Tuesday, September 30, 2014
වැසි ඉසෙන කඳු ඉස
දිනෙක මා හිඳී ඔබ හද මත
තාරුකාවක් වගේ හිනා වී ගෙන
නිල ගැඹුරු වැසි ඉසෙන
වස්සානයද වසන්තයකි සොඳුර
ගයන්නට පෙර පද ලිහී ගිය
පිටිසර ගීතයක් වගේ ඔබ
ලවන් මත ලිහෙන්නද
උණුසුමක් ගෙන සොඳුර
වැසි ඉහෙන කල කඳු ඉස
රළ තබා මොනර නිල බර
ලෙළවයි ඇගේ පිල් කලඹ
කඳුකර මොනර ළඳ
Picture - Hélène Béland
රළ බිඳෙන තැන හිනාවකි
වැසි වැටෙන කල වෙරළ ඉම
රළ බිඳෙන තැන හිනාවකි
ළවැල්ලේ රඟන තරු 'ළිය
නොහඬනු! සිනාසෙනු මැන
මුහුද අබියස හිඳ
තට්ටු කර වැස්සේ තට්ටු ගවුමට
ගලවා ගත් සමනල තටුවක්
රැගෙන යයි රාත්‍රිය අහසට
එකින් එක පිය සටහන්
මක මකා හිනාවෙන්නට
දිය රළකටත් හැකි නම්
අපට නොහැකිද සකිසඳ?
Picture - Bill Brauer
ගිම්හානයද පෙමකි සකි
අරවින්ද ඔබට ලියා දන්වමි
තනිකඩය මගේ හිත තවමත්
ගිම්හානයද පෙමකි සකිසඳ
හඳුනනා ඔබද මා පමණක්
දිය දෝත උරා බොන නියඟයෙදි අහස
බවුන් වඩනවද තවත් සමුදුරක් 'බියස
බැඳුණු කල හද පෙමක සමඟ ගිම් දවස
පෙමමැ උතුරා ගලයි නිවා හද පවස!
Picture - Robert Hagan
Monday, September 29, 2014
සැළමුතු පෙමක බිජුවක්
"මං කවදාවත් මුස්ලිම් කෙනෙක් බඳින් නෑ.."
ෆර්හානා
පර්දාව නොපළඳින ෆර්හානා
කඳුළු සයුරක් ගොඩ ගලද්දිත්
අපවත් හිනස්සන ෆර්හානා
"අක්කගේ මහත්තයා
එක්කන් ආවා තව බිරිඳක්
පුළුවන්නේ එයාලට එහෙම"
තිතක් නොතියා ඇඳෙන සුසුමක්
"එහෙම කොහොමද වෙන්නෙ ෆර්හානා
අපට තබන්නට බැරිද තිතක්"
"ඇස් දෙක විතරක් ඇරන්
කවුරුන්ද කැමති ඇවිදින්න
ඒක හරි ඇත්තක්
හඬක් නැති වුණත් අපිට"
ෆර්හානා
වැලමිටින් ඇද ඔබ
නවත්වන්නට පුළුවන්ද
"තරහ නෑ මම
හැමදාම වැහුවත් ඔයා කවුළුව
සමහර වැසි සුළං තියෙනවා
ගෙට ගෙවදින්න නොසුදුසු"
ප්‍රශ්නාර්ථ ගොඩක් ඇති හිතේ
විස්මයක් අඳින කරුණාව
"අක්කගේ ළමයි මං බලාගන්නවා
මට රස්සාවක් තියෙනවනෙ
අක්කාව හොඳ කෙනෙකුට බන්ඳනවා
එතකොට තමයි මට සතුට"
අත් පටලවා ඇය ගයයි හෙමිහිට
"සිංහල මිනිස්සුන්ට නම්
දෙවැනි බිරියක් නෑ නේද?"
බලාපොරොත්තුවක තරු ලකුණක්ද
ඔබෙ හිතේ ෆර්හානා
සිංහලුත් ඔහොමයි ෆර්හානා
සිංහලුත් ඔහොමයි ෆර්හානා
ඒත් අපි සැළමුතු පෙමක බිජුවක්
පස යටින් තබමු ෆර්හානා
Picture - Alexei Antonov
"සුදු හිම පලස"
රෝස මල් ගෙත්තම් කළ
ඇෆ්ඝනිස්තාන් බෑගය ගමි අතට
ඉසියුම් නූල් අගිස්සෙන් පැමිණ
ඉඳි කටු ඇනෙයි හිත මත
සුසුම් ගොන්නක් විසිරෙයි
හිත හරි බරයි
මේ සුන්දර රෝස මල් වියූ බෑගය
සුදු නැන්දාය තෑගි දුන්නේ පෙර දවසක
'සුදු හිම පලස' මත එරුණු සඳ
බෑගයක් නොවේ එය සුසුම් ගොන්නකි
කෙසේ නම් ඔවුන්ගේ රිදුම් දෙන ඇඟිලි අගින්
කඳුළු සඟවා මැවුවෝද රෝස මල්?
