Saturday, January 8, 2022

චියැංගෝවේ දවස් 2

2022/01/05

දවල් කෑම කාල ඉතිරි වුණු පොඩ්ඩ බින් එකට දාන්න හදද්දි කාර්යාලය පිරිසිදු කරන නැන්දා 'මං ඒක අස්කරන්නම්' කියල කෑම එක ගන්න හැදුවා. මං අරන් යන්නෙ කෑම පොඩ්ඩක් නිසා එහෙමට ඒකෙ ඉතිරි වෙලා තිබුණෙත් නැහැ. 'නැහැ, මං අස් කරන්නම්' කියල කෑම එක නොදුන්නත්, මට එක පාරටම එයා කෑම කාලද නැද්ද කියල හිතුණා. 

'ඔයා කෑම කාලද නැන්දෙ?' මං ඇහුවා.

'අද ගේන්න මොකුත් තිබුණෙ නෑ' එයා කිව්වා.

මං වචනයක්වත් පිට කර ගන්න බැරුව එතැනම ගල් ගැහුණා.

එයා කිව්ව දේ ම්ං යටතෙ වැඩ කරන එයාගෙ වයසෙම තවත් දෙන්නෙකුට ඇහුණා.

'ෆොරෙන්සිකා ඩයට් කරනව කිව්ව මැඩම්' කියල ඒ දෙන්නා හක හක ගාල හිනා වුණා.

ඒ හිනාව ඊයම් බරුවක් වගේ මගේ හදවත ඇතුළටම කිඳා බැස්සා.

තවත් කෙනෙකුගෙ බඩගින්නට එහෙම හිනා වෙන්නෙ කොහොමද කියල මට නං කවමදාවත් තේරුම් ගන්න බැරි වෙයි කියල මට හිතුණා.

කාමරයෙන් පසුම්බිය ගත්තු මම කෙළින්ම නැවතුණේ ෂේන්යා ළඟ. අපි දෙන්නා එකතු වෙලා එයාගෙ අතේ පොඩි ගානක් තිබ්බා. ඒ ගාන දවස් දෙකකටවත් ඇති වෙයිද කියන්න මට තේරෙන් නෑ.

ෂේන්යාටවත් මටවත් එහෙමට සල්ලි නෑ. මිසිස් ට්‍රැට්වර් අපට ලැබෙන්න ඕන පඩිය නවත්තල හුඟක් කල්.

2022/01/06

අද මට විරුද්ධව පැවැත්වෙන විනය පරීක්ෂණයේ දොළොස්වැනි දවස. මිසිස් ට්‍රැට්වර්ගෙ ඉල්ලීම මත මූලික විමර්ශනයක් පවත්වල, ඒකෙදි වරදක් කළ බවට කිසිම සාක්ෂියක් නැතුව තියෙද්දිත් චියැංගෝවේ මහජන සේවා කොමිසම බරපතල චෝදනා තුනක් සහිත චෝදනා පත්‍රයක් නිකුත් කළා. ගොඩක් අය දීර්ඝ උත්තරයක් නොලියා විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලන්න කිව්වත්, ෂේන්යාත් මාත් ඒකට දිග උත්තරයක් ලියනවා.. ඒ ඇයි කිව්වොත්, මූලික විමර්ශනයේදී අපට විරුද්ධව කිසිම පිළිගත හැකි සාක්ෂියක් නොතිබුණු බව පෙන්නන්න.

අපි උත්තරයක් ලිව්වම මිසිස් ට්‍රැට්වර්ට පුළුවන් ආයතනයේ ප්‍රධානියාගේ බලය යටතේ ඒකට නිරීක්ෂණ සහ නිර්දේශ සපයන්න.. ඔන්න ඔහොම තිබ්බ චෝදනා තුන ඊළඟට චෝදනා හතරක් වෙනවා.. 

චෝදනා දෙකක් වැඩසටහනක් ගැනයි. චෙදනා එකක් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමීම ගැනයි. හතරවැනි චෝදනාව කලින් චෙදනාවල දැක්වෙන ක්‍රියා සිද්ධ කිරීමෙන් චියැංගෝ රාජ්‍ය සේවය අපකීර්තියට ලක් කළා කියලයි.

