Sunday, November 22, 2020

ස්වභාවික යුක්තිය




















ගන අඳුරු රාත්‍රීන්වල
ස්වභාවික යුක්තිය පැමිණ මා හිස මත
සියුම් වීදුරු කැබලි මෙන් ඇමිණෙයි
වේදනාවෙන් හැකිළෙන කල්හි
මස් පිඬු පවා පෙරළ වැළපෙයි

කිසිදු සාක්ෂියක් නොමැතිව
වෛරයකට පිළිතුරු බැඳිය යුතු පරිදි
කුඩා දැරියක වැළපෙයි
සියලු සැත් අතින් ගෙන 
වන සරන මෘගයන්
නිදහසේ ඇවිදියි

උත්තරීතර නීතිය 
කිසිදිනෙක අසා නැති
කිසි දිනෙක දැනී නැති අය
පෑනද තීන්තද ගෙන
සුදු වතින් සැරසෙයි

- ෂසිකා අමාලි මුණසිංහ
Painting: Elizabeth Catlett (American, b. Mexico, 1915–2012): Mother and Child, 1944.

Sunday, November 15, 2020

නීතියෙ රන් දේවතාව

watch JUSTICE

බලවතුනට රන් පෑනෙන් දුගියන් හට රත් කෙවිටෙන් යුක්තිය හප ගා මිරිකා සත්‍යය මිය ගිය දවසක යාරා ගං ඉවුරත හිඳ මම හැඬුවෙමි ඉකි බිඳ බිඳ නීතියෙ රන් දේවතාව වසමින් රන් මංජුසාව දියාරු වුණු දුක් කඳුළක් ගඟ දිය වෙත විසි කළාය නීතිය සෘජු වී වියරුව කඳුළු පෙරෙන නෙතු සඟලත නීතිය වක් වී මිය යයි මිරිවැඩි සඟලත පතුලත - ෂසිකා අමාලි මුණසිංහ

Friday, November 13, 2020

රචනාව සහ පහ වසර


පාසල් ගොස් පැමිණ නෑමද කෑමද අහවර කර ගත් මම ඉස්තෝප්පුවේ බංකුව මත හිඳ ගත්තේ පහ වසර ගුරුතුමිය හෙට ලියාගෙන එන්නට කියූ රචනාව ලිවිය යුතු බැවිනි. රචනාවක් ලියන්නට තිබියදී සෙල්ලම් කරන්නටද මට හිත නොදුන්නේ, රචනාව හිත උඩ මහ කරදරයක් මවා තිබු බැවිනි.

වසන්තා ගුරුතුමිය අපගේ පහ වසර ගුරුතුමිය වූ අතර ඇයට පහ වසර පන්තිය භාර වී තිබුණේ පළමු වතාවටය. ඉඳින් ඇය අපට ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නට උගන්වමින් සිටින්නීය. එහෙත් ශිෂ්‍යත්ව විභාගය යනු කවරක්දැයි අප හට කිසිදු හැඟීමක් නොතිබිණ. අප පාසලේ ශිෂ්‍යත්වය සමත් ළමයින් සිටිනවාද යන්නත් අපි නොදැන සිටියෙමු.

'කඳුකරයේ හිමිදිරි උදෑසනක්' රචනයේ මාතෘකාව විය. රචනාව නොලියාගෙන යෑම මහා අකීකරුකමකි. රචනාව ලිවීම මහා කරදරයකි. එම හැඟීම්වලින් වෙළෙමින්  බංකුව මත පැද්දි පැද්දී සිටි මම ඊළඟට එහි දිගා වීමි.

බංකුව මත දිගාව ඇස් ඇර බැලූ කල ගෙය අසල කන්ද මා අසලම සිටගෙන සිටින්නාක් බඳුය. සන්ධ්‍යා හිරු එළිය එහි මුදුන් පෙතට වැටී රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. කඳු ඉස දිය ඇලි පෙනුණේ ගොලුබෙල්ලෙකු ඇවිද ගිය රිදී පැහැ ඉරි පාරවල් මෙනි. එහි පහළ කුඩා කඳු ගැට පාසි ඇලෙව්වාක් බඳුව හරිත පැහැයෙනි.

කඳු තුංගය ද්වාර සලකුණු ඇතිව කටාක්ෂ නිරීක්ෂණයක යෙදී සිටී. එය ගුහාවක් ලෙස සැලකුණු අතර කතරගම දෙවියන්ගේ වාසස්ථානයක් බවට පුරාවෘත්තයක් විය. දෙවියන්ගේ සළු සේදීමට ගමේ මිනිසෙකු වූ හේනේ මාමා නිතර පාහේ එහි ගියේලු. එයට සැලකුම් ලෙස රස පලද දිව්‍ය භෝජනද රස බලන්නට ඉඩ ලැබිණ. රස විඳීම පමණි; ගෙදර ගෙන ඒම අකැප විය. දවසක් රහසේම ගෙදර ගෙන ඒමට රස බොජුන් අඩුක්කු කරගත් හේනේ මාමා දුටු දෙවියන් කෝප වූයේලු. දෙවිඳුන් ගැසූ පහරින් කඳු මුදුනේ සිට ගමට විසි වූ හේනේ මාමා වැටුණේ කුඹුරකටය. හේනේ මාමා වැටුණු කුඹුර 'හේනේ අරාව' ලෙස නම් වුණේලු. එම කුඹුර අපේ ගෙය අසලින් ගලා ගිය ගල ඔයට එපිටින් වනයට මායිම්ව පිහිටා තිබිණ.

හිටිහැටියෙම මා අසල සිටි කඳුකරය නොපෙනී ගියේය. මඳ පවනේ හොඳින් හුස්ම ගනිමින් සිටි මා ඊළඟට ඇහැරුණේ, කබරගොයෙකු 'ජබොඃ' ගා ගෙය'සල දිය කඩිත්තට වැටුණු හඬිනි. රෑ බෝ වී තිබූ අතර කඳුකරය අලු පාට සාලුවකින් වැසී ගොසිනි. කුඹුරට ගිය ආච්චීත් සීයාත් ඇළ දිගේ ආපහු එන'යුරු පෙනිණි. මම දඩි බිඩි ගා බංකුවෙන් බිමට පැන්නේ පොතත් පෑනත් බිම දමමිනි.

මොහොතකින් ලාම්පු දැල්වී ගෙය එළිය විය. එහෙත් රචනාවට අකුරකුදු එක් වී නොතිබිණ. මගේ හිත මෙන්ම අතද හෙමිහිට ප්‍රශ්නෝත්තර පොතෙහි උත්තර කොටස වෙත යා වෙමින් තිබිණ. අභ්‍යාස පටන් ගත් පළමු දිනම පොතෙහි උත්තර කොටස අප විසින් ඉවත් කළ යුතු බව ගුරුතුමිය දන්වා සිටි අතර අම්මා එය පහසුවෙන් ගලවා ගත නොහැකි ලෙස කටු ගසා පොතට යා කොට තිබිණ.

රෑ බෝවී ඇත. හිමිදිරි උදයක් ගැන අදහසක් නැත. අම්මා පෙනෙන්නට නැත. එක පැත්තක කටු ගැලවූ මම පිළිතුරු රචනාවට එබී බැලුවෙමි. "දෙයියනේ, මේකෙ ලස්සන!" එය වචනයක්වත් ඉවත් කළ හැකