Tuesday, December 13, 2022

ජීවිතයේ එක වතාවක්


ප්‍රේමයන් කිහිපයක් තිබිය හැකි 'මුත් ජීවිතයක් තුළ, උමතුව ආලය කළ හැක්කේ එක වතාවක් පමණි!

මුළු මහත් ජීවිත කාලයම ඔබගේය
ඔබ ඇහි පිය සැලෙන හැටි පවා මට මතකය
ඔබ හිටියා නම් ළඟින්
ඉතා මුදු ලෙස සිඹිමි ඔබ කම්මුල්
ඔබ දකින හැම විටම
තිගැස්සෙමි පුදුමයෙන්
ගොලු වෙමි පෙර ලෙසින්
හිමි වුණි නම් ඉතින් ඔබ මා හට
නොහැකි වන්නට තිබුණා මට
පියවි ලොව දකින්නට කිසි විට

Saturday, August 13, 2022

පුදුමයි! වසන්තය


හදවත කැණ සොයමි
ඔබ සිටින තැන
ගැඹුරුම කොදෙව්වක
පුදුමයි! වසන්තය 

Shasika Amali Munasinghe
Painting - Stacey Peterson 

Thursday, August 11, 2022

මා වැඩ ඇරී ගෙදර එන කොට


මා වැඩ ඇරී ගෙදර එන කොට
හඳ බලන් ඉන්නවා මා දිහාවම
ගලා ‍යන දිය කඩිතිවලට පැන
දිවා කල වෙහෙස නිවා හරිනව මිනිස්සු
තුරු මතින් පෙරී එන අඳුර මැද 
බලාපොරොත්තුව නමැති මා වවුලන් අහස උඩ
කෝවිලේ පහන් වැටි පෙනෙන විට
තේ කෝප්පයක් වගේ උණුසුමයි හද

Shasika Amali Munasinghe 
Painting - Johann Jungblut

Friday, July 15, 2022

දැවීම තෝරා ගතිමි


ගිනි ගෙන ඇති බැවින් කඳු හිස
දැවීම තෝරා ගතිමි
සිලිලාරයේ පාවී
පලා යන සකි සඳුනි
අත වනමි

Shasika Amali Munasinghe
Painting - Tom Thomson, Canadian, 1877 - 1917, 'Lightning, Canoe Lake'

Tuesday, March 1, 2022

දෙවොල නුඹ නම්


දෙවොල නුඹ නම්
අහස මම වෙමි
රනින් රන් පෑ වලා අතුරමි

නදිය නුඹ නම්
ඉවුරු මම වෙමි
ඔබේ දෙපසින් ඇදී එන්නෙමි

Shasika Amali Munasinghe
Picture - Eduardo Rodriguez Calzado St Basil's Cathedra

Sunday, February 27, 2022

තේන් නදියේ ගලන්නේ අද


'Ukraine official says about 3,500 Russian troops killed or injured.' Reuters

තේන් නදියේ ගලන්නේ අද
වතුර නොව රතු ලෙයයි සකිසඳ
හීතලෙන් ගල් ගැසී ඇත තද
ලෙනින් නිදනා සොහොන් ගර්භෙද

Shasika Amali Munasinghe
Painting - Vera fork, Ukrainian Artist

Friday, February 25, 2022

කුඩා සිප්පි කටුවක්ව

 


ඔබ නොරිසි පෙම
විසි කර මහ මුහුදට
කඩල ගොටුවක් ගෙන
ඇවිද යන විට වෙරළත 
කුඩා සිප්පි කටුවක්ව 
දැනෙයි ඔබ මා දෙපයට 

Shasika Amali Munasinghe 
Picture - Tokanobu II, Japanese Artist 

Monday, February 21, 2022

වේදනාවේ මහ පොළොව කැණ


වේදනාවේ මහ පොළොව කැණ
වේදනා මල් පැළ සිටෙව්වෙමි
වේදනා මල් එහි පිපුණු කල
එපා යැයි මහ පොළොවෙ හැපුණෙමි

මලානික හිරු මියෙන මොහොතක
අලංකාරයි කියා ඔල්වර නඟන මිනිසුනි
ආයුබෝවන් කියා හැම විට
හමුවන්ට මිස සමුගන්ට බැරි

මහා සයුරට වැටුණු දිය බිඳ
සොයා ගන්නට නොහැකි පරිදිම - ගිලන් වෙයි හද
වෙන්ව යන අය සොයා ගන්නට
සසර තුළ යළි අපට හැකි වෙද???

Shasika Amali Munasinghe
Picture - Aleksandr Golovin, Russian, Neskuchny Garden

Sunday, February 20, 2022

ඇයි ඉතින් හිනැහෙන්නෙ?