මුලින් කිව්ව වැඩසටහන ගැන චෝදනාවට මූලික විමර්ශන කාණ්ඩය කෙටුම්පත් කරල තිබුණෙ සුළු චෝදනාවක් විතරයි. ඒකට විනය පරීක්ෂණයක් ඕනෑ නෑ කියල මහජන රාජ්‍ය සේවා ක්මිසම තීරණය කරලයි තිබුණෙ. ඒ=යාල කිව්ව, එයාලට පරික්ෂා කරන්න පුළුවන් බරපතල චෝදනා විතරයි කියල. 2019 අග වෙන කොට, සුළු චෝදනාවෙන් අප නිදොස් කොට නිදහස් කරන්න හරි සුදුසු වෙනත් දඬුවමක් දෙන්න හරි අදාළ චෝදනා පත්‍රය මිසිස් ට්‍රැට්වර්ට එවන්නයි හැමදේම සූදානම් වෙලා තිබුණේ.

මිසිස් ට්‍රැට්වර් කවදාවත් ෂේන්යාවත් මාවත් නොදොස් කොට නිදහස් කරයිද? මරණ දඬුවම වුණත් දෙයි.. අපටම සිද්ධ වුණා මහජන සේවා කොමිසම ඉදිරියේ ඉල්ලන්න, අපට තියෙන සුළු චෝදනාව බරපතල චෝදනාවක් විදිහට කෙටුම්පත් කරන්නය කියල. අන්න ඔහොමයි සුළු චෝදනාව බරපතල වුණේ.. ඊට පස්සෙ ඒ ගැන දන්න නිලධාරින් එහෙට මෙහෙට මාරු වුණා. අලුත් කොමිසමක් පත් වුණා.. මිසිස් ට්‍රැට්වර්ගෙ ඉල්ලීම මත තිබුණු එක සුළු චෝදනාව බරපතල චෝදනා දෙකක්ම වුණා..

අද විභාගයට ගත්තෙ, මේ කියන වැඩසටහන සම්බන්ධ චෝදනාව. 

හොඳට අඩුපාඩුවක් නැතුව කෙරුණු වැඩසටහනකට පස්සෙ, ඒ වැඩසටහන ගැන පවරපු රාජකාරිය ඉෂ්ට කළේ නෑ කියල විනය කටයුත්තක් පටන් ගන්න එක! මටම හිතෙනවා.. දෙවියනේ මං කොතරම් වාසනාවන්තද ඒ වගේ පවක් නොකරන්න කියල..

මිසිස් ට්‍රැට්වර් ෂේන්යාටත් මටත් පවරලා තිබුණෙ, අර වැඩසටහන සංවිධානය කරන්න කමිටුවක් පත් කරන්න කියල. ඒක අපේ කාර්යාලයේ, අපේ ශාඛාවට පේන දුරින් පැවැත්වුණු වැඩසටහනක්.. අනෙක් අතට ඒකෙ සංවිධානය කරන්න තරං සුවිශේෂී කටයුත්තක් තිබුණේ නැහැ.. වැඩසටහන තිබුණෙ කාර්යාල ඇතුළේ නිලධාරින් විස්සකට විතරයි..

ඉතින් ෂේන්යාත් මාත් අර කමිටුවට මිස්ටර් බල්ලාත් මිසිස් නෙවාඩාත් මිසිස් නිම්කුලාත් මිස් ඇටන්බර්ග්වත් පත් කරල අවශ්‍ය උපදෙස් දුන්නේ වාචිකවයි. වාචිකව කමිටුවක් පත් කරන එක මොනතරං අඥාන කටයුත්තක්ද කියල හිතෙනව නේද..? ඒත් මීට කලින් කවමදාවත්ම ෂේන්යාවත් මමවත් මිනිස්සු ඉතාම නරක විදිහට තවත් කෙනෙක්ව විනාශ කරන්න වැඩ කරන හැටි දැකල තිබුණෙ නෑ..!

