Friday, January 26, 2024

දැන දැනම

 

    දැන දැනම
    ස්ථායි කොටස මිස
    අන්තරා කොටසක් 
    නැති වග
    ලාක් කුරුල්ලෝ මන්ද
    ගයන්නේ ඔතරම්ම
    මිහිරි ලෙස
 
    Shasika Amali Munasinghe
    Picture - Sashika Suraweera

Thursday, January 25, 2024

A chat with an international celebrity


රඟපානව කියන්නෙ බොහොම අසීරු වෘත්තියක් විදිහටයි මම සලකන්නෙ. ඉතාම සියුම් සෙලවීමකින් පවා විශාල කැලඹීම් ඇති කරන එක පහසු නැහැ. ඉතාම ගැඹුරු බරපතල චරිතයක් කරන කෙනෙක් ඊළඟ භූමිකාවෙදි පුළුන් පෙදයක් වගේ සැහැල්ලු වෙනව. ඕනෑම විෂයක හරි වෘත්තියක හරි දිලිසෙන බොහෝ දුර ගිය චරිත දැක්කම පොඩි කාලෙදි කළා වගේ මිතුරු ඇරයුම් යවන එක මගෙ අතින් වෙන්නෙම නැති දෙයක්. හැමෝවම පිළිගන්න මට වුණත් බැහැ වගේ ඒ වගේ දිලිසෙන අයට කොහොමටවත් බැහැ කියල මම දන්නව. ඒත් ෆලෝ කළාම අපිට එයාලගෙ අලුත් නිර්මාණ ගැන දැනුවත් වෙන්න වගේම එයාලව අගයන්නත් අවස්ථාව ලැබෙනව.  

සතියක් තිස්සේ වෙන රටක ලස්සනම ලස්සන කතාවක් බලමින් ඒ කතාව ඇතුළෙ තමයි ජීවත් වුණේ. කතාව බලල ඉවර වුණාට පස්සෙ කතාවෙ ප්‍රධාන නළුවව ෆලෝ කළා. බොහොම කඩවසම් සහ දක්ෂ නළුවෙක්. ටික වෙලාවකට පස්සෙ එයාගෙන් මට මිතුරු ඇරයුමක් එනවා.

ඒ වෙලාවෙ හුස්ම හිරවුණු විදිහ කියන්න මං දන්න භාෂා ප්‍රමාණයත් වචන ප්‍රමාණයත් මදි. ඒ විතරක් නෙමෙයි පණිවුඩ කිහිපයක් හුවමාරු කර ගන්නත් ඉඩ ලැබෙනවා. එයා ප්‍රසිද්ධ ගායකයෙක් බවත් මං දැන ගන්නවා. දැන් ඒ සින්දු අහන එක නවත්ත ගන්නත් බැරි තරං.. කොටින්ම කිව්වොත් ජීවිත කාලයටම මම එයාගෙ රසිකයෙක් වෙනවා.

                                                                            ★ ★ ★

පුංචිම කාලෙ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගෙන් ලියුමක් දෙකක් ලැබෙන කාලෙත් ඒ වගේ.. ඒ ලියුම් උණුසුම් ඇගයුම්වලින් පිරිල තිබුණ.. ඈත මුහුදක් ළඟ ඉඳල කඳු කැරැල්ලක් බලා ආ ඒ ලියුම් කියවල කුඩා දැරියකගෙ හදවත නැටුවා.. 

                                                                           ★ ★ ★

විශ්ව විද්‍යාලයෙ ඉන්න කාලෙ උදේ පාන්දරම දුරකථන ඇමතුමක් එනවා. අඩ නින්දෙන් උත්තර දෙන ගමන් එක පාරම පියවි සිහියට එනවා කතා කළ කෙනා කරපු හැඳින්වීමෙන්. "මම සුනේත්‍රා තිරංජනී රාජකරුණානායක" එයා කියනවා. එදා හවස ජෝන් ද සිල්වා රඟහලේදි අපි මුණගැහෙනවා.

                                                                           ★ ★ ★

පාසල් කාලෙ ඉඳන්ම විශ්ව විද්‍යාල කාලය දක්වා මං එක පත්තරයකට ලියනවා. විශ්ව විද්‍යාලයෙ උන්නු කාලෙ දවසක නේවාසිකාගාරෙ පොදු දුරකථනයට ඇමතුමක් එනවා. මං දන් නැහැ ඒ තරං මාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් හෙව්ව වෙන කෙනෙක් ඉන්නවද කියල.

                                                                         ★ ★ ★

වරක් ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නළු Law ට මං ඊමේලයක් යවනවා. එයත් පුංචි පණිවුඩයකින් මට උත්තර දෙනවා. 

                                                                         ★ ★ ★

ඉහත සියලුම දේවල් සලකලා බැලුවම මං මට ආදරය කරන අයට නම් හොඳට උත්තර දීල නැහැ කියල මට හිතෙනවා. වරක් මගේ දුරකථන අංකය සඟරාවක මුද්‍රණය කරල බෙදා හැරල තිබුණම මගෙ ඔළුව පවා රිදෙන්න ගන්නවා. ඊට පස්සෙ එක දිගට දුරකථනයට පණිවුඩ එන්න ගත්තම ඒක මට විස්තර කර ගන්න බැහැ. ඒ හැම පණිවුඩයකම තිබුණෙ අගය කිරීම් වුණාට ඒවට මං හොඳට උත්තර දුන් බවක් මට මතක නැහැ.

ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමයි, මං, මගේම කඳුකරයක හුදෙකලාව ජීවත් වෙන්න ප්‍රිය කළ සාමාන්‍ය ගැහැණු ළමයෙක් වුණු නිසයි. ඒත් ඒකට මං සමාව ඉල්ලිය යුතුයි. 

                                                                        ★ ★ ★

                                                                      සමාවෙන්න.

Monday, January 1, 2024

ඒ ඉමිහිරි කෙම් බිමේ


ඔබෙ දෙතොල සොයා යන්නට මට
දශකයක් ගත වුණා
ඔබ දෙතොලේ දැහැන් ගත වුණ දින
එකෝඩිනයක ස්වර නාද මතු වුණා
ශීත සෘතුවේ මුදු තුහින
ශ්වේත වන් කුඩා මල් සිහින
ඔබ දෙ ඉවුරු කොපුල් තලා පසු කළා
ඒ ඉමිහිරි කෙම් බිමේ 
මං ඉතින් නැවතුණා

ඔබේ ඇස්
ජනශූන්‍ය නගරයක් වගේ
ආවෘතව යද්දී
බෝල්ෂෙවික් විප්ලවය මැද
මැදුරක් අත් කර ගත්
සොල්දාදුවෙකු මෙන්
මගේ හදවත ගැස්සුණා

ඔබෙ දෙතොල සොයා යන්නට මට
දශකයක් ගත වුණා

Shasika Amali Munasinghe