Friday, August 28, 2015

වැළපෙන විලෝ පතක ස්වර මාධුර්යය

සුභද්‍රා ජයසුන්දර

මඳ'දුර හා මුසුව හිම කැට සී සී කඩ විසිර යයි. හිම ගොඩැති සීතලෙන් ගල් ගැසුණු පාළු මාවතකට හැරී පාවෙල් කොර්චාගින් නමැති උණුසුම් මිනිසා ඇවිද යනු මට පෙනේ..


“රුස්තෑම්, 
පාවෙල් කොර්චාගින් ඉන්න පොත හොයා ගන්න පුළුවන්ද” ඈ අසයි.

“ඔව් , ඒත් මොනවටද? ඒව කියෙව්වෙ මගේ පරම්පරාවටත් කලින්. තව දුරටත් ඒව වලංගු නෑ.” ඔහු කියයි..

ඒ හඬින් ඇගේ හද සලිත වන තරමටම අප හදද සලිත වෙයි.. ඉඳින්, ඇය ලියයි;

"හිම එරෙන කාලයට
පාවෙල්ගෙ දණිස තෙක් හිම පිරෙයි
ඒ උනත් සිසිර කෲරත්වයට
තෘණ මරා දමන්නට ‍නොහැකි වෙයි
මුල් ඇදුණ ‍ප්‍රේමයත්
මුල් ඇදුණ වෛරයත්
විඳල නෑ නේද නුඹ ඒතරම්
                                          
පෙම් කරපු අතීතය
අවලංගු කරන්නද කියන්නේ
ම‍හේශාක්‍යයයි අතීතය......
කිසි දි‍නෙක කල් ඉකුත් වෙන්නෙ නැති
හුස්ම එහි තැම්පත්ව තියෙන්නේ..”

“පුතාට නේද ? හෑන් ඇන්ඩර්සන් හරි මාක් ට්වෙන් හරි දෙන්නද”
“නෑ රුස්තෑම්, මට ඕනෙ වානේ පන්නරය” ඇගේ සුළකළ'කුරු රුසියානු සාහිත්‍යයට පෙම් බැඳි රසික හැම වෙත වග වෙයි.

ඇය සුභද්‍රා ජයසුන්දර නම් වේ.

http://www.weepingwillowspoetry.org ඇගේ අපූර්වාකාර කවි එකතුවයි..

ඒ අපූරු කවි මංජුසාවේ ඇය බහාලන්නේ තෝරා ගත් කවි කිහිපයක් පමණි. එහෙත්, ඇගේ එක කවියක් සෑහෙන කලකට සෑහේය. ඒවා රස කැවිලි මෙන් පහසුවෙන් වැළඳිය හැකි නොවෙයි.. එහෙත්, රෝස මල් මෙන් මුළු ජීවිත කාලයක් හදවතෙහි බහා තබා ගත හැකි වෙයි.

ව්‍යක්ත ගුණයෙන් යුතු ඇගේ කවි ජීවන දර්ශනයේ අහුමුළුහි නිහඬව වැතිර හිඳිනා සත්‍යයන් ඉහළ ඇද පෙන්වයි. ඇගේ බස මැනවින් හික්ම වූ අවැසි තැන අවැසි ලෙස තැබූ ඉගැඹුරු හැඟුම් සහ ප්‍රඥා රාශියකට මඟ තනයි.. දුවන මිනිසුන් හට නවතින්නට අණ කරයි.

සුභද්‍රා කියැවූ කෙනෙකුට ජීවිතයේ මතුපිටට වඩා අභ්‍යන්තරය ධාරණය වේ. වර්තමාන සමාජ සන්දර්භය තුළටද මුල් ඇද ගෙන ඇති ඉසියුම් පන්ති විසමතා හා වැඩවසම් චින්තනයට එරෙහිව ඇගේ කවි පෙරළි කරයි. ඈ එය අප කාටත් සමීපතම අත්දැකීම් තුළින් අව්‍යාජ ලෙස බල ගන්වයි.

"වැඩවසම් අයිතිය කෙළවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි"

එක කවියක් තුළ විශාල භාව ප්‍රභාවයන්, දැකුම්, ප්‍රඥා අවදිකිරීම් රැසක් පිණ්ඩනය කරයි.

"විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී
....

මියෙන්නෝ භාග්‍යවන්තයෝය
මක්නිසා ද, නොවිඳවීම ඔවුන්ගේය"

"කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට" යි කියා ආච්චී කල්පනා කළ පරණ තාලයට එරෙහි වන අතරම ඈ පිළිබඳව පවත්නා ස්නේහයද ඉඟි කරයි. ඈ මෙම කවිය 'සිහිනය' ලෙස නම් කරයි.

"ආදරෙන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය"

නානා විධ සංඝටකයන්ගෙන් යුක්තව ඇගේ කවි මහා සමුද්‍රයක් මෙන් රළ නඟයි.

"ලා හරිත වෙල් යාය අග පිපුණ
බකිනි මල් සොයා ගිය කෙලි රෑන
රන් පාට කරල් කපනා දිනෙක
කැපුණු පොඩි ඇඟිල්ලක් රිදි මතක
මේ වසන්තය මගේ නොවන බව
කියා දී සිතම අඩපණ කරයි"

අහිමි මහ පොළොව ගැන ඇය අකුරු කරන්නේ ළෙහි පිරී ගිය ස්නේහයකිනි. මවු බිම වෙත ඈ හද පිරි ප්‍රේමය අතුරද්දී ඈ වැන්නන් මවුබිම හිඟ ශෝකය අපිද හද පුරා අත් දකිතැයි මට සිතේ.

හෙළ බසින් විරචිත කව් හළ කොට ඉංග්‍රීසි බසින් ලියූ කවිද විලෝ අතු මත ලියැවී තිබේ..

"The universe has unveiled its immenseness
Familiar ground’s having a peculiar gravity
The northern wind does blow,
The Skies lie on September grey
Though this is June, the second week of June

Since I have never been without you
I never knew that about me
Had I ever known that I was you
I wouldn’t have let you go, without me"

weeping willows poetry කියා නම් කර ඇතත් සුභද්‍රා.., ඔබේ කවි විලෝ පත්හි වැළපුමට එහා ගිය ඒවාය. ඒවා කවි කියවන නොකියවන ඕනෑම කෙනෙකු කියවා කිමිද යා යුතු ඒවාය.


Picture - Crest Pictures http://bit.ly/1WaBPMi

Sunday, August 16, 2015

තියැංජින් නුවර බිඳෙන්නට ඇති



බිඳෙන් බිඳ හැමදාම කැලතෙන
තියැංජින් නුවර බිඳෙන්නට ඇති
තාඕචිං ඔබෙ සිහින් අත්
අඟුරු වගෙ කරවෙන්න ඇති

පන්නරය ලබනව කිව්වට වානේ
ලේ බිඳක්වත් සැලෙන් නැති
ලේ දුවපු ගැහෙන හදවත්
කළුවරෙම මියෙන්නැති

සියලු වෙර යොදා හද
අතින් පිස දමා අළු
රතු ධජ නැඟෙන්නැති
හුස්ම ගන්නට බැරුව
හීනයම මියෙන්නැති!

Picture - http://www.bbc.com/news/world-asia-china-33844084

Friday, August 14, 2015

කොතරම් මිහිරිද හදවත



සරත් සෘතුවේ එකින් එක පත් මත
සැහැල්ලු අඩි තබමින් තාන්තුවාවෙන් ඇවිදින
තාන් ගවුමක් ඇඳි සිහින් යුවතිය

ලිලැක් මල් පිපුණු වසන්ත උදෑසනක් වැනිය ඔබ මුහුණ
සිලිලාරයක් වැනිය ඔබ වදන්
කොතරම් මිහිරිද හදවත

වැව් ඉවුරින් පෙරී එන මීදුම
හැඩි කරයි ඉස කෙස
බලාපොරොත්තුව තිරසරය නොසැලෙන සුලුය
ධෛර්යය යන වදන අසීමිතය
උණුසුම් පුළුලුරක සැඟවීම පමණක් නොහැකි තරමය