දැන් කොහොමද වාචිකව කමිටුව පත් කළා කියල ඔප්පු කරන්නේ? ඒත් දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ ජංගම දුරකථනයෙන් කළ එකම පටිගත කිරීම ඒකයි කියල හිතා ගන්නවත් පුළුවන්ද?

චියැංගෙ රාජ්‍යයේ සාක්ෂි පිළිබඳ විශේෂ විධිවිධාන පනත අනුව මෙවැනි පටිගත කිරීමක් විනිශ්චය සභාවකට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා.. 

ඉතිං මම ඉතාම සතුටින් හඬපටය සීඩී තැටියකට දාල මූලික විමර්ශන කමිටුවට භාර දුන්නා.. ඒත් මූලික විමර්ශන වාර්තාව ගත්තම මගේ ප්‍රකාශයේ ඇරෙන්න සීඩී පටයක් ගැන කිසිම තැනෙක සටහනක් තිබුණෙ නෑ වගේම සීඩී තැටිය විමර්ශන වාර්තාවට අමුණලා තිබුණෙත් නැහැ. 

මූලික විමර්ශන නිලධාරියා විධිමත් විනය පරීක්ෂණයට ඇවිත් කියනවා 'දුන්න සීඩී පටිය චියැංගෝවේ පරිපාලන අමාත්‍යාංශයේ පරිගණකවල වැඩ කළේ නැති නිසා එය විසි කර දැම්ම බව'. මං මගේ නීතිඥ මහතාගෙන් අහනවා, මෙයාලට දඬුවම් ලැබෙන්නෙ කොහෙන්ද කියල.. 'සමහරවිට දෙවියන්වහන්සේගෙන් වෙන්න පුළුවන්..' ඔහු දෑස් ලොකු කරන් මට කියනවා..

දෙවියන් වහන්සේ ගැනවත් කර්මය ගැනවත් මට දැන් ලොකු විශ්වාසයක් නැහැ.. මේ සිද්ධිය වසර 8ක් තිස්සේ ඇදෙන්න වෙලා තියෙන නිසා, මං දන්නේ මං කර්මය ඉක්මවා යන්න ඕනෑ කියල විතරයි.

අද සාක්ෂියට කැඳෙව්වේ මිසිස් ට්‍රැට්වර්ගේ සුවච කීකරු සුනඛ මිස්ටර් බල්ලා. එයා මිසිස් ට්‍රැට්වර් එක්ක අවුරුදු 18ක් වැඩ කරල තියෙන වයස අවුරුදු 50ක විතර මනුස්සයෙක්. රස්සාවක් කරන ගමන්ම 2017දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙනවා. 

එයා අර වැඩසටහන සංවිධානය කරන්න ෂේන්යාත් මාත් පත් කළ කමිටුවේ සාමාජිකයෙක්.

මිස්ටර් බල්ලා ෂේන්යාටත් මටත් විරුද්ධව මහා පරිමාණයේ බොරු කියනවා. එයා හරි සැහැල්ලුවෙන් කියනවා එයාව එහෙම කමිටුවකට පත් කළේ නැහැ කියල. 

එයාලව කමිටුවට පත් කරල, ඒ කමිටුව පවරපු ව්ඩෙත් හරියට කරල, වැඩසටහනත් හරියට පැවැත්තුවට පස්සෙ, මිසිස් ට්‍රැට්වර් පටන් ගත්ත විනය කටයුත්තට ඇවිල්ලා, අදාළ පත් වීම අනුව අදාළ වැඩ කරපු අයම කියනවා, තමාව කමිටුවකට පත් කළේ නැතැය, තමා කිසි වැඩක් කළේ නැතය කියල!

ඉතින් මේ බොරු සාක්ෂිවලින් පස්සෙ, මිස්ටර් බල්ලාට මිසිස් ට්‍රැට්වර්, ඔෆිස් එකේ විධායක තනතුරක් හදල දෙනවා.. වසංගතයෙන් රට වහන කල්, මිසිස් ට්‍රැට්වර් එයාව පුහුණු වෙන්නය කියල ලෝකෙ වටේ සංචාරවලට යවනවා. එයාට ඒකෙන් ලක්ෂ විස්සක විතර දීමනා අතට ලැබෙනවා. ඒ විතරද, එයා වැඩ දවස් පහෙන් වැඩ දවස් 3ක් විතරයි වැඩට එන්නෙ!

