Sunday, February 27, 2022

තේන් නදියේ ගලන්නේ අද


'Ukraine official says about 3,500 Russian troops killed or injured.' Reuters

තේන් නදියේ ගලන්නේ අද
වතුර නොව රතු ලෙයයි සකිසඳ
හීතලෙන් ගල් ගැසී ඇත තද
ලෙනින් නිදනා සොහොන් ගර්භෙද

Shasika Amali Munasinghe
Painting - Vera fork, Ukrainian Artist

Friday, February 25, 2022

කුඩා සිප්පි කටුවක්ව

 


ඔබ නොරිසි පෙම
විසි කර මහ මුහුදට
කඩල ගොටුවක් ගෙන
ඇවිද යන විට වෙරළත 
කුඩා සිප්පි කටුවක්ව 
දැනෙයි ඔබ මා දෙපයට 

Shasika Amali Munasinghe 
Picture - Tokanobu II, Japanese Artist 

Monday, February 21, 2022

වේදනාවේ මහ පොළොව කැණ


වේදනාවේ මහ පොළොව කැණ
වේදනා මල් පැළ සිටෙව්වෙමි
වේදනා මල් එහි පිපුණු කල
එපා යැයි මහ පොළොවෙ හැපුණෙමි

මලානික හිරු මියෙන මොහොතක
අලංකාරයි කියා ඔල්වර නඟන මිනිසුනි
ආයුබෝවන් කියා හැම විට
හමුවන්ට මිස සමුගන්ට බැරි

මහා සයුරට වැටුණු දිය බිඳ
සොයා ගන්නට නොහැකි පරිදිම - ගිලන් වෙයි හද
වෙන්ව යන අය සොයා ගන්නට
සසර තුළ යළි අපට හැකි වෙද???

Shasika Amali Munasinghe
Picture - Aleksandr Golovin, Russian, Neskuchny Garden

Sunday, February 20, 2022

ඇයි ඉතින් හිනැහෙන්නෙ?


ඇයි ඉතින් හිනැහෙන්නෙ
ඇයි ඉතින් හිනැහෙන්නෙ
කඳුළු පිරි ඇස් අගින්
යුවතියේ...
ඇයි ඉතින් හිනැහෙන්නෙ

හොඳම කරනා ලොවෙන්
හොඳක් නැති යම් විටදි
කඳුළු බිඳුවක් ඇවිත්
වැළලුණත් මිහිමතදි
බයාදුව නිවටයෙකු ලෙසින් නොසිටිය පරිදි
කඳුළු මැද හිනා වෙන්නට - වරම් ලැබු යුවති

දිගු කළත් කටු පිරුණු
අකුල් නිති ඈ වෙතට
පිපාසය ඇති තැනට
හැලූවත් විස දියම
දෙපා නොතිබූ බැවින් අයුත වෙත කිසි විටෙක
කඳුළු පිරි ඇස් වුණත් - සිනා උපදී නිබඳ

Shasika Amali Munasinghe
Picture - James Jebusa Shannon, American, 1862 - 1923

නොපෙනෙන දුරක ගිහිල්ලා ඔබ ඉන්නවාද දන් නෑ


ඒ ශෝකයේ වෙළීලා තරු නිදනවාද දන් නෑ
අහසින් කඩා වැටීලා ගන කලුවරට විඩා නෑ
නොපෙනෙන දුරක ගිහිල්ලා ඔබ ඉන්නවාද දන් නෑ
කිසිකෙනෙකු නොඑන උයනක මල් පිපුණාට පලක් නෑ

ඔබ මන්ද්‍ර ස්වරය ඇවිලී හද සිතාරේ බිඳේවී
ගොලු බසින් කිව්ව ආලය මුණ නොගැසීම මියේවී
මං තනිව කවි ලියූවත් පෙණ බුබුළු සේ බිඳේවී
දිය ගඟුල ආදරේ නුඹ නොදැකීම අද සිඳේවී

ඒ ශෝකයේ වෙළීලා තරු නිදනවාද දන් නෑ!

