Tuesday, February 13, 2024

සතුට සහ ආදරය පුරවාගෙන ජීවත්වෙන්න..


පෙරළා ආදරය බලාපොරොත්තු නොවී ආදරය කරන්න පුරුදු වුණු දාට ජීවිතය ඉතාම ලස්සන වෙනවා.. මේක තේරුම් ගන්න සමහර විට ළඟා කරගන්න ජීවිතයේ සැලකිය යුතු අත්දැකීමක් ලබාගන්න වෙනවා. මොනවා වුණත් ඔහේ සතුටින් පිරීගෙන ඉන්න පුළුවන් එකත් ඒ වගේ දෙයක්..

හැබැයි ජීවිතේ එක තැනකදී තම තමන්ගේ 'තමන්ට අයිති නැති කෙනාව' අත් හරින්න වෙනවා.. White Moss (Belyy Yagel) කියන්නේ ඔන්න ඔය දේ ගැන හැදුණු සර්.බියා චිත්‍රපටියක්.. "Paper Towns" කියන ඉංග්‍රීසි චිත්‍රපටයෙත් අවසානයට ඒ දේ තමයි කියන්නෙ..

ඉතින් තමන්ට අයිති නැති කෙනාව අත හරින්න නිර්.භීත වෙන්න. ඒත් ඉතින් ආදරය කරන්න කාගෙන් තහනමක්ද..? කැමති නම් ආදරය කරමින් සතුටින් ඉන්න..

ඔබ මට අවසාන කර ගත නොහැකි වූ ප්‍රේමය ය!


ඔබ මට අවසාන කර ගත නොහැකි වූ ප්‍රේමය ය
උදාවක් පිළිබඳ එළි බිඳකුදු නොපිරිසිඳ
ගගන පෙර දිග අලු පාට මිස රන් පාට නොවූ 'මුත්
පිපෙන හැම කුසුමම වියළන පිණිස ගිම්හාන සුළඟ සැඩ වුණ නමුත්
පසටම ඔබා කිසිවෙකුට නොපෙනෙන පිණිස වල දමා සිර කළ 'මුත්
යළි යළිත් පීදි පීදී, වියැළී වැටෙන හැම කුසුමුවනකම
නැවත නැවත පැවතෙමින් පෙරදාටත් වඩා බලගතු වෙමින්
නොදන්නා බව ඔබ රිසි කිසිවකුදු; රිසිතම සකුණ ද, රිසිතම කුසුම ද
රිසිතම දූපත ද රිසිතම සුවඳ ද රිසිතම පැහැය ද රිසිතම දර්.ශනය ද
ඉතා සුළු කාරණා බව පසක් කරමින් අවසඟව පාවෙන, ගිලෙන ඔබ දෙසටම
නෞකාවක්ද මගෙ හදවත, නැතිද අන් උපහැරණ 'හෙම?

- ෂසිකා අමාලි මුණසිංහ

Friday, February 9, 2024

ප්‍රේමයට තව නමකි



රෝසියා මලින් මල පුරුද්දා කළ
මල්කමකි නිල නිලන සොඳුරු කඳු පෙළ
ඉතා ගැඹුරැති නමුදු සුසුමකින් හළ
ප්‍රේමයට තව නමකි 'බණ්ඩාරවෙල'

Shasika Amali Munasinghe
Painting - Ilya Chirun

Friday, February 2, 2024

VITA: THE NON-FICTION STORY


විතාගෙ රටේ ඇමතිතුමෙක් ළඟදි මළා. මිනිස්සු එයාට සතුන්ට තියෙන හැම නමකින්ම අමත අමත ස්වර්ගස්ථ සුවේ පැතුවා. විතා හිටියෙ කට වහගෙන. විතාගෙ රටේ මිනිස්සු අරගල කළා. මහ පාරවලට බැහැල පාලකයන්ට එරෙහිව කෝලාහල කළා. විතාගෙ හදවත නැටුවත් විතා හිටියෙ කටවහගෙන. විතාගෙ ඔෆීසියෙ අවුරුදු දෙතුන්සීයක් පරණ මිනිස්සු පවා රටේ කොඩිය බඩේ බැඳගෙන ඒවට ගියා. තවත් සමහරු ඒක දිහා බලන් හිටියෙ ක්‍රිකට් මැච් එකක් බලන්නා වගෙයි.