______________________________________
සුදු හිම පලස රැගෙන අතින්
කළුවරේ එන කල ගෙදර
කරුණා පෙරේරාවන්ගේ වචන මිස
සුනේත්‍රාවගේ වචන හුරු නැත
එතරමටම ගණය රැය අඳුර
අවන්හල් නැත විවර සැමට
අගීය සුදු හිම පලස
සීතලෙන් වෙවුලුවද හදවත
කතා කවි බැරි අතක වුව
ගොනු විය යුතුය විඳි දුක
"ස්තූතියි" කියමි එබැවින්
මටසිලිටි බසක සඟවා තැබූ කඳුළට
සොඳුරිය ඉතින් අවසන
රහසක් කියමි ඔබ හට
සබා ගැබ ළඳුන්ගෙන් පිරී ගිය
සොබාවයි ඔබ කී තැන
සිනා විය හරියටම
මා පිටුපසින් උන් මිතුරු තැන
"ඔබ ඔබ ගැන සිතා එය කිවු බවට"
Picture - Dmitry Patrushev
Saturday, September 27, 2014
සසර දුක් දත් යමෙක්
"මා සඳට කියුවා බැස නොයන්නට යැයි
එහෙත් සඳ බැස ගියා
මා මලට කියුවා නොමියදෙන්නැයි කියා
එහෙත් මල මිය ගියා
සංසාරේ දුක කියා මා වැළපි මොහොතේ
ජීවිතය පමණක් හිනැහුණා"
සසර දුක් දත් යමෙක් වෙද ලොව
නිවෙන්නෙය ඔහු දුකද විඳ සතුටින්
මියු රස වළඳ විහඟෙකු
මල කෙරේ නොබැඳෙන්නා මෙන්
සතුට විඳගනු පිණිස
ගෙදර යනු පතා නොවැළෙපෙන්නේය ඔහු
ගෙයක් නැති බව දැන එවිට
නිවස්නේය නිසසලව යෙහෙන්
Picture - Isaac Lazarus Israëls, Dutch Artist (1865 - 1934)
Thursday, September 18, 2014
ඉඩ දෙන්න වැස්සට
එක දිගට වහින වැස්ස
අමතයි මගේ හදවත
ෆර්හානා දුව ගොස් වසයි කවුළුව
අකැමැතියි මං ඒකට
ඉඩ දෙන්න වැස්සට
පැමිණෙන්න ඇතුළට
Picture - Elena Yushin
වරපට
මස්කාරා බිඳු එකින් එක දියව
තොල් සායම් පින්තාරු ආභරණ අතර
අපැහැදිලිව ගිය සිතුවමකි
නංගිගේ නික්මීම
----------------------------------------------
අලුත් නෑදෑයන් නෑනාවරුන් සමඟ
ඈතට ඇවිද ගිය නැඟනියගේ කුටිය
තවමත් අහම්බෙන් මෙන්
නඟන්නෙය සප්ත ස්වරය
වඩා සතුටින් ඉන්නවා ඇති
සමහර විට එයා එහි
------------------------------------------------
කවරක්දැයි වටහාගත නොහැක
සූරන්නේ මගේ හිත
අපේ ගෙදරම නොසිට ඇය
පිටත් වෙන කොට වෙනත් තැනකට
රණ්ඩුවටවත් නැති හැටි
කාත් කවුරුවත් දැන් අපට
------------------------------------------------
අපි කතා නොකර
වැටි වැටි තැන හිඳගෙන
බුම්මාගත් මෘගයන් මෙන් බලා සිටිමු
තමන්ගේ යැයි මායාවක වෙළී සිටි කෙනෙක්ද
අපගේ කුඩා නැඟනිය
උගුර මත සිර වුණු වේදනා ගුලිය
විසි කර දමමි ඉවතට
බිඳ ගත යුතු මෙතැනින්ය සංසාරේ මායාව
---------------------------------------------------
වෛරය කියාද ප්‍රේමය කියාද
කිසිවක් ඇතිද ලොව සැබවින්ම
වරපට නොවෙද සියල්ලම - අප බැඳ තබන සසර
නිදහස් අවකාශය නොදැක අපි
බලා සිටින්නෙමුද වරපට දෙසම
එහිම ගුණ වය වය
Picture - Heide Presse
දේදුන්න
බබළ බබළා උන් අහස් ගැබ
වසා ගද්දී වස්සාන සළු
අඳුරු කළු ගත් මුහුණු පේළිය
පලා මතු විය දේදුන්න
Picture - Vitaly Petrovsky
දිගු නැතිද රාත්‍රිය?