ඇයි ඉතින් හිනැහෙන්නෙ
ඇයි ඉතින් හිනැහෙන්නෙ
කඳුළු පිරි ඇස් අගින්
යුවතියේ...
ඇයි ඉතින් හිනැහෙන්නෙ

හොඳම කරනා ලොවෙන්
හොඳක් නැති යම් විටදි
කඳුළු බිඳුවක් ඇවිත්
වැළලුණත් මිහිමතදි
බයාදුව නිවටයෙකු ලෙසින් නොසිටිය පරිදි
කඳුළු මැද හිනා වෙන්නට - වරම් ලැබු යුවති

දිගු කළත් කටු පිරුණු
අකුල් නිති ඈ වෙතට
පිපාසය ඇති තැනට
හැලූවත් විස දියම
දෙපා නොතිබූ බැවින් අයුත වෙත කිසි විටෙක
කඳුළු පිරි ඇස් වුණත් - සිනා උපදී නිබඳ

Shasika Amali Munasinghe
Picture - James Jebusa Shannon, American, 1862 - 1923

නොපෙනෙන දුරක ගිහිල්ලා ඔබ ඉන්නවාද දන් නෑ


ඒ ශෝකයේ වෙළීලා තරු නිදනවාද දන් නෑ
අහසින් කඩා වැටීලා ගන කලුවරට විඩා නෑ
නොපෙනෙන දුරක ගිහිල්ලා ඔබ ඉන්නවාද දන් නෑ
කිසිකෙනෙකු නොඑන උයනක මල් පිපුණාට පලක් නෑ

ඔබ මන්ද්‍ර ස්වරය ඇවිලී හද සිතාරේ බිඳේවී
ගොලු බසින් කිව්ව ආලය මුණ නොගැසීම මියේවී
මං තනිව කවි ලියූවත් පෙණ බුබුළු සේ බිඳේවී
දිය ගඟුල ආදරේ නුඹ නොදැකීම අද සිඳේවී

ඒ ශෝකයේ වෙළීලා තරු නිදනවාද දන් නෑ!

Shasika Amali Munasinghe
Picture- Moussin Irjan, Russian

Thursday, February 17, 2022

අම්මා නුවරක්ය


අම්මා නුවරක්ය
සුවිසල් හිස් ආකාශය අරා ඇදෙන උස් කඳුවලින්ද
සිය දහස් ගෙවලින්ද
කුරුල්ලන් ගී ගයන වන පෙතින්ද
ඇළදොළින්ද
මලින් සහ සමනලුන්ගෙන්ද ආකූල
පැරණි වුව පැරණි නැති
මිහිරි වුව ගැඹුරැති
හඬ වුවද සංධ්වනියකි
ළඟ නැතද වටා බැඳි පවුරකි
කිසිත් නැති පස් යටද
සුබ පැතුම් දහසකි

Shasika Amali Munasinghe
Picture - Luis Romero, Spanish, born 1948

Wednesday, February 16, 2022

දැන් ඉතින් මට යන්න වේවී



විජ්ජුවක් හිමි විටෙක විජ්ජුවක් පිරි අතින්
මේඝයක් හිමි විටෙක මේඝයක් පිරි අතින්
තාලයක් හිමි විටෙක ගිතාරය අවුලමින්
ආදරය බෙදා දුන් දේවී
දැන් ඉතින් මට යන්න වේවී

දනව්වක පසල් ප්රේමයම දෝතින් අරන්
වසින විට අකල් වර්ෂාව කඳුළැලි පුරන්
නොදී මඩ දියක් පාගන්න කිසි විටත්
යනෙන මඟ දිගා වුණ දේවී
ඔබ මගේ සුදු නෙළුම වේවී

දැන් ඉතින් මට යන්න වේවී

📸 Auguste Rodin, The Cathedral - 1908
Rodin Museum

Tuesday, February 8, 2022

තාරුකා අහුරක් එවනවද?

නැතිවෙන්න දෙයක් නෑ
හිමි වෙන්න දෙයක් නෑ
මේ සරතාකාශයේ
කඳුළකට නමක් නෑ
සුසුමකට ඉඩක් නෑ
ඇවිද යන විට කෝඩයේ

උල් ඇනෙන කටු පිරුණ වදන් මැද
මල් පිපෙන ගම්මාන තියෙනවද
නොරිදෙන්න රිදෙන මතකය
තෙත සුළඟ අහුරක්
ආදරේ තවරා එවනවද

කල් බලා නැවතෙන සෙනඟ මැද
මල් සුවඳ නිතරෝම විඳිනවද
විඳගන්න රුදුරු තනිකම
සුමිතුරේ අහසට
තාරුකා අහුරක් එවනවද

- ෂසිකා අමාලි මුණසිංහ

Wednesday, January 5, 2022

නින්ද ගිය රියදුරෙකු නිසා වෙන්ව ගිය මිතුරාට

දේදුන්න සත්කඩට කැඩුණා ලේ බිංදු එහි මතුව තිබුණා යන්න යන බව කියන්නටවත් බැරි තරං ගිනි අව්ව වැටුණා උදෑසන මහ රැයට පෙරළා යොවුන් හදවත නිසල වූවා කමිස අත මත මුදුව තැවරුණ දුවගෙ හාදුවෙ සුවඳ දැනුණා තාත්තා හින්දාම මොහොතක් ඇස් පියන්නට ලෝබ හිතුණා දුවේ ඔබ මවු අතේ තියලා ඈත යන්නට ලෝබ හිතුණා.....................

මැසිමටම රළු දෑත ගෙවුණා
අතේ ධන රේඛාව මැකුණා
නයිට් ඩියුටිය ඇරී එද්දී
දන්නෙ නැතුවම දෑස පියුණා

ඒත් මල්ලියෙ උඹට ඩිංගක් නිදන් ඉඳලා එන්න තිබුණා