රිචර්ඩ් බ්‍රැන්සන් වගේ විතා කිසිදාක උදේ පාන්දර පත්තර බැලුවෙ නෑ. එයා බැලුවෙ මරණ දැන්වීම්. එයාගෙ ඔෆීසියේ අවුරුදු දෙසීයක් තුන්සීයක් ජීවත් වෙන මිනිස්සු අද මැරෙයිද හෙට මැරෙයිද එයා බලන් හිටිය. මේ විදිහට එයා අවුරුදු දහයක්ම බලන් හිටිය. ඒ වුණාට සීරීමක තරම්වත් දෙයක් පරණ මිනිස්සුන්ට වුණේ නෑ.

එයාල පුළුවන් තරං සැප වින්දා. ආණ්ඩුවෙ තෙල්වලින් ආණ්ඩුවෙ වාහනවලින් ෂොපින් ගියා. මේ ලෝකෙ මල් පිපෙන්නෙ එයාල වෙනුවෙන් කියල විතා දැනගෙන හිටියා. මැග්නෝලියා, ලිලී, ෆොගෙට්-මී-නොට් තියා නිදිකුම්බා මලක්වත් විතාලට හම්බ වුණේ නෑ. "මේ ලෝකෙ හැම සුවඳක්ම මගේ" තාං මහත්මියගෙ මුවින් පිට වුණු හැමවරකම සුවඳ ඇවිත් එයා වටේ දැවටුණා. මුළු ලෝකෙම හිතුවා තාං මහත්මියගෙ ගුණ යහපත්කමට සුවඳ හමනව කියල. රජේ කම්මලේ වැඩ කරල කරල විතාලව දහදියෙන් පෙඟුණා. කවදාවත් එයාලගෙන් සුවඳ හැමුවෙ නැහැ.

තාං මහත්මියවත් ගරී මහත්මියවත් කවදාවත් වැඩ කළේ නෑ. අවුරුදු දෙසීයක් තුන්සීයක් වැඩ කළාට එයාල එක වැඩක්වත් හරියට කරන්න ඉගෙන ගත්තෙ නැහැ. ඉගෙනගන්න එකත් මහන්සියක්නෙ. මහන්සි වෙන්නෙ මොකටද වැඩ දන්න විතාල වගේ අය ඉන්න කල් කියල තාං මහත්මියත් ගරී මහත්මියත්  හිතුවා.

ක්ලාන්ත වෙලා ඇද වැටෙන කල් ඔවුන් විතාලගෙන් වැඩ ගත්තා. ඔෆීසියෙ තරප්පු පේළියෙදි පය පැකිලුණත් එයාල හිතුවෙ ඒක විතාලගෙ වැරැද්දක් කියල. එදාට එයාල විතාලගෙ පඩි කැපුවා. විතාලගෙ කැටයම් වැඩකට ඔෆීසියට සම්මානයක් ලැබෙන කොට ඒක ගන්න තාන්තුමී වේදිකාවට නැග්ගෙ පියරු බබෙක් වගේ. ආහ්.. ඇගේ ලක්ෂණ! සබේ කිව්වා. සම්මානෙත් එක්ක ඇගේ රූපෙ පතේ පළ වුණා. කැටයමක දෝෂයක් නිසා දෝෂාරෝපණයක් ආ දවසට විතාලව කුරුසෙ ගහන්නා වගේ කඳක බැඳල පහර දුන්නා. එයාලව බේරගන්න එයාලට එයාලටවත් බැරි වුණා. ඉන්පස්සෙ වරදට දඬුවම් කළ බව දොරටුවේ ගහල ප්‍රසිද්ධ කළා. ඒ වගේ දවසට ගෙදර අයට නොපෙනෙන්න ලේ හෝද ගෙන ගේ ඇතුළට යන්න විතාට සිද්ධ වුණා. මුකුත් නොවුණු ගානට උයන්න පිහින්න සිඟිත්තන්ට කවන්න ළමයින්ගෙ ඉස්කෝලවලින් ගෙදර එවන වැඩ කරවන්න විතාට සිද්ධ වුණා.

විතා කවදාවත් පත්තර බැලුවෙ නෑ. එයා බැලුවෙ මරණ දැන්වීම් විතරයි.

Shasika Amali Munasinghe
Painting - Reggie Burrows Hodges

Friday, January 26, 2024

දැන දැනම

 

    දැන දැනම
    ස්ථායි කොටස මිස
    අන්තරා කොටසක් 
    නැති වග
    ලාක් කුරුල්ලෝ මන්ද
    ගයන්නේ ඔතරම්ම
    මිහිරි ලෙස
 
    Shasika Amali Munasinghe
    Picture - Sashika Suraweera