Saturday, January 30, 2021

නොවැස්කා හෙවත් කඳුකර දැරිය


පාර්යා සිටියේ කෘත්‍රිම රතුරෝස මලක් මේසයේ එහෙටත් මෙහෙටත් පෙරළමිනි. ඇයට එය ඇගෙන් කැමැත්ත ඇසූ තරුණයාට දීමට අවශ්‍ය විය. නගරයේ සංගීත පන්තියට යන විට ඇයට ඔහු හමු වෙයි.

පාර්යාගේ සිහින සිතුවිලි ගැන නොවැස්කා උනන්දුවක් නොදැක්වුවාය. පාර්යාගෙන් කැමැත්ත ඉල්ලූ තරුණයා කිසිදු හේතුවක් නැතිවම නොවැස්කා අකැමති එකෙකු විය. අනෙක් අතට නොවැස්කාගේ සංගීත පන්ති ගමනත් සති කීපෙකට පෙර, අහිංසක ලෙස, නැවතී තිබිණ. ඒ අහවල් එකක් නිසා නොව, බිලාවල් රාගය නිසාය. බිලාවල් රාගයේ ස්වර ඛණ්ඩයක් වූ ස,රි,ම,ප,නි, ආසන්න වචන දෙකකට හැඩ ගස්වා නොවැස්කා අසල උන් ෂේන්යා 'ගයන්නට' වෙත්ම නොවැස්කාට 'බකස්' ගා සිනා ගියාය. එම සිනාවෙන් සංගීත ගුරුතුමිය පරල විය. තමුන් සිනා වූයේ මගේ ඇඳුමට නොවේදැයි ඇය කෑගසන්නට වූ අතර නොවැස්කා වැන්නවුන්ට සරිගම උගන්වන්න්ට තමා සූදානම් නැතැයි ඇය පැවසුවේ හැඬෙන්නට ඔන්න මෙන්න තියාය. අවසානයේ සරම සාරියට මාරු වූ අතර, තමා සිනා වූයේ ඇඳුමට යැයි පිළිගැනීම නොවැස්කාට පහසු විය.

නොවැස්කා චිත්‍ර පන්තියට තල්ලු වීමට ආසන්න හේතුව එය විය. ඔය දෙකින් එකකටවත් බුහුටි නොවූ ඇය, ඒ ගැන කුමට වද විය යුතුද? නොහැකි වූ 'මුත්, තමා කැමති දේ කිරීමට නොවැස්කා කිසිවිටෙකත් පැකිලුණේ නැත. සංගීතය බැරි වුණාට ඇය, ඇය අත වූ මෙලෝඩිකාවට පැය ගණන් පිම්බාය. ඒවා ඇගේම තාල වූ අතර රචකයාද සංගීතඥයාද ඇයම විය. සංගීතය එසේ වූ කල, චිත්‍ර යනු අන් කවරක්ද? තමන්ට ඕනෑ ඕනෑ හැටියට පාට ඇතිල්ලීමය. හිතේ තාලයට අනුව ඇය එය කළාය. පාර්යා රෝස මලක් ඒ මේ අත පෙරළමින් සිටින අතරේද ඇය කළේ එයය. 

පාර්යාගේ රෝස මල දිගේද කැන්වසයේ තැවරි වර්ණ රේඛා දිගේද, අනතුරුව, ගැඹුරෙන් ගැඹුරටද නොවැස්කාගේ සිතිවිලි පියඹා ගියේය. චිත්‍රවලට කවදත් මෙය කළ හැකිය. ප්‍රේමය යනු නිල් අහස වෙත නිදහසේ පියා විහිදුවීමකැයි ඇතැම්හු සිතා සිටිති. එහෙත්, ඉනික්බිති පැමිණෙන විරහව, ඇවිදීමට දෙපා ඇති 'මුත් ඇවිදගනු නොහී අබ්බගාතව සිටීමක් වැනිය.