කවර පමාවක්ද ගිහිගෙය
අල්ලාගත් තැනින් හළ නොහැකි පහසුවෙන්
උදේ හවා වැඩට යන
අතරමැද පැය වැඩ අතර ගෙවෙන
නිශ්ඵල බැඳුම්ය නෑදෑයන්
හිත මිත්‍රයන් දුවා දරුවන්
නොරැවටෙනු මිතුර
කවියන් ලියන පෙම් කවි පවා එහෙමය
කෝෂයක සිරව කෝෂයම බදා සිටින්නේ
දිගු නැතිද රාත්‍රිය
වඩා සුන්දර ඉගිල ගිය පසුය සිහිනය
Picture - Vitaly Petrovsky
නිදිමත එන්නත් කර ඇත
නිදිමත එන්නත් කර ඇත මා සිරුර
කොඳු ඇටද ස්නායුද වසා පැතිර
ඇසිපියන්හි එල්ලෙයි නිතර
පෑන පවා බරය
යගදාවක් පමණ
ඉතා සාමාන්‍ය ඇසට අසු නොවන සුලු
බිම් කොටසකි ම'සිත
වාහනය පැමිණි විට ගොඩවෙමි එයට
උස ලිපි ගොනු රැගෙන ඇතුළුවෙමි උසාවියට
මේ මා වෙන්න බැරි කෙනෙකි
ඇඟ බදා සිර කරන සාරිය
දෙපා රිදවන වහන්
පෙළන්නෙය මා නිතොර
නිදිමත එන්නත් කර ඇත
මා සිරුර
Picture - Michael & Inessa Garmash
අලුත් කන්තෝරුව
අලුත් කන්තෝරුවේ (මා හට) අන්තර්ජාල පහසුකම් නොමැති බැවින්ද පුද්ගලික පරිගණකයක් භාවිත කිරීම අශෝභන යැයි හැඟෙන හෙයින්ද පෙර මෙන් ලියන්නට ලැබෙන්නේ නැත. ඒත් අලුත් කන්තෝරුව හොඳය. මා කැමතියි. ස්වභාවික ආලෝකය සහ නිතර හමනා සුළං ඇත. අරලිය ගස් මගේ ඇස දසුනය. ඉන් පහළ දිය තටාකයය.
මාස පහකට පසු බදුලු යෑම නැත්නම් වඩා හොඳය!
Picture - Jules-Alexis Muenier
විලක් මම!
උල්පතක් සේ මතුව ගලායන්නට බෑ
විලක් මම
වාලුකා තීර පිස සරැළි නඟනව මිසක
සහස්පෙති පුබුදවන්නට බෑ
ඒත් සුවඳක්ම මිස නෑ කහටක් එහෙම
සැඳෑ කල රෝස පෑ කොපුල් ගත් වලාකුළු
මලානික අඳුරකට සෙමින් අත වනන කොට
විරාගී සෝකයෙන් බලා ඉන්නවා මිස
හාදුවක් තියන්නට බෑ
ඒත් මගෙ මුළු හද මත දිලේ රන් අහස
උල්පතක් සේ මතුව ගලායන්නට බෑ
විලක් මම
Picture - Victor Nizovtsev
Tuesday, September 16, 2014
සයුර
තෙත් බිම් වැසි වනාන්තරයකි
මෝසමෙන් වැසී යන නිතර
පෙණ බුබුළු අතුරුවා ගඟ මත
සොය සොයා යන සයුර
දියට වන් කල සිඳු ගැඹර
ගඟ සොයයි හරිත වන තුරුල
ආපිට යා නොහී අයුර
දැක හඬා වැළපෙයි සයුර
Picture - Wislow Homer
මනාලියගේ කඳුළු
මනාලිය ගෙනා සළු - පිපෙයි දිය ඇලි පහළ
බිනර මල් නටයි සන්තෝෂයෙන් ගඟ ඉවුර
මනාලියගේ කඳුළු කිමිද යයි ගං පතුල
සිනා පමණක් පෙරී පිනාලයි වන නයන
ඇගේ ළය සිදුරු කර
පැන නැඟෙන හැඟුම් දැල්
මවාලා දිය සුළිය
අතරමං කරයි මින්
දොවාලා සුවඳ පැන්
පිය තබා යන ගමන්
නිවාලා කඳුළු බිඳු
ගෙනාවා සිනාවන්
Picture - Karen Wallis
Tuesday, September 9, 2014
වැසි දවස දුම් දමන තේ එකක්
අමෘතය කියන්නේ වැසි දවස දුම් දමන තේ එකක්
ස්මෘතිය කියන්නේ තේ උගුරකට දැවී යන ළයක්
වැස්සක් කියන්නේ හුදෙකලා මිනිසෙකුට
පෑරෙන්නට තරං හීනයක්
Picture - Huang Xiangyang
වැහි වතුර
කුඩයට නඩත්තු කළ නොහැක
අප්‍රසන්නය වැහි වතුර
වෙළා ගමි ගත
සාරියෙන් තද කොට
සීතලෙන් ගැහෙන
තුවාලයකි සිරුර
තුවාලයකි ජීවිතය
Picture - Igor Medvedev
වෙඩි තබමි ආලෝකයට!