අද මා වෙනුවෙන් පරීක්ෂණයට පෙනී ඉන්න නීතීඥ මහත්තයා, මිස්ටර් බල්ලාගෙන් අහනවා,

'මේ වැඩසටහනින් පස්සෙ අවුරුදු දෙකේ, මිසිස් ට්‍රැට්වර් තමුන්ව රටවල් කීයකට යැව්වද කියල.."

"සිංගප්පූරුවට යැව්වා වගේ මතකයි.. වෙන නං මතකයක් නෑ කියල.."

ඒක කියන්නත් ලොකූ වටයක් කැරකෙනවා..

මගේ නීතිඥ මහත්මයා එතකොට මෙන්න මෙහෙම කියනවා,

"අපට නං චියැංගෝව ඇතුළෙ ට්‍රිප් එකක් ගියත් හොඳට මතකයි.. තමුන්ට මතක මිසිස් ට්‍රැට්වර්ට වාසි දේවල් විතරයි. තමුන්ට වෙන රටකට ගියත් මතක නෑ නේද?" කියලා.. 

ඒකට පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා ඇතුළු මුළු සබාවටම හිනා යනවා.. මිස්ටර් බල්ලා ඇඹරෙන්න ගන්නවා..

"මහත්මයා මට ටික වෙලාවක් දෙන්නකෝ මතක් කරන්න.. මම කොරියාවෙ මාසයක් ගත කළා ඇමරිකාවේ සති තුනක් තව ජපානයේ..." රටවල් ලැයිස්තුවක්ම එළියට එනවා..

'තමුන්ට තව බොරු සාක්ෂියක් දෙන්න ලැබුණොත්, රටවල් දෙසිය ගානම කවර් කරගන්න පුළුවන් වෙයි නේද?' මගේ නීතීඥ මහත්මයාත් සභාවත් හිනා වෙනවා..

මගේ ඇතුළාන්තය ඒ හිනා අස්සෙ දෙදරනවා වගේ මට දැනෙනවා.

2022/01/07

මං පොඩි කාලෙ 'බොරු සාක්කි දීම' කියල රුසියානු ළමා කතා පොතක් කියවල තියෙනවා.. ඒත් මට ඒක එතකොට ලොකුවට තේරුණේ නැහැ.. ඒත් ඊයේ හිතේ ඇති වුණු කම්පාව අදත් ඒ විදිහමයි..

ඒ අතරෙ මං දකිනවා, මිස්ටර් බල්ලා යහපත් කටයුතු කරන යහපත වෙනුවෙන් පෙනී සිටින සාධාරණය වෙනුවෙන් සටන් වදින නීතිඥ මහත්මයෙකුගෙයි නීතීඥ මහත්මියකගෙයි ෆේස්බුක් පෝස්ට්වලට කමෙන්ට්ස් දානව. එයා, බොරු සාක්ෂි දීම නිසා අහිංසක මනුස්සයෙක්ගෙ ජීවිතයට වෙන්න පුළුවන් අගතිය ගැන ලියපු පෝස්ට් එකක් යටින්, එය බෙදාගත්තාට ස්තූතිය පළ කරනවා.. 

2021/01/08

මගේ අම්මා ආසියානු සම්භවයක් තියෙන කෙනෙක් නිසාත් අම්මත් තාත්තත් බෞද්ධ නිසාත් ආසියානු සාහිත්‍ය, කලා හා දර්ශන කෘති අපේ ගෙදර ඕනෑ තරං. ඒ අතර තිබුණ එක පොතක් තමයි, අලගියවන්න මුකවෙටිතුමන්ගෙ 'සුභාෂිතය'.

