පස්සර දිහායින් ආ කොටි දොරගල කන්දේ වන අතර සැඟවී ඇතැයි මහා රාවයක් පැතිර යන්නට විය. ලොකු කුඩා කවුරුත් මේ ආරංචියත් සමඟ අන්දමන්ද වූහ. දවල් කල අව්වත් සවස් කල කඩින් කඩ වැසිත් වූ කාලයකි. සුගුණාත් මාත් පාසල් ගියේත් කෑවේ බීවේත් මේ ආරංචිය හිතේ කොණක තිබිද්දීයි. මින් දොහොකට කලින් දොඩම් වතු පිටින් උගුලා රබර් වැවීමෙන් පසු බිබිලේ සිට අපේ පාසල් වත්ත කොණ වනතුරු රබර් වවා තිබුණි. රබර් වත්තේත් කොටි සිටින්නට පුළුවනැයි වැඩිහිටියෝ කසුකුසු ගෑහ.
ගෙදර සිට හැතැප්මක් දෙකක් දුර පයිනි, අප පාසලට ගියේ. බෑග් මලු පිටේ එල්ලාගෙන එක රිත්මෙකට පා තිය තියා යන අතරේත් අපි නිහඬව කල්පනා කළේ මේ ගැනය. මා වඩාත්ම විස්සෝප වූයේ දවල් කල ගෙදර තනිව වසන අත්තම්මා ගැනය.
අපේ නිවසත් කොටි පැමිණියා යැයි කියන කඳුකරයත් වෙන්ව තිබුණේ කුඩා කුඹුරු යායකින් පමණි. හිටි හැටියේ අප ගෙදරට කොටි පැමිණෙයිද? ඔවුන් අත්තම්මාව දකියිද? එකවරම ගෙල සිඳ නසා දමයිද? යන සිතුවිලිවලින් මම පීඩාවට පත් වීමි. මීට ස්වල්ප දොහකට ඉහත නිල්ගලට කොටි පැන පවුල් කීපයක්ම මරා දැමූ බව ටිකිරි මාමා පහළ ගුණේ මාමා සමඟ කියනු මට ඇසිණ.
අත්තම්මාට කන් ඇසුණා නම්, උන් එන සද්දෙටවත් හැංගීමට තිබිණ. කුමක් කරන්නද? කොටි ළඟට එන තුරුම ඇයට ඒ බව දැනගන්නට විදිහක් නැත.
කොතෙක් දේ හිතුණත් මම සුගුණා හා පිළිබඳ කෙළ පිඬක්වත් නොහැලීමට වග බලාගත්තේ ඇය මටත් වඩා බයගුල්ලියක වූ බැවිනි. සුගුණා ඈතින් අපේ නෑයෙකු වන අයෙකුගේ දුවකි. ඇය අත්තම්මාගෙත් මගේත් තනියට අප නිවසේ නතරව උන්නාය. මේ නිසා ඇය නිවස හැර යනු ඇතැයි අනෙක් අතට මට සිතිණ.
මේ දවස්වල පාසලේ ළමයිනුත් ගුරුවරුන්ට නොදැනෙන්ට කණු කුණු ගෑවේ මේ ගැනය. පාසල් ඒමට වැඩි කැමැත්තක් නොදැක්වූ රත්නපාල කීවේ අප පාසල් නෑවිත් සැඟවී සිටිය යුතු බවය. ඒ අහු අස්සේත් ඇටඹ ගසට පොලු ගැසීමටත් ගල් ඔයෙහි නෑමට යෑමටත් ඔහු සිතා සිටියේය.
එදින වැසි වැස දවාල වන විට පායා තිබූ අතර මඩව ගිය පාර දිගේ සුගුණාත් මමත් ගෙදර එන්නට වීමු. එක හමාරට පාසල් ඇරුණාට මොකෝ ගෙදරට එන විට සවස තුනටත් ළඟය. පාලම්, බෝක්කු යට රිංගා මාළු ඇල්ලීම වැනි අතරමඟ රාජකාරි බොහෝ වූ නිසා ඊට කලියෙන් ගෙදර එන්නට අපට හැකි වූයේ කලාතුරකින්ය.