නිදිමත පිශාචරයෙක් මෙන් පැමිණ
රාත්‍රිය ගිල ගනියි
වලාකුළු තරු ඉටිපන්දම් නිවාලයි
ගණ කළුවර කල සිහිනය
වෙඩි තබමි ආලෝකයට
Picture - Van Gogh
Monday, September 8, 2014
තටු ලැබෙන තුරු
වේදනාව ත්‍යාගයකි
නිදහස් මාවතකි කිසිවෙකුට අවැසි නොවන
ජීවිතාවබෝධය ලබනු පිණිස
කැමැත්තෙන් ඇවිද යනු මැන
නොඇලෙනු මැන බිඳකුදු
ගසා යන අතර මඟ
අවසන මුණගැසෙනු ඇත
පරිපුර්ණත්වයේ තටු යුග
Picture - Douglas Hofmann
මිනිසෙකුගේ කුරිරුකම වෙනුවෙන්
අහම්බයෙන් නුඹ දුටු 'මුත්
නොදැනිණි මට වේදනාවක්
කඳුළු සිඳවා තිබිණි
දශක ගණනක් පෙරදි
ප්‍රපාතයකට හෙළා මා
පලා ගිය මෝසමක් වෙනුවෙන්
වැරදීමකින් හෝ හැලෙන
සුසුමකුදු නොවිණි
වටහාගත යුතුය එහෙත් මම
සීතලව ගිය කෑම බඳුන්
සිත පෙන්වයි කුඩා ඇස්වලින්
සිරුර මිස වැරදිකරු නොවන බව තමන්
එහෙත් ක්ෂණයක අසිහියෙන්
සැලුණාවත්ද සිත
පෙමක් හෝ විරහවක් මත නොව
මිනිසෙකුගේ කුරිරුකම වෙනුවෙන්
අසිහිව
Picture - Bryce Cameron Liston
කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ
කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ
අකුරු වැසි වසින කොට ගොඩ ගල ගල
සේලයක් නැතිද උණුහුම් මුවාවෙන්නට නිතර
ගැහි ගැහී සීතලට හඬන විට
කවි වුණත් මොකටද
කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ
ඈත කඳු හිස් රිදී පෑයෙන් දිලෙන විට
ඔබ විසල් දෙනයන ශ්වේත 'කාසය මවන විට
මම තනිකමින් හුරුපුරුදු සිනහා නැතුව
කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ
රෝසියා ගස් යට නිබඳ මල් හැලෙන විට
නුඹෙ මෘදුම චුම්බන රැගෙන මඳනල හමන විට
උර තබන්නට අවුල් වූ කෙස නොමැති කොට
කඳුකරය මට මිහිරක්! මිහිරක්ද.. සොඳුරේ
Picture - Christian Jeguel
Saturday, September 6, 2014
ගහ කොළ මල් සුවඳ දැනෙයි නීති පොත්වලින්
ගැසට්පත් කියවමි
උඩ පනිමි සතුටින්
ගහ කොළ මල් සුවඳ දැනෙයි
නීති පොත්වලින්
පනතකින් පනතකට ඇහැරෙමි
කවි හිතකි මුඩු බිමක නොනිදමි
සුසුමකින් සුසුමකට පණ දෙමි
අනවරත සිනහවක කිමිදෙමි
Picture - Michael Malm
ඇස අගිස කඳුළකි
දෝතින් වඩාගෙන ඇවිත්
වැළඳ කියවූ පොතකි
ඇස අගිස කඳුළකි
මුළු හදම සතුටකි
වියරණ දොස් ගැන කවියක
ඇසූ 'යුරු බුහුටි වදනට
මුසු කර අවසන මිතුර
"ආදරය ගැන
ඔබ හිතන්නේ කොහොමද?"