Shasika Amali Munasinghe
Picture- Moussin Irjan, Russian

Thursday, February 17, 2022

අම්මා නුවරක්ය


අම්මා නුවරක්ය
සුවිසල් හිස් ආකාශය අරා ඇදෙන උස් කඳුවලින්ද
සිය දහස් ගෙවලින්ද
කුරුල්ලන් ගී ගයන වන පෙතින්ද
ඇළදොළින්ද
මලින් සහ සමනලුන්ගෙන්ද ආකූල
පැරණි වුව පැරණි නැති
මිහිරි වුව ගැඹුරැති
හඬ වුවද සංධ්වනියකි
ළඟ නැතද වටා බැඳි පවුරකි
කිසිත් නැති පස් යටද
සුබ පැතුම් දහසකි

Shasika Amali Munasinghe
Picture - Luis Romero, Spanish, born 1948

Wednesday, February 16, 2022

දැන් ඉතින් මට යන්න වේවී



විජ්ජුවක් හිමි විටෙක විජ්ජුවක් පිරි අතින්
මේඝයක් හිමි විටෙක මේඝයක් පිරි අතින්
තාලයක් හිමි විටෙක ගිතාරය අවුලමින්
ආදරය බෙදා දුන් දේවී
දැන් ඉතින් මට යන්න වේවී

දනව්වක පසල් ප්රේමයම දෝතින් අරන්
වසින විට අකල් වර්ෂාව කඳුළැලි පුරන්
නොදී මඩ දියක් පාගන්න කිසි විටත්
යනෙන මඟ දිගා වුණ දේවී
ඔබ මගේ සුදු නෙළුම වේවී

දැන් ඉතින් මට යන්න වේවී

📸 Auguste Rodin, The Cathedral - 1908
Rodin Museum

Tuesday, February 8, 2022

තාරුකා අහුරක් එවනවද?

නැතිවෙන්න දෙයක් නෑ
හිමි වෙන්න දෙයක් නෑ
මේ සරතාකාශයේ
කඳුළකට නමක් නෑ
සුසුමකට ඉඩක් නෑ
ඇවිද යන විට කෝඩයේ

උල් ඇනෙන කටු පිරුණ වදන් මැද
මල් පිපෙන ගම්මාන තියෙනවද
නොරිදෙන්න රිදෙන මතකය
තෙත සුළඟ අහුරක්
ආදරේ තවරා එවනවද

කල් බලා නැවතෙන සෙනඟ මැද
මල් සුවඳ නිතරෝම විඳිනවද
විඳගන්න රුදුරු තනිකම
සුමිතුරේ අහසට
තාරුකා අහුරක් එවනවද

- ෂසිකා අමාලි මුණසිංහ

චියැංගෝවේ දවස් 4

 2022/01/17 සඳුදා

අද අර සම්මුඛ පරීක්ෂණයට ගියා. ඒක තියෙන තැනට යන්නත් තරමක් වත් පිළිවෙත් කරන්නට ඕනෑ.. කොරෝනාවට විදපු වැක්සින් කාර්ඩ් එකත් ලකුණු කරල සහතික ටික විතරක් අරන් දිග...... කොරිඩෝවක් දිගේ ඇතුළට.

මඟ පෙන්වූ කෙනා අමුත්තන් සඳහා වෙන් වූ කාමරයක මාව අසුන් ගැන්වුවා. ඊළඟට ලැබුණා උණු කෝපි එකක්.. මෙතැන මගේ කාර්යාලය වගේ ගරා වැටුණු තැනක් නෙවෙයි.. හරිම සැප තැනක්.. මට දැනුණා...