ඔය සිලි සිලි නදින් ගලා බැස්සේ..වැසි කල අසිරිය කියාපාමිනි. ඇගේ ඉන රැළි එක පිට එක නැඟෙමින් තිබිණි. ඔය වතුරින් වැඩියක්ම ආඩම්බරව සිටියේ පහළ ඇළය. ඇළ පැන අප ගෙදරට ගොඩ වන විට අත්තම්මා පැදුරක් වියමින් සිටියාය. පැදුරු වියන්නට අත්තම්මා තරං සමතෙකු අහළ පහළ කිසි තැනක නොවීය. "අන්න හිඟුරල තම්බලෑති. කාහල්ලා.. කට්ට සම්බොලුත් ඇති මඩක්කුවේ" අප ආ බව දුටු ඇය කීවාය.
සුගුණාත් මමත් මඩුවේ වූ ලී බංකුවේ ඈඳි ගතිමු.
ගණිත ගුරුතුමා වස බැවින් අපි අත්තම්මා පත්තු කළ කුප්පි ලාම්පු එළිය වැටි කුඩා ලී මේසයේ දෙපස වාඩි ගෙන ගණන් හදන්නට පටන් ගතිමු. එක ගණනක් හෝ ඉවර කරගන්නට පෙර ඈතින් නොනවත්වා ඇසුණු වෙඩි හඬවල් පේළියකින් සුගුණාත් මමත් උඩ ගොස් බිම වැටුණු හැටි! "අත්තම්මා.." යාන්තමට සිහි එළවා ගත් මම කුස්සියට පැන ගතිමි. සුගුණාද මා පිටුපසය. "කොටි..කොටි" මට කීමට හැකි වුණේ එපමණකි. "ඇයි ඇයි කොහෙටද කොටි ඇවිත් තියෙන්නේ" අත්තම්මා මහ හඬින් ඇසුවාය. අත්ලෙන් ඇගෙ මුව වැසූ මම කුස්සියේ ලාම්පුව නිවා කුස්සියෙන් මෙපිට විවර ආලින්දය තුළින් ගෙට පැන ගතිමි. දොර වසා පොල්ලකින් තද කළ සුගුණා කුප්පි ලාම්පුවක් අතට ගත්තාය. "සොල්දරට නඟිමු. සොල්දරට නඟිමු" මම කීවෙමි.
සොල්දරයට නැඟීමට වූයේ පටු ඉනිමඟකි. හැංගිමුත්තන් කරන වෙලාවට සොල්දරයට නැඟීමටත් කිසිවෙකු සොල්දරය සොයාගන්නා බව හැඟී ගිය විට උළු ඉවත් කර වහලයට නැඟීමටත් ඉන් පසු දෙලුම් ගස දිගේ මිදුලට බැසීමටත් මම පුරුදු වී සිටියෙමි. සොල්දරයේ විශාල පෙට්ටගම් අහුරා තිබුණු අතර ඒ විශාල පෙට්ටගම්වල සීයාගේ කවි පොත්, මුවන්තිස්ස කුමාරයාගේ කතාව, බඩහැලිගේ කතාව වැනි කතා පොත් රාශියක් බහා තිබුණි.
සුගුණා ආ වේගයටම සොල්දරයට නැඟය නතර වුණේ. ඒත්, අත්තම්මා! අත්තම්මාව සොල්දරයට නග්ගන්නේ කෙසේද? "දැන් කොටි ළඟ ළඟ එනව ඇති" මට හැඬුම් එන්නට එයි. "සොල්දරේට නැඟගත්තොත් උන්ට එන්න බැරිවෙන්න ඉනිමඟ තල්ලු කර දාන්ඩ පුළුවන්" සුගුණා රහස් ස්වරයෙන් කියයි. "ඊට කලින් උන් එයි. අපි ඔක්කොම කපෝතියි."
"ඉක්මන් කරන්න. අපි එළියට පනිමු." දොර ලී දමා තද කොට වැසූ දොර ඇර ගත් අපි අත්තම්මාත් ඇදගෙන එළියට පැන්නෙමු. යළි නිසලභාවයට එළඹ ඇති රාත්‍රිය තුළින් අපට අපගේ හද ගැස්මත් ඇහෙන තරමි. 'ගිඩි ගිඩිස්.. ගිඩි ගිඩිස්' මගේ මුළු ඇඟම දහදියෙන් තෙත්ව ගොස් වැන්න. අවට සැලෙන තුරුපතක් පවා අපව බිය වැද්දීමට සමත් හැටි! අප දෙදෙනාට නම්, දුවන්නට හරි පුළුවනිය. ඒත් අත්තම්මා දමා යෑම කිසිසේත් කළ නොහැක.