ඒකෙ කවි දෙකක් තියෙනවා මෙන්න මෙහෙම:

පරසතු දෙයක් උදුරන ලෙසට කර ලොල
වෙර දුදනන් පැවසූ නෙක බොරු තෙපුල
තිර සර මහතුන්ගෙ සිත නොරඳයි නිමල
සුරතුර විමන වෙද රිටුනට කවර කල

(අසත්පුරුෂ දුර්ජනයන් අන් සන්තක දෙයක් ලබා ගැනීම සඳහා බොරු වචන පැවසුවද ඥානවන්ත පුද්ගලයන් ඒවා අසා සිත අසතුටට පත් කර නොගනී. ඒ කෙසේද යත්, කල්ප වෘක්ෂය කාක්කන්ට කවර කාලයක්වත් වාසස්ථානයක් නොවන බැවිනි.)

බලැත් තවුන්හට බන් වෙරෙහි නොනැවත
විපත් පැමිණියත් ඉනි කිසි නිගා නැත
මහත් විදුරු ගිරි බිතකට වැද අනුත
සුනත් දළ ඇතුට ලොව අපහසෙක් නැත

(බලවතුන් හට නොකඩවා කරනු ලබනා වෛරයෙහිදී විපතක් අත් වුවත් ඉන් කිසි නින්දාවක් නොපැමිණේ. විශාල වජ්‍ර පර්වතයකට ඇන දළ බිඳී ගියත් ඇතාට ලෝකයෙන් ලැබෙන අපහාසයක් නැත්තේය.)
______________________________
අජාන් බ්‍රහ්මවංස හාමුදුරුවො කියනවා 'අපද්‍රව්‍ය' ගැන කතාවක්. අපද්‍රව්‍ය ලැබෙන්න ලැබෙන්න පස සරු වෙනවා.. මල් උයන් හැදෙන්නෙ සරු පසෙක තමයි...  

Wednesday, January 5, 2022

නින්ද ගිය රියදුරෙකු නිසා වෙන්ව ගිය මිතුරාට

දේදුන්න සත්කඩට කැඩුණා ලේ බිංදු එහි මතුව තිබුණා යන්න යන බව කියන්නටවත් බැරි තරං ගිනි අව්ව වැටුණා උදෑසන මහ රැයට පෙරළා යොවුන් හදවත නිසල වූවා කමිස අත මත මුදුව තැවරුණ දුවගෙ හාදුවෙ සුවඳ දැනුණා තාත්තා හින්දාම මොහොතක් ඇස් පියන්නට ලෝබ හිතුණා දුවේ ඔබ මවු අතේ තියලා ඈත යන්නට ලෝබ හිතුණා.....................

මැසිමටම රළු දෑත ගෙවුණා
අතේ ධන රේඛාව මැකුණා
නයිට් ඩියුටිය ඇරී එද්දී
දන්නෙ නැතුවම දෑස පියුණා

ඒත් මල්ලියෙ උඹට ඩිංගක් නිදන් ඉඳලා එන්න තිබුණා

Monday, January 3, 2022

චියැංගෝවේ දවස් 1


'අඳුරු කාලවල යමක් ලියැවේද.. ඒ අඳුරු කාලය ගැනයි..'. එහෙම කිව්වෙ කවුද කියල මට මේ වෙලාවෙ මතක නැහැ. නෝරාගේ ඔසී ඩයරියේ ඉන්න මහන්තත්තකාර මිනිස්සු ගැන කියෙව්වාම මට හිතුණා.. චියැංගෝවේ ගෙවෙන දින ගැන මොනව හරි ලියන්න ඕනි කියල.

2022.01.01

උදේ පාන්දරම තැපැල්කරුගේ රත්තරන් සීනුව හැඬවුණා. දුවල ගිහින් බලන කොට, බලන් හිටපු රස්සාවකට ඉන්ටවීව් කෝල් කරපු ලියුමක්. ඒක බලන් හිටපු රස්සාවකට ලියුමක්.
දෙපාරක්ම ලියැවුණා. උනන්දුව වැඩිකමට.

දැන් ඉතින් ඔළුව උඩ ලේනෙක් පනිනව වගේ. වටේ සමනල්ලු ඉගිලෙනව වගේ.. ස්ට්‍රෙස්..

2022.01.02

2022 හැම දවසක්ම සැලසුම් සහගතයි. ඒක වෙනස් කරන්න කොහොමටවත් බැහැ. කොටින්ම කිව්වොත්, දුක්වෙන්නවත් ස්ට්‍රෙස් ගන්නවත් වෙලාවක් නැහැ.