ලස්සන ගැහැණු ළමයි දෙන්නෙක් වෙනත් අසුනක උන් කෙනෙකුගේ සහතික ලකුණු කරන්න ගත්තා. එයා ඇඳන් ඇවිත් තිබුණේ සුදුම සුදු චියැංගොවේ සම්ප්‍රදායික ඇඳුම. උසාවියට අඳින්නෙත් ඒ පාටින් නිසා එයා උසාවියේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති මට හිතුණා. 'මිස්ගේ අයි ටී සුදුසුකම් තියෙන සහතික දෙන්න ලකුණු කරන්න' අර එක ගැහැණු ළමයෙක් එයාට කිව්වා. එයා ටිකක් පැකිළෙන්න ගත්තා. 'එහෙම සහතිකයක් නැහැ.' එයා කිව්වා..

මේ තනතුරට අදාළ තොරතුරු තාක්ෂණ කුසලතාව ඉතින් කාටත් තියෙන එකක්නෙ. චියැංගෝවෙ හැම එකකටම පේපර් කොලිෆිකේෂන් බලන එකෙන් අදාළ වැඩේට ඇත්තටම දක්ෂ කෙනාට වෙන්නෙ අසාධාරණයක් කියල මට හිතුණා.

ටික වෙලාවකින් මගේ සහතික ලකුණු කරන වාරය ආවා. සහතික තුනකුයි සේවා සහතිකයයි එයාල ලකුණු කළා. ඒත් පරිගණක කුසලතා පිළිබඳ මගෙන් ඇහුවෙ නැහැ.. ටික වෙලාවක් ඉඳල, මමම එයාලට කිව්වා මට පරිගණක විද්‍යාව ගැන ඩිප්ලෝමා දෙකක් තියෙන වග.

එතකොට එයාල කිව්වා, 'නෑහ්.. ඒක ඕනි නැහැ.. මිස්ට පුළුවන් ඒක සම්මුඛ පරීක්ෂණයෙදී කියන්න' කියල..

සම්මුඛ පරීක්ෂණය තිබුණ තැනත් ටිකත් වෙනස්. සම්මුඛ පරීක්ෂණය කරන්න චියැංගෝවේ ප්‍රධාන ආයතන තුනෙන් එකක ලොක්කෙකුත් එතැනම දෙවැනියකුත් ඉඳගෙන හිටියා..

"කොහොමද විස්තර?  ආ ඔයා දන්න මේ නීතියේ කොහොමද අලුත් තත්ත්වය?" එයාල ඇහුවා.. "පවුලෙ විස්තර කොහොමද?" ඊළඟට ඇහුවා.. අපි දන්නල එවන්නම්කො.. ඊළඟට එයාල කිව්වා. ඒ දැන්වීම නම් මට ලැබෙන එකක් නෙමෙයි කියල මට දැනුණා.. අඩු තරමේ මේ ආයතනයට අදාළ විෂය පිළිබඳ ඉතාම වැදගත් විභාගයක උත්තර පත්‍ර බැලුවෙ මමය කියල කියන්නවත් බැරි වුණා.

2022.01.18 අඟහරුවාදා

අද ෂේන්යාත් මාත් පහුගිය අවුරුද්දෙ කාර්ය සාධනය වගුවක් විදිහට පිරෙව්වා. වර්ෂය තුළ නිම කළ යුතු ඉලක්ක එක තීරුවක දාල නිම කළ ගොනු ප්‍රමාණය තවත් තීරුවක ඇතුළත් කළා. හැම වැඩක්ම නියමිත ප්‍රමාණයට වැඩියෙන් කරලයි තිබුණේ. ඊළඟට කාර්ය සාධනය කියල දාල, 'ඉලක්ක ඉක්මවා ඇත.' කියල ලිව්වා. දැන් ඉතින් මිසිස් ට්‍රැට්වරුත් මිසිස් ජුලියානත් මොනව ලිව්වම මොකද කියල මට හිතුණා.

2022.01.19 බදාදා

චියැංගොවේ ආණ්ඩුව විශ්‍රාම යන වයස වැඩි කළාට පස්සෙ මිසිස් ට්‍රැට්වරුත් මිසිස් ජුලියානාත් හැසිරෙන්නෙ තරුණ කෙල්ලන් ගානටයි.. මිසිස් ජුලියානා උදේ වරුවම ලොකු ඉයර් ෆෝන් එකක් කණේ ගහගෙන එයාගෙ ඔන් ලයින් ක්ලාස්. එයා ඒ අතරෙ මිසිස්සුන්ගෙන් එන කිසිම දුරකථන ඇමතුමකට උත්තර දෙන් නැහැ.

මිසිස් ට්‍රැට්වරුත් මිසිස් ජුලියානාත් හිතන්නෙ එයාල කවදාවත්ම මැරෙන්නෙ නැහැ කියලයි.

ඒගොල්ලො විතරක් නෙමෙයි, ඒගොල්ලො දිහා බලන් ඉන්න මට හිතෙන්නෙත් එහෙමයි.

2022.01.20 බ්‍රහස්පතින්දා

මිසිස් ට්‍රැට්වර්ට ඕනෑම සබාවක් ඉස්සරහ බොරු කියන්න පුළුවන්. ඒක හරිම පුදුම හැකියාවක්. ඒවා අහන් ඉන්න එයා ගැන නොදන්න අයට හිතෙන්නෙ, එයා කියන්නෙ ඇත්තම කියලයි. ඇත්තටම එයා කියන සීයට අනූපහක් විතර බොරු. ෂේන්යාත් මාත් ඒ දවස්වල ඉඳන්ම කතා වුණේ, එයා හරියන්නෙ තුන්වැනි ලෝකෙ රටක දේශපාලකයෙක්ට කියලයි.

ඒ බොරුවල හැඩ කොච්චරද කිව්වොත්, ඒ බොරුවලින් අපි අපිමත් අන්දුන් කුන්දුන් වෙනව.. ඇත්තවද්ද කියල හිතෙනවා. 

අපි ආපුම දවස්වල, ඔෆිස් එකේ වැසිකිළි ප්‍රශ්නයක් ඇති වුණා.. ඒක මෙහෙමයි.. මේ ඔෆිස් එකෙත් යාබද ඔෆිස් එකෙත් කාන්තා පාර්ශවයට පාවිච්චියට තිබුණේ වැසිකිළි තුනක් විතරයි. ඒකෙනුත් එක වැසිකිළියක් මිසිස් ට්‍රැට්වර් තනියම ඉබි යතුරු දාගෙන පරිහරණය කළා. ඉතින් හරියටම අනෙක් අයට තිබුණේ වැසිකිළි දෙකක් විතරයි.. අනෙක් අය කියන්නේ ටිකක් ලොකු පිරිසක්.

ඒ දවස්වල මිසිස් ට්‍රැට්වර් හැම වැඩකටම කතා කරන්නේ මිස් පානීට. අවුරුදු හතළිස් පහක් විතර වුණාට මිස් පානී කසාද බැඳල නැහැ. එයා තමයි හැමවෙලාවකම ඕනම වැරදි වැඩක් නීති රීතිවලින් ගැලවෙලා නිත්‍යනුකූලයි වගේ පේන්න කරන්නෙ කොහොමද කියල මිසිස් ට්‍රැට්වර්ට උපදෙස් දුන්නේ.

මිස් පානී, අහවල් ව්යසනයක්ද මේ" 

මිසිස් ට්රැට්වර් දවසක් අත් දෙක පිටිපස්සට බැඳගෙන මිස් පානීට කතා කළා. 

"ඇත්තටම, මිසිස් ට්රැට්වර් අර වැසිකිළි.."

"වැසිකිළි!" 

"මැඩම්ගෙ එක නෙමෙයි.. අනිත් දෙකෙන් එකක් අල්ලපු ඔෆීසියෙන් ඉබි යතුරු දාල ලොක් කරල" මිස් පානී කිව්වා.

මගේ එක නොවේ නම් අනිත්වා මොකක් වූවත් මොකදැයි මිසි ට්රැට්වර් උදාසීන බැල්මක් හෙලුවා.

ඒත් මේ වැසිකිළි ප්‍රශ්නය සතියක් හමාරක් යන කල් වත් විසඳුණේ නෑ.. . "ඕගොල්ලොත් ඔය දේවල් ඇජස්ට් කරගෙන යන්න බලන්න. අපට වැසිකිළි ගැන බලනවට වඩා වැදගත් වැඩ තියෙනවා" මිසිස් ට්‍රැට්වර් ෂේන්යාටත් මටත් කෑගැසුවා. ඒ අනුව, යාබද ඔෆිසියේ පිරිසක් එක වැසිකිළියක් ඉබි යතුරු දාගෙන පරිහරණය කරන්න පටන් අරන්. එයාල අනිත් වැසිකිළිය පරිහරණය කරන එක අත් ඇරියෙත් නැහැ.

‘මං බලන්නම් එයාලත් එක්ක කතා කරන්න” අන්තිමේ මිස් පානී උදාසීන හඬින් කිව්වා.

සතියක් දෙකක් ගත වුණා. උද්ගත වූ දුෂ්කරතාවත් සාමාන්‍යකරණය වෙන්න වගේ ගත්තා. කට්ටියට වැසිකිළියට යන්න පෝලිමේ ඉන්න සිද්ධ වුණා. ගර්භනී අය පවා පෝලිමේ ඉඳිද්දී මගේ ඉවසීම පනින්නා වගේ මට දැනුණා.

 "මිස් පානී.. එයා කතා කරන්න නැතුවත් ඇති.. සමහර විට.. ඒත් අනේ මන්දා.." එකිනෙකා කසුකුසු ගෑවට කාටවත්ම මුකුත් කරගන්න බැරි වුණා. 

අල්ලපු ඔෆීසියේ සමහරු වැසිකිළිය ඉදිරිපිට කෙටි තාප්පය උඩ ඉබ්බත් යතුරත් තියල යන හැටි ඔය අතර මං දැක්කා. ඉතිං ජීවිතේ පළවැනි වතාවට හොරෙක් වෙන්නත් මට සිද්ධ වුණා.

ෂේන්යාත් මාත් යතුර හැංගුවා. පැයක් ගත වෙන්නත් කලින් වැසිකිළිය නිදහස් කරල තියෙන විත්තිය කණින් කණ ගියා. මේ අතර අභ්‍යන්තර දුරකථන පද්ධතිය හරහා මිසිස් ට්‍රැට්වර් මට කතා කළා.

"ඔන්න දැන් වැසිකිළියෙ අගුල ඇරලයි තියෙන්නෙ.. ඒ අය මං කළ ඉල්ලීම පිළිඅරන් තියෙනවා.. දැන් ඔයාලට ඒ වැසිකිළියත් පාවිච්චි කරන්න පුළුවන් හොඳේ"

මිසිස් ට්‍රැට්වර් කිව්වා.

මිසිස් ට්‍රැට්වර්ගේ පණිවිඩය මොහොතකින් ඔෆිස් එක පුරාම පැතිරුණා.

"මිසිස් ට්රැට්වර් මේ ප්‍රශ්නයට මැදිහත් නොවෙන්න අපට මුකුත් කරගන්න බැරිවෙනවා" මිස් පානී සිය තොල් දෙක ඒ මේ අත පෙරළමින් කිව්වා. "මිසිස් ට්රැට්වර්ට ස්තූති කරන්න ඕනි. එයාලට හොඳ පාඩමක් උගන්නන්න ඕනි" තවත් සමහරු කීවා. තවත් සමහරු මිසිස් ට්රැට්වර් හමු වී සිය ප්‍රණාම පිරිනැමුවා. මිසිස් ට්රැට්වර් හිස නවා ඉතා නිහතමානිව ස්තූතිය පිළිගත්තේ මෙන්න එහෙමත් කියලයි.

"ඇත්තටම මම හැම වෙලාවෙම ඔයාලගේ සුබසාධනය ගැන හිතලමයි කටයුතු කරන්නේ. මේක එක අවස්ථාවක් පමණයි."

යාබද ඔෆීසිය යතුරු හොරකම ගැන ලැජ්ජාවට නිහඬ වුණා. මේ ඔෆීසිය එහෙම එකක් දන්නෙත් නෑ.. යතුරු හොරකමක් සිදුව ඇති බව නොපිළිගන්නා ලොවක යතුරු හොරෙකුට පැවැත්මක් තියෙනවද ඉතින්?

ඒ තමයි, මිසිස් ට්‍රැට්වර්!

2022.01.21 සිකුරාදා

මිසිස් ට්‍රැට්වරුත් මිසිස් ජුලියානාත් අපට කවදාවත්ම ළඟා කරගන්න බැරි විදිහට රාජකාරී ඉලක්ක වෙනස් කරල එවල තිබුණා. එක වැඩ පියවරක ඉලක්ක දෙගුණයක් කරල. අනිත් එකේ ඉලක්ක තුන්ගුණයක් කරල. ඔෆිස් එකටම අවුරුද්දකට ඒ වැඩ එන්නෙ දෙසීයයි. ඉතින් කොහොමද හයසීයයක් කරන්නෙ?

කාර්ය සාධනය හොඳයි කියල ලියන එක මේ මිනිස්සුන්ට මෙච්චරම අමාරු ඇයි කියල හිතා ගන්න ජීවිතය පිළිබඳ ආචාර්ය උපාධියක් කරන්න වෙයි වගේ..

Tuesday, February 1, 2022

චියැංගෝවේ දවස් 3

2022/01/10 සඳුදා

මිසිස් ට්‍රැට්වර්ගෙනුත් මිසිස් ජුලියානාගෙනුත් එයාලගෙ අනුගාමිකයන්ගෙනුත් මිදිල යන්න තියෙන්නෙ එකම විදිහයි. ඒ ඉතින් තමන් ගලවල අයින් කරන්න බැරි කන්දක් නොවෙන බව තේරුම් ගෙන අලුත් නිම්නයකට ගලාගෙන යන එකයි.

මං අද චියැංගෝ විශ්ව විද්‍යාලයයට කතා කරල වැඩ පැවරුමක් ඉල්ල ගත්තා. එක්තරා වෘත්තීය මට්ටමකට ආවම අපට පුළුවන් එක්ස්පර්ට් පූල්ස් වලට බැඳෙන්න. ඒක අර ඉන්ටවීව් එකට ඕන දැනුම යාවත්කාලීන කරන දෙයක්.

ඔව්, ඔව්. ඉන්ටවීව් එකක් ආවට පස්සෙත් පුළුවන් ඒකට ඕන දැනුමයි පළපුරුද්දයි හදාගන්න.

2022/01/11 අඟහරුවාදා

අද දවසම චියැංගෝ විශ්ව විද්‍යාලයේ සද්ද බද්ද නැති ශාලාවකට වෙලා ළමයින්ගේ උත්තරපත්‍ර බලපු එකයි කළේ.

නීතියේ ආධිපත්‍යය ගැන විශ්ලේෂණය කරන ප්‍රශ්නයක් තිබුණා ඒ අතර. සමහර ළමයි අත දිග ඇරල චියැංගෝවෙ විධායකය කොහොමද පසු ගිය කාල වකවනුව තුළ බලය අතික්‍රමණය කරල තියෙන්නේ කියල නිදර්ශන, නඩු තීන්දු, ඒ.වී.ඩේසි, මොන්ටෙෂ්ක්‍යු මත ථියරි හැම දෙයක්ම උපුටමින් ලස්සනට ලියල තිබුණා.

'කොයි එකටත් ළමයිනේ මා වැනි උත්තර පරීක්ෂකයෙක් ලැබුණු එක ගැන නුඹලා සතුටු වෙයන්' මං හිතින් කිව්වා.

2022/01/12 බදාදා 

මට ලැබුණු චෝදනා පත්‍රයට අදාළ වැඩසටහන සංවිධානය කරන්න ෂේන්යාත් මාත් පත් කළ කමිටුවේ මිසිස් නෙවාඩාත් මිසිස් නෙවාඩාත් මේ පාඨමාලාව කරනවා. ඇත්තටම මේ පාඨමාලාව පටන් ගන්නවා කියල මගේ ඊමේලයට ආ දැන්වීම, කැමති නම ඒකට සම්බන්ධ වෙන්න කියල එයාටත් තවත් කීපදෙනෙකුටත් ෆෝවර්ඩ් කළෙත් මමයි.

ඒත් එයා, එහෙව් මටම විරිද්ධව බොරු සාක්ෂි දෙන්නත් ඒ වෙනුවෙන් මිසිස් ට්‍රැට්වර්ගෙන් නොයෙක් වරප්‍රසාද ගන්නත් පොඩ්ඩක්වත්ම පැකිළුණේ නැහැ. තවත් කෙනෙකුට එහෙම දෙයක් කරල කෙනෙක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියල මට හිතාගන්නත් බැහැ.

අද මිසිස් නෙවාඩාගේ උත්තර පත්තරේ මගෙ අතට ආවා. එයාගෙ අකුරුවල හැම රටාවක්ම ගැටයක්ම මට හුරුයි. එයාගෙ අකුරු දැක්ක වෙලාවෙ, 'නොවැස්කා.. නොවැස්කා...' කියල මගෙ හිත මටම කතා කරන්න ගත්තා.

එයා මේ විෂය එක වරක් අසමත් වෙලා, දෙවැනි වතාවටයි ලියන්නෙ කියලත් මං දැනන් හිටියා.

ඒ උත්තර පත්‍රයේ කිසිම විචාරාත්මක විමසුමක් නෑ. ඒත් මාකින් ස්කීම් එකේ තියෙන ප්‍රතිපාදන, නඩු තීන්දුවල නම් සෑහෙන තරං ලියල තියෙනවා.

එකතු කරල බලපුවම ලකුණු 76ක්.

හොඳටම විචාර ලියල තියෙන ළමයින්ටවත් එහෙම ලකුණු නැහැ. මොකද ඉතින් එයාල ප්‍රශ්න හැම එකකම උත්තරයට අදාළ දේවල් සටහන් කරල බැලන්ස් කරන්නෙ නැහැ. ප්‍රශ්න පත්‍රයකට උපරිම ලකුණු ගන්න රහස මේකයි. වටේ කැරකි කැරකි ඉන්නෙ නැතිව, කෙළින්ම අදාළ ප්‍රශ්නයට උත්තර දෙන්න ප්‍රවේශ වෙන එකයි. මුළුන්ම තමන්ට උත්තර දෙන්න තියෙන කාරණාව හඳුනා ගන්න ඕන. එකට අදාළ ප්‍රතිපාදන, නඩු තීන්දු ටික කොහොම හරි ලියන්න ඕනි. ප්‍රශ්නයේ හැටියට විශාරද මත, සන්සඳනාත්මක විග්‍රහයක් දාන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් ප්‍රශ්නයක් හරි, එහෙම නැත්තං නීති විරෝධි අත් අඩංගුවට ගැනීමක් ගැන උත්තර ලියන්න ලැබුණොත්, උත්තර ලියන්න ඕනි, ඒ දේ වුණේ තමන්ට වගෙයි.. තමන්ට වාසි කිසිම නෛතික හෝ සිද්ධිමය කරුණක් අත් අරින්න පුළුවන්ද එහෙම වෙලාවට?

මිසිස් නෙවාඩාට ලකුණු දුන්නා වැඩියිද? මගෙ හිත මගෙන්ම ඇහුවා. ඒත් මම නිකමටවත් දෙවැනි වතාවකට ඒ උත්තර පත්තරේ පෙරලුවේ නැහැ.

"නොවැස්කා, මේ ලෝකෙ ඉන්න මං කැමතිම කෙනෙක් තමයි ඔයා" මගෙ හිත මට කිව්වා.

"ඒත් මට හරි දුකයි" මං මගෙ හිතට කිව්වා.

2022/01/13 බ්‍රහස්පතින්දා

අදත් මං විශ්ව විද්‍යාලයේ
මට ආසාවක් නැහැ රස්සාවට යන්න.

දැන් අර ඉන්ටවීව් ව්කට අදාළ විෂය පථය ගැන මං අප්ඩේට් වෙලා ඉවරයි. ප්‍රතිපාදනයි නඩුතීන්දුයි ඔක්කෝම ඔළුවෙ තැන්පත් වෙලා ඉවරයි.

ඒත්, උත්තර පත්‍ර පනහ පහුවෙද්දි, හොඳටම අමාරුයි.
කොටින්ම කිව්වොත්, බෙල්ල හොල්ලන්න බැහැ, රිදෙනවා. දෙපැත්ත බලන්න විදිහක්ම නැහැ.

2022/01/14 සිකුරාදා

අද ඔෆිස් ගියා.
මිසිස් ට්‍රැට්වර් දවසම පත්තරේ මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් බලන ගමන්.

මම මෙතැනට ආපු මුල දවසෙ හිතුවෙ එයා හුඟක් හොඳ කෙනෙක් කියලයි. මුලින්ම කියල රස්සවට වාර්තා කරන්න වුණේ චියැංගෝ චිත්‍රපටි සංස්ථාවටයි. ඔන්න ඉතින් චිත්‍රපටි සංස්ථාව ඇතුළේ වැඩසටහනක්. ඒකට සහභාගි වෙන්න කියල, චිත්‍රපටි සංස්ථාවේ කට්ටියටත් ආරාධන කරල තිබුණට එක්කෙනෙක්වත් ඇවිත් නැහැ.

මිසිස් ට්‍රැට්වර් පැමිණි සිටි අයට ශෝකබරිතව මෙහෙම කියන්න ගත්තා.

"බලන්න, මට මේ හැමදේම තනියම කරන්න සිද්ධ වෙලා. මේ අය ඇවිත් මොකක්ද කරන්නෙ කියලවත් බලන් නෑ..ආණ්ඩුවේ සහයෝගය තිබුණ නම්, මං මේ වෙනකොට ගොඩක් දේවල් කරල මිනිස්සු වෙනුවෙන්.."

ඒක අහගෙන හිටපු මං නොකළෙ සාදු සාදු නොකිව්ව එක විතරයි. දෙවියනේ, මිසිස් ට්‍රැට්වර්ට උදව් කරන්න ඕනි, මං හිතුවා.. "අනේ මට මොනතරං හොඳ බොස්කෙනෙක්ද ලැබිල ඉන්නෙ" කියල ඉන්න තරමක් යාළුවන්ට පණිවිඩ යැව්වා..

ඒත්, ටික දවසක් යනකොටම හැමදේම වෙනස් වුණා. අඩුපාඩු තියෙද්දි, සල්ලි දීල කාර්යාලයට අරගෙන තිබ්බ බඩු ගොඩකට අදාළ ගෙවීම් කරන්න නිර්දේශ කරන්නය කියල ශේන්යාටත් මටත් බල කරන්න ගත්තා. ශේන්යාත් මාත් ඒකට නිර්දේශය දුන්නු හැටි හිතාගත්ත හැකිනෙ. එදායින් අවුරුදු 10ක් ගියත් ඒ ගෙවීම කරන්න මිසි ට්‍රැට්වර්ටවත් මූල්‍ය නිලධාරී මිසිස් ට්විස්කාටවත් බැරි වුණා.

ශේන්යාටත් මටත් අවුරුදු 10ක් ගිහින්වත් තනතුරේ ස්ථිර වෙන්න බැරි වුණා.