"අපි වත්තට යමු" සුගුණා කියයි. "උන් වත්තට එයි" මම කියමි. කුඹුරු දෙසට පලා යෑම හැර වෙන විකල්පයක් නැත. රාත්‍රිය පුරා විසිර ගිය මන්දාලෝකය නොවන්නට අපට අපගේ මුහුණුවල ඡායාව පවා නොපෙනෙන සුලුය. කළුවරේ අත පත ගාමින් අපි වත්ත අයිනින් වැටි ඇළ කණ්ඩිය දිගේ සද්ද නොනගා ගමන්කරන්නට වීමු. කොයි මොහොතේ කොයි දෙසකින් උන් කඩා වදීදැයි මම දෙගිඩියාවෙන් පසු වීමි.
ටිකිරි මාමාගේ කුඹුර තෙක් ඉහළ නැඟුණු අපි එකවරම කඳු පාමුලින් මතු වූ එළි පේළියක් දැක ඉද්දගැසුවාක් මෙන් නැවතුණෙමු.
"උන් අපි දකියි" සුගුණා අඬන්නට වූවාය. "දැන් වෙන කරන්ඩ දෙයක් නෑ.. ගොයං ගස් යටට පාත්වෙමු" මම කීවෙමි. ටිකිරි මාමාගේ කුඹුරේ ගොයම් පැසී ඉහළ නැඟී තිබුණු අතර අපි තවත් අඩියකුදු නොතබා ගොයං ගස් යට වැතිර ගතිමු. කන්දෙන් බැස ආ එළි පේළි හෙල්මළු වෙල් ලියදි පසු කොට පහළට ඇදී එනු පෙනේ. මම හිස බිමටම හොවා ගතිමි. මගේ හිත එහෙත් බෙරයක් මෙන් හඬ නඟන හැටි! අප සිටි වෙල් ලියැද්දට ආවොත් ඔවුන් අපව දකිනු නිසැකය.
මොහොතකින් හිස ඔසවා බැලූ මට පෙණුණේ පහළට ඇදී ආ එළි පේළිය අප සිටි ඉසව්ව පසු කොට පහළටම ඇදී ගොස් ඇති බවය. මම සුගුණාට වැළමිටින් ඇන සැනසුම් සුසුමක් හෙලුවෙමි. තවත් වේලාවක් එහිම සිටි අපි යළිත් නිවස වෙත සේන්දු වුණෙමු.
රාත්‍රිය ගෙවී උදෑසන පහන් විය. සුගුණාත් මාත් දවල් වෙන තුරු නිදාගන්නට යෙදුණෙන් පහුව දා පාසල් යෑමක් නොවිණි. වෙනදා පාසල් යෑමට කෑ මොර තියන අත්තම්මාද එදින අපව ඇහැරුවේ නැත.
මුහුණ දෙවීමට පහළ ඇළ වෙත ගිය සුගුණාත් මාත් ගෙදර එන විට උදෑසනම කුඹුරට ආ ටිකිරි මාමා අපේ ගෙදර ඉස්තොප්පුවට වී බුලත් විටක් හපමින් උන්නේය. "පුතා අද පාන්දරින්ම ආවද?" අත්තම්මා කාරුංගා ගෙඩියක් රහින්නට සැරසෙමින් ඇසුවාය. "අනේ නැන්දම්මෙ, ඊයේ රෑ එක ලියැද්දකට ඌරො ඇවිත්. විනාසයි ගොයං ගස්." බුලත් කෙළ පහරක් ගැසීමට ඔහු කතාව නැවැත්වීය. "ඊයෙ ඊයෙමයි පැලට එන්ඩ බැරි වුණේ. ඊයෙ බිබිලෙ තිබ්බ සංගීතෙට ගියානෙ කොල්ලොත්. ඇහුණෙ නැද්ද එකරාමෙට මල් වෙඩි සද්දෙ"
Picture -
Sarah Afonso, from Lisbon, Portugal (1889 - 1983)