ඒත් මං මේ අවුරුද්දෙ ළමා කතා පොතක් පළ කරන්නයි ඉන්නෙ. ඒකට ඕනෑ චිත්‍ර 17ක්. මුලින්ම විංගිගෙනුයි එච් ආර් ගෙනුයි අහන්න හිතුණත්.. හොඳට ගෙවන්නෙ නැතිව කාලය ඉල්ලන්න අමාරුයි.

ඉතිමම ම අඳිනවා.. ඒක හරිම විනෝදයි.
ඒත් දැන් දැන් බබා ඇහැරෙයි කියල හිතෙන අම්මෙක් නම් ඒ චිත්‍රය අඳින්නේ.., ඒකෙ කිසිම විනෝදයක් නැහැ.

ස්ට්‍රෙස්.. :))))

2022.01.03

අද උදෙන්ම රස්සාවට ගියා.
චියැංගෝවේ රජයේ දෙපාර්තමේන්තුවල ලොක්කන්ට තියෙන්නෙ පුදුමාකාර ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යයෙන් එයාලගෙ ඔළු නැව්වල රුවල් වගෙයි පිම්බිලා තියෙන්නෙ. එයාලට පුළුවන් තමන් කැමති කැමති විදිහට මහජන මුදල් නාස්ති කරන්න.. තමන් අකැමති අයව තමන් කැමති කැමති විදිහට පීඩාවට පත්කරන්න. ඒවා ගැන හොයන්න අනිත් අයටත් වෙලාවක් නෑ.

ඉතිං සුබ අලුත් අවුරුද්දක් කියන්නත් කලියෙන්, ෂේන්යාගේත් මගෙත් මෙස වලට ආවා 2021 මුල් මාස හයේ කාර්ය සාධනය. ඒකෙ කාර්යක්ෂමතාව මදි කියල මිසිස් ජුලියානා ලියල තිබුණා. මිසිස් ට්‍රැට්වර් ඒක අනුමත කරල තිබුණා. ෂේන්යාත් මාත් මූණෙන් මූණ බලා ගත්තා. 'බෝලෙ උස්සල දුන්නම ඩෑෂ් එක ගහලනෙ' ඒක දැක්ක මිස්ටර් පීටරුත් හිනා වුණා.

මිසිස් ජුලියානාට පහුගිය දවස්වල විෂය ගැන ශ්ෂ්‍යත්වයක් ලැබිල තිබුණා. ඒක ඉතිං නිර්දේශ කළේ මිසිස් ට්‍රැට්වර්. ඒගොල්ලො ඒ තනතුරුවලට ආවෙ විෂය ගැන මොනම දැනුමක්වත් නැතුවයි. ඊටපස්සෙ ඉතිං ලොකූ පඩිගන්න ගමන් අපෙන්ම ඉගෙන ගත්තා.

මොනව කරන්නද? චියැංගෝවේ තනතුරු ලැබුණෙ වයසටයි.

වසරේ සම්පූර්ණ කරන්න ගිවිසගත්තු ඉල්ලක්ක ඔක්කොම සම්පූර්ණ කරල තියෙද්දිත්, දැනුම මදි, කාර්යක්ෂමතාව මදි වගේ දේවල් ලියල එයාල හුඟක් සතුටු වුණා.

මං කිව්වනෙ, මට දුක් වෙන්න වෙලාවක් නෑ කියල. මම ෆයිල් 59ක වැඩ කළා. ඇතතටම කිව්වොත්, ඒකට වෙලාව හොයාගන්න මට අලුත් අවුරුද්දෙ බෞද්ධ දේශනය මඟ හරින්න සිද්ධ වුණා. ඒකෙන් මුව ආවරණය ගලවල මහා පිරිසක් මැද පිරිත් වතුර බොන්න අකැමැති මට ඒකට අමුතුවෙන් හේතු කාරණා කියන්න සිද්ධ වුණේ නැහැ. මිසි ට්‍රැට්වරුත් මිසිස් ජුලියානාත් මුව ආවරණයත් ගලවල කට්ටිය මැද පිරිත් පැන් බිව්වේ, එයාලගෙ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න වෙන්න ඇති.

