Dear Anonymous,
පසුගිය ඔක්තෝබරයේදී මට කෙටි නිවාඩුවකට පැරණි ඇලෙක්සැන්ඩ්රියා නගරය බලා යන්නට ඉඩ ලැබුණා. මේ මා අමෙරිකාව වෙත පැමිණි පළමු වතාව. ඒ වගේම මට සරත් සෘතුව මුණගැහුණු පළමු වතාව කියල කියන්නත් පුළුවන්. ඇස් පියාගත්තම සුළඟට නටන මේපල් පත්වල සරසරයත් පලා පැහැයේ සිට පඬුවන් පැහැයට හැරවෙමින් තියෙන ඕක්පත්වල හඬත් ඔබට අසන්නට පුළුවන් නේද? බිමට වන් මේපල් පත්වල දිලිසෙන රතු පැහැය මත මේ විශ්වයේ කොහේ හෝ ඇත්තටම තියෙන සුන්දරම මායාකාරී බවක් හැංගිලා තියෙනව කියල මට හිතෙනවා.. නැවතුමක වර්ණ විචිත්රත්වය.. ඒ අවසාන පියවරේ ලස්සන නොපාගා යන්න මං උත්සාහ කරනවා.. දුලනි පටුමඟේ හැම ගහක්ම වගේ දිලිසෙන කහපාටකට හැරිලා. කාලයිල් හැරවුමේ සිංහයන්ගෙන් දකුණු පැත්තට හැරිලා ඩ්යුක් වීථිය දිගේ මං තනියම පොටෝමැක් ගඟ ඉවුර පැත්තට ඇවිදන් යන්නයි හදන්නෙ.
මගේ රටේ මුළු පොළවම වසා පැතිරෙන ඉර එළිය ඇලෙක්සැන්ඩ්රියාවේ ගොඩනැඟිලිවල උඩ කොටස් විතරක් වැළඳගන්න හැටි මං දකින්නෙ පළමු වතාවට. පොටෝමැක් ගඟ ඉවුර පැත්තෙන් මුහුණ දිහාවට හැරවෙන ඉර එළිය දරාගන්නත් බැරි තරං. මම ඉතින් ඇස් දෙක වහගෙනයි ඉස්සරහට යන්නෙ.
අමෙරිකාවට එනකොට ඒක මොනවගේද කියල කිසිම අදහසක් මට තිබුණෙ නැහැ. මං ඒ ගැන හිතුවෙත් නැහැ. ඒත් මට ඇහිල තියෙනවා විශාලත්වය ගැන අලුත් මානයක් දෙන්න අමෙරිකාවේ විශාල දේශ සීමාවනට පුළුවන් කියල. ඒත් මං ඇවිද්දෙ බොහොම පොඩි බිම් ප්රමාණයක නිසා මට ඒක තේරෙන්නෙ නැහැ. ඒක හුඟක් දුර ඈත කොහේදෝ නම නොදන්නා ලෝකෙක පැරණි සහ අපූරු නගරයක ඇවිදයාමක් විදිහටයි මට දැනෙන්නෙ.
පැරණි ඇලෙක්සැන්ඩ්රියාවේ හැම කඩ පිලක්ම ගෙදරක්ම හරි අපූරුවට සරසලයි තියෙන්නෙ. එක වීදුරු කවුළුවකින් එහා පැත්තේ තද කොළ පාට විලෝ ගස් කිහිපයක් එක්ක ලා නිල්පාට අහසක චිත්රයක් තිබුණා. ඒ ළඟම දම්පාටට හුරු නිල් පාට ලී කුරුල්ලෙක් වාඩි වෙලා හිටියා. ආපහු ආව මං මුලින්ම කළේ අමෙරිකාවේ දුප්පත් මිනිස්සු ඉන්නවද කියල ගූගල් සර්ච් එකක් කළ එකයි. ඒකට උත්තරය ඔයා දන්නවා ඇති කියල මං හිතනවා.
අමෙරිකා ගමනින් පස්සෙ මං හිතුවෙ නෑ ඒත් එක්ක තියෙන සම්බන්ධය එතැනින් එහා දිගු වෙයි කියල. ඒත් ආපහු මගෙ රටට ආ දිනයේම අප්රිකානු වැඩසටහනක් යටතේ අමෙරිකාවේ උපදේශිකාවක් මා වෙනුවෙන් වෙන් වෙලා තිබුණා.. ඉතින් අමරිකාවත් එක්ක සම්බන්ධය තවත් අවුරුද්දක් දිග වුණා.. ඇගේ ඊමේලයේ අග එල්ලිලා තිබිලයි මට ඔබේ ලිපිනය හමු වුණේ.
මං තරමට වැඩියෙන් කතා කළාද කියන්න මං දන්නෙ නැහැ. ඒත් හැම කෙනෙකුටම ඇහුන්කන් දෙන්න කෙනෙක් ඉන්න එකත් හැම කෙනාටම කතන්දර කියන්න කෙනෙක් ඉන්න එකත් මොනතරං උණුසුම් දෙයක්ද කියල මං විතරක් නෙමෙයි ඔයත් දන්නවා ඇති නේද? ඒත් ඉතින් ඔබේ අත වැරෙන් මිරිකා සමුගන්න කලින් මෙහෙම ලියන්න මං කැමතියි. ජීවිතේ සමහර දේවල් අපට වෙනස් කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. නොසිතූ වෙලාවක අප ගමන් ගත් මාවත් වෙනස් විය හැකියි. වසන්තය හා මල් පිපෙන කඳු තැනිතලා වෙත ඇදී ගිය මාවත් ශුෂ්ක බිම් සහ මහා කාන්තාර වෙතත් අඳුරු ගුහාවන් වෙතත් ඇදී යන්නට පුළුවනි.. ඒත් හොඳ හුස්මක් අරන් ඇස් වහගත්තම මල් පිපුණු අලුත් පාරවල් මුණගැහේවි කියල මං විශ්වාස කරනව.. ඒක ඇත්තද කියල මට ලියා එවන්න.
මීට දෙසැම්බර්