්යාගෙ යාළුවන්ටත් නිකොල්යාගෙ ගමේ අයටත් බෝ වුණා.

රසම රස සුප් බොමින් ඉස්තෝප්පුවේ වාඩිගෙන ඉන්න සීයාත් මුණුබුරත් නිසා ගෙදරම සතුටු සාගරයක් වුණා. සමහර දවස්වලට දෙන්නත් එක්ක වාඩි වෙලා රන්වන් පාට කැරලි හිස කෙස් තියෙන ගැහැණු ළමයෙක් සුප් බොමින් හිටියා.

කතාව සහ චිත්‍ර -සිකා මාලි මුසිං

.ලි. - මේ කතාව කියෙව්ව ඔයාලත් හිනා වුණා නේද?