මම හවස තීසිස් එකේ තුන්වැනි පරිච්ඡේදයේ භාෂා සංස්කරණය ඉවර කළා.

දැන් වෙලාව 7.30 යි.
කෑම අරන් යනව කඩෙන්.

2022.01.04

අද උදේ පාන්දරම ඉග්ෂූ හන්දියේදී මහා රණ්ඩුවක් ඇති වුණා. බස් එකේ කොන්දොස්තර, දුර ගමන් බසයක් නිසා ළඟ අයට බස් එකට නගින්න එපා' කිව්ව කියල, එපා කියද්දිත් බස් එකට නැඟපු කෙනෙක් පාපුවරුවේ හිටපු කොන්දොස්තරට පයින් ගැහුවා.

එයා එතැන වැටෙද්දි, තවත් මගියෙක්, කොන්දොස්තරට ගහපු මගියට ගැහුවා.

එයාගෙ ඔළුවෙන් ලේ එන්න ගත්තා.

කවුරුවත් දැනන් හිටියෙ නැහැ, අන්තිමට ගැහුවෙ කවුද කියල.
පොලිසිය ඇවිත් බස් එකයි කොන්දොස්තරයි පොලිසියට ගෙනිච්චා.

මමයි බස් එකේ හිටිය අනිත් මඟීන් ඔක්කොමයි ඉග්ෂූ හන්දියේ අතරමං වුණා.

ඉතිං එක එක්කෙනා තම තමන්ගේ ගමනාන්තයට එක එක විදි හොයාගත්තා.

එතැන හිටගෙන ඉද්දි මට දැනුණෙ, මගෙ ඔළුවයි පපුවයි හිතයි ඔක්කොම රිදෙන්නා වගෙයි. බස් ඔක්කොම තමන්ට දරා ගන්න බැරිතරං මිනිස්සු පුරවගෙන ආවා.

චියැංගෝවේ මිනිස්සු හිරවෙලා ගමන් බිමන් යනවා. වැඩට යනවා. ඒ අතරෙ තමන්ගෙ පීඩිත ජීවිතය පුපුරලා ගිහින් තම තමන්ම ගහ ගන්නවා...

මං, 'උපන් රට' කියන්නෙ 'අම්මා' වගේ කියල ඉස්කෝලෙදි ඉගෙනගත්තට, ඇත්තටම මට දැන් ඒක දැනෙන්නෙ, වතුර උගුරක්වත් තනියම බොන්න බැරි දරුවෙකු වගෙයි. හරිම අසරණයි. . ඒ දරුවව අතට අරගෙන සනසන්න මට පුළුවන්ද?

මට කරන්න පුළුවන්, එකම දෙය- මොනතරං කරදර ආවත් පුළුවන් තරං හොඳින් වැඩ කරන එක විතරමයි.

______________________

කාර්ය සාධනේ ලියපු අකාර්යක්ෂමතාව ගැන ෂේන්යා, මිසිස් ජුලියානාව ප්‍රශ්න කළා කියල, මිසිස් ජුලියානා ෂේන්යාව පේටන්ට් එකට මාරු කරනව කියල කිව්වා..

එයා ඊයේ පිරිත් පැන් බීල ප්‍රාර්ථනා කළේ එයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලනේ.

___________________

'දරුවො, තරුණ කාලෙ, හොඳම කාලෙ මෙතනට කැප කරන්න එපා' කියල මගෙ හිතේ කොණක ඉඳල කවුදෝ කියන්නා වගේ මට ඇහුණා.

පවුලූෂාට මං ආදරේ නිසා, මං කවදාවත් හිතන් නෑ එයා පිඟන් හෝදන තැනක, උදුන් දල්වන තැනක වැඩ කරන්න ඕනි කියල.
පවුලූෂා කෑම කඩේක වැඩ කරන්න ඕනිද මිත්‍රවරුනි?
එයාව පාසලෙන් එළියට දැම්මෙ එයාගෙ වරදින්ද?