අසන විට එකම සිනහවකි
ආදර ලියුමක් වගේ
චමත්කාරය ඔබේ කවි
විරහ ගීයක් වගේ
විස්සෝපයෙනි මම සකි
පොතක් නම් මේ වගේ ඔබ කියයි
කඩදාසි සුවඳට එහා සුවඳක් ගලයි
එක රිත්මයෙන් අකුරු ගොඩ ගලයි
කවිවලින් පහරදෙන්නට හිතයි
"මොන තරගයක්දැයි නුඹට?"
නුඹ සිනාසෙනු මට ඇසෙයි
නැති වුණා නම් හොඳය
ක්ලැසිෆයිඩ් අන්තිමැති පද දෙක
පතකින් පතක් සූරා
බිඳ වැටෙන සරතය
කවියන්ටමය ඔබ
ලියා ඇත්තේ කවි පොත
බොමි එකින් එක කවි
ලලි ගුරාන් සුවඳ විඳ විඳ
නේපාලයේ කඳු බඩ
අවන්හලකට ගොඩ වැද
තිතට මත් වෙමු සකිසඳ
මතට තිත අපට කුමටද
කවි මතට තිත අපට කොහොමද?
එන්න සරතයට එළඹෙන
මිහිදුම ඉරා විසි කර..
Picture - Allan R Banks
Friday, September 5, 2014
ආදරය කියා දෙයක් ඇති නම්..
මම බලමි විශාල විශ්වය දෙස
විරහවෙන් දැවෙන මිත්‍රය
ඔබත් බලන්න
කොතරම් මිනිසුන්ද සතුන්ද
තැන තැන සිනාසෙන වැළපෙන
හිනැහුමත් වැළපුමත් තවදුර
දරා සිටිමින් නොනැවත
ඉහළ අහසට නැඟි කල
සම්මිශ්‍රිතව එක පැහැයට
තැනෙක දෙතැනක පමණකි
දුලන්නේ තාරුකා 'ළිය
කෙනෙකු දෙදෙනෙකු පමණය
දැකැත්තේ තමා තුළ ගර්භය
හඳුනාගෙන සිටින්නෝ
පිවිසි කල තමා තුළ ගැඹුරට
කුඩා බව හා අවශේෂ බව විශ්වය
ඇවිදයති සුමුදු මල් පෙති මත
දැන් මට කියන්න
ආදරය කියා දෙයක් ඇති නම්
විරහව කියා දෙයක් ඇතිද..?
Picture - M.C. Escher (Dutch, 1898-1972)
හොඳ නරක
කියා ඇතිද හොඳ යැයි ඔබට බොහෝ අය
එසේ නම් මම කියමි නරක යැයි
හොඳ වීමටත් වඩා වැදගත්ය
නරක බව දැන සිටීම
එවිට හොඳ වනු හැකිය යම් දිනක
Picture - Gary Bunt
මාතෘ ප්‍රේමය
මම කඳු ළයට හිස තබා
දරුවෙකුව වැළපෙමි, සැතපෙමි
හීන් තුරුපත් පවා
බලා හිඳී, මා රැකගනී
එහෙත් කඳුකරය, මා සිරුර මත ගලා යන්නේ
දාරක ප්‍රේමයකැයි.. වරදවා වටහා නොගනු මැන
මාතෘ ප්‍රේමයකි එය
කුඩා දරුවෙකුගේ ළයෙන් වැගිරෙන
Picture - Pablo Segarra Chias
කලිඳු කල්හාරයෝ යමුනා දියේ කැලත
කලිඳු කල්හාරයෝ යමුනා දියේ කැලත
පද බඳිති කවිති මනකල්
ක්ෂුද්‍ර කම්පනයටද කැලතී උදා කල
බිඳේ ගඟ දියේ හසරැල්
ගගන නම් ලලන සිය පිළිබිඹුව සොයා දිය
රන් පෑය තබා විමසයි
කාලිදාසයන් හට ලියන්නට අමතකව
ඉතිරි වූ කව් සුළඟෙ එයි
Picture - Nicolai Lukiyanov nació en Cheboksary, Baturevo, Rusia
මුළු හිතම ඔබ සොරා ගෙන තියේ
මෝසමක් මෙන් ගසා ගෙන එන මතක අණු
