Sunday, February 28, 2021

මිරිඟුවක්වත් නැත!


ඒ තනිකමෙහි මා වෙළිලා
මලේ සකුරා
එදා සවනට ඇසුණු මුණු මුණු මිතුරු
එකක්වත් නැත!
වැළඳ අප හිනැහුණු අයුරු
මිරිඟුවක්වත් නැත!

සුබපැතුම් ආ හසුන්
පනම් බිල් විතරක්ද
දුරකතන හඬ පවා
උපදෙස්ම විතරක්ද
තවම මල් පිපෙනවද
ඇවිද ගිය මාවතේ
හෙමින් අසනා කෙනෙක් 
ආයෙමත් හමුවෙයිද

බිළිඳුන්ගෙ මුදු හැඬුම්
අහර සැකසුම් ඉවුම්
අතර අප ජීවිතේ
පියානෝ හඬ මැකී
හැමදෙනා බැබළෙද්දි
ජීවිතේ පිටු අතර
කඳුළු ඇසෙනා කෙනෙක්
සොයාගන්නට හැකිද?

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Vincent Willem Van Gogh

මේ රිදුම් අවසරයි ගෙනයන්න


අහසකට බැරි නිසා තනිවෙන්න
සහසකට වැඩිය තරු දිලිහෙන්න
පහසකට බැඳි සෙනෙහෙ මියයන්න
මේ රිදුම් අවසරයි ගෙනයන්න

උදාවක උදාගිර නැවතෙන්න
ගමන දුර බැරිය තව නවතින්න
මතක ඉඟි එලා යමි තෙතඟු දිගු වරලසෙහි
ආයෙමත් ආවොතින් හඳුනන්න
මේ රිදුම් අවසරයි ගෙනයන්න

ෂසිකා අමාලි මුණසිංහ
Painting - John Atkinson Grimshaw

Sunday, February 7, 2021

මතක ඔරුවක කඳුළු පිරුණා


පාවෙලා අර ඈත අහසේ තාරුකාවකි දිලුම් දෙන්නේ
ඇඟිලි ගැන්නට දුරයි තාමත්, කවමදා නෑ මගේ වෙන්නේ
වැතිර උන්නට තැනිතලාවක, කඳු උඩයි තනි තරු පිපෙන්නේ
ඇඟිලි ගැන්නට දුරයි තාමත්, කවමදා නෑ මගේ වෙන්නේ

මිදී යන්නද රිදී ඉන්නද 
හිතාගන්නත් බැරිව උන්නා
මාවතේ දුක් අහුරු රන්දා
ආදරේ මගෙ හිතම බින්දා

කාලයේ සුළඟට ඇදී යන
මතක ඔරුවක කඳුළු පිරුණා
ආයෙමත් හමුවෙන්න ඕනා
තැනෙක වතුසුදු පොකුරු පිපුණා

© ෂසිකා අමාලි මුණසිංහ
Picture - Bryan Larsen

Monday, February 1, 2021

The view from my office room: Colombo



හරිත උයනක් කොළඹ
විලෝපත් විතරක්ම ගුමුගුමුව
මගෙ කණට විතරක් ඇසෙන ලෙස
ගයයි ගීතිකා උස් දෙව් මැඳුර

ආදරෙයි, මම, කොළඹ