Picture - Lavreelena Art Photography

Monday, August 10, 2015

ධාන්‍ය අහුරක් වගේ ඔබ මගෙ සිතේ පැළ වුණු බව



බට පඳුරු අතරින් ඇදී එන සීතල සුළඟෙහි සරසරය
ඉගිලෙයි කිරලෙක් දෙදෙනෙක් අහස වෙත
වසන්තයෙ අග හරිය ගැන සොවින් වැළපෙන මෙන්
තරු කැට බිඳ හැලෙයි පහළට

ඉතා දිගු නිහැඬියාවක උදහසින් දිදුලන ඇස් අතර
හිම කැටියක් වගේ දියව යන හැඟුම්
එක පන්තියකින් අනෙක් පන්තියකට
ගිම්හාන සෘතුවෙන් පසු මට යළි යළිත් සිහි විය
ධාන්‍ය අහුරක් වගේ ඔබ මගෙ සිතේ පැළ වුණු බව

Picture -  Light+Shade, http://bit.ly/1N0WjAY

විප්ලවවාදියෙකුගේ ප්‍රේමය



නිෂ්පාදන ක්‍රම ගිරවක වගේ කියවන කොට
දඩස් ගා හිස කඩා වැටේ පාතට
දෛලෙක්තික' වාදය රෝදයක් මෙන් කරකැවෙයි හිස මත
කරුණාකර 'පලිය' යන වදනට
වෙනත් වදනක් සොයාගෙන පැමිණෙන්න

හුදෙකලා කුටියක වැතිර මැදියම් රැයක
ගන කළුවරට ඇස අයා
විප්ලවය නොව ඔබ පතන්නේ
විප්ලවවාදියෙකුගේ ප්‍රේමය
නොසැලෙන තිරසර ගැඹුරු බැල්මක කැටි වේ සියලු දෙය
අපමණය විශ්වාසජනකය උපමා විරහිතය
උණුසුම් නොවන්නේ නම් ඔබ පොදු දන සුසුමින්
හිම කැට තරං සීතලය

එහෙත් එය
එක ක්ෂණයක් මුළු භවයක් වන තරමට ස්ථිරය

තනිව හුදෙකලා වී තැනෙක
සිටිනු ඇත ඔබ මෙන් තවත් මිනිසුන්
ස්නේහයෙන් ජ්වලනය වන්නේ ඔවුන් හද
විසි කරන්නේය ආත්ම ලාභය
නිහඬව සිටින විට පවා
සියලු කවි අහසට විසි කරාක් මෙන්
රැව් නැඟෙන්නේය

විප්ලවවාදියා විප්ලවය වන්නේය.

Picture - Alexey Slusar

ලොව මිහිරිම සුගන්ධය



රතු පාටට මල් පිපුණේ වැහි මල් කන්දේ
පාවා දුන් නිසයි බඹරු මලක සුගන්ධේ
සොහොන් කොතින් සොහොන් කොතට
නැඟෙන්නේ උණුසුමය ප්‍රේමය
හදින් හද වෙලී ගලා යන්නේ

රන් සමනලයෙකුව එපා මා අමතන්න
ගැඹුරු තිරසර බැල්මක ගිලී මට මියෙන්නට දෙන්න
රුහිරු හෙලූ යුක්තිය ගරු කළ දන
කඳුළින් දහදියෙන් කම්කරු පන්තියේ සුසුමින්
ලොව මිහිරිම සුගන්ධය තැනී ඇත
එය සදාතනිකය

Picture - Christina Nguyen

Friday, August 7, 2015

දෑසමන් සුවඳ ඉසින හිසකෙස



පූරියක් වගේ පිම්බෙන්නෙ සඳ
මඩොල්සිමෙන් එබීගෙන හැන්දෑවට
මොට්ටුව වැහෙන කොට අඳුරට
දෑසමන් සුවඳ ඉසින හිසකෙස

තාරුකා'ළිය ඉරබටු තරුව
දිය කඳුරු ඉහිරෙයි කඳු ඉවුර
නීලමණි නෙතු යුග සොඳුර
නොලියැවෙන කවියද මධුර

රෑ බදුල්ලන් වගේ තැන තැන
එළිය දෙන තරු පලිඟු නුඹ ගැන
සීතලම සීතලයි කඳු උර
උණුසුමයි  හද!

Picture - Sophie Narses http://bit.ly/1IB60lw