නොවැස්කා රාත්‍රී අහසේ තරු අතර මෙවැනි අබ්බගාතයන් ඕනෑතරං දැක ඇත. හැඩ සදිසි තාරුකා වදුලු ඕනෑ තරං ඇත. ඩොම්සේ කඳු යායට මෙපිට කෙත්යායෙහි සිය බලන විට එවැනි තාරුකා වදුලු ඕනෑ තරං හමු විය හැක. නොවැස්කා තම චිත්‍රයේ පාර්යා කහ පාටටත් තමාව කළු පාටටත් පාට කරන්නට වූවාය.

පාර්යා මේ අතර පන්තියට අතුරුදහන් විය. 

© ෂසිකා අමාලි මුණසිංහ
Painting - Joseph Wright (1734 - 1797)

Wednesday, January 27, 2021

'කටුවක්ද?'


බිණීමට කිසිත් නොහැකිව
පැය තිස් හතර දහසකුත් පන්සිය හැටකුත්
හිඳීමි මම පාෂාණභූතව මෙන්
පපුව හරි මැද හිරව තෙරපෙමින් නිතර
දැවෙන ඊයම් බරුව
ගලවන්නට තැත් දරන හැම විටම
සම් මස් ඉරා ඇතුළටම කිමිදිණි

ශාන්ත ජෝසප් දෙව් මැඳුර
හිරු එළිය හා මුසුවු පස පැහැයෙන්
මා පිටුපසින් උස්ව නැඟී සිටින්නට වූයෙන්
මම කතා කරන්නට වුණෙමි
මට හිමි සන් බසින්

එකම එක දෙයකි, මා බිය වූ, එය
හිස නවා ගෙන සෝබරව
පෙන්වන විට පපුව මැද
ඇය අල්ලාගෙන මා අත
'කටුවක්ද?'
ඇසුවාය

'බය වෙන්න එපා
ඇරිල යයි ඒක කවද හරි දවසක'
හිස සෙල වූ නමුත්
අවිශ්වාසය තවම මට එය

- ෂසිකා අමාලි මුණසිංහ
Picture - Man Ray (Emmanuel Radnitzky, American, 1890-1976): Alice Rahon portrait, 1930.

Tuesday, January 26, 2021

ලියා එවනවද මගෙ නම?


සඳ


සඳ කියන්නේ ගමන් සගයෙකි
සතුටින් පෙළෙන සාංකාවෙන් වෙළෙන
කැකෑරෙන පීඩාවෙන් රුදා දෙන
තත්පරෙයෙනුත් කොටසක
මා දරා සිටින

වදුලුවල ඇවිද යන විටද
නගරවල ඇවිද යන විටද
ඉපැදෙන විටද මියෙන විටද
සංක්‍රාන්තික සමයකද
අත අත නො හැර සිටින

විතැන් වෙන මතක පෙති ගෙන
සිතින් හිඳ සිටිමි අරලියා ගස යට
හඳ මුළු අහස අරාගෙන 
මා මඳ රැසින වසා ගෙන!

සඳ කියන්නේ ගමන් සගයෙකි

- ෂසිකා අමාලි මුණසිංහ
Picture - Ransirimal Fernando

Tuesday, January 19, 2021

දනිමි මම ඇගේ සිනහව


මා නවකතාකාරියක නොවෙන්නට
එය හිස් ගොඩනැඟිල්ලක්ව පැවතුණි
දැන් මට පෙනේ එහි
ඩාලියා සකසන හැටි ලිපි
මුව වසාගෙන මුළුමනින්

එහෙත් මම දනිමි
රෝස පැහැ සායම් ගැල්වූ
ඈ සිහින් දෙතොල මත
මඳ සිනාවක් රැඳී ඇති

පියෝනී මලක් මෙන් ඇගේ හදවත
සියලු පෙති විහිදුවා ඇති 

Picture - Krzysztof Lukasiewicz. Polish, Kirsten Dunst