හදිසියේ ඇස ගැටි ඔබේ මංගල රුවට පහර දෙයි
කඳුකරයේ වලාකුළු බැම්මක හිඳ සිටින විට
ගසාගෙන ගිය කියුඹු සිපගත් හැටි මැවෙයි
මුළු රාත්‍රියම අපි සීතලෙන් ගැහි ගැහී
වතුර මල් ගස යටට වී සිටිය හැටි වෙවුලමින්
උණුසුමින් පිරී ඇති ගෙතුළ එනු මැන යදිද්දිත්
නිල් අහස් කුස කුඩා තරු කැටිති අහුලමින්
සබඳ ඔබ ධනවතුන්ගේ තැන ඉපිද
දුප්පතෙකු මෙන් මා අතැර යන විටදි දුර
බලාසිටියේ මම හුරුපුරුදු සිනහවෙන්
සිනහවෙන් යැයි ලියන විට පවා එහෙත්
අප්‍රාණිකව යයි මා සිරුර විරහවෙන්
විසි කර සහස් ගල් මුල් මා වෙතට
ඇන එකම පිහියකින් හරියටම ළය මැදට
ඉගිලෙද්දි ඔබ ඔබේ සුවිසල් පියා අරන්
ඇට මැස්සියක මෙන් මිය ගියෙමි නිම්නයේ
කඳුකරය අත වැනුවත් නැවත යා නොහැක එහි
ඔබේ මංගල රුව ඇඳී ඇත අප ඇවිද ගිය මං දිගේ
කන්‍යාමය ගතක් රකිද්දිත් මුළු හිතම ඔබ සොරා ගෙන තියේ
අන්සතුව ඔබේ රුව දකින විට නිරාහාරව මා ඇද වැටේ
Picture - Steve Henderson, 1957
ඇස් පියා කියවන්න..
සැලීමෙන් උගත හැක
මඳ බව නොසැලුමේ පුහුණුව
එහෙත් මම මවමි මිත
සැලෙන තුරුපත්හි මහිමය
ඇස් පියා කියවන්න ඔබ!
Picture - Kubick
කෙළ පිඬක් සේ ඉවත ලනු මිස
මගේ හදවත හළා මහ මඟ
පෙළා දුර ගොස් නැවත ආ නුඹ
කෙළ පිඬක් සේ ඉවත ලනු මිස
හැරීවත් නොම බලන්නෙමි මම
Picture - Iris Scott
මා මකන්නේ මන්ද තැබු සිනා වෙන අතක?
මට උවමනා නැත මකන්නට සිනහවක්
මටත් ඇත මගෙ ලොවක් සතුට උතුරන ලොවක්
නුඹට වැඩියෙන් සොඳුරු සිනහ පොබයන ලොවක්
නුඹට හැක උගන්නට උගෙන නැතිනම් තවම
පෙමක අරුමය සුවඳ සැළමුතු හදින් දුලන
නුඹට හැක පළඳන්න ඈ මුවේ මුදු සිනහ
මා හදින් මකා ඈතට රැගෙන ගිය සිනහ
සිනහ උදුරන ලොවක සතුට පළදනු මුවක
උගත්තෙමි සතුට මෙන් දුක හැඳිනියෙන් හදක
කුමට බියවෙනු කියා හඬා වැළපෙන මතක
මා මකන්නේ මන්ද තැබු සිනා වෙන අතක
Picture - Juan Fortuny
Monday, September 1, 2014
පහන් තරුවද ඔබ ආදරේ
මට අඬන්නට ඉඩ නොතබාම නිවී ගිය
පහන් තරුවද ඔබ ආදරේ
නමුණුකුළ කඳු හිසින් එබී බලනා නිසල
සඟව සඟවා දෑස ගිලී ගිය තරු එළිය
විසිර විසිරී ලිහී යන වලාකුළු අතර
කාලයට නොහිම් තටු ලැබුණිදෝ
දුන්හිඳක් තරමටම ගිම් සමයෙ හීනි වී
නුඹට හිමි නුඹෙ දෑස මැකුණිදෝ
Picture - Morgan Weistling, American Artist - 1964
Subscribe to:
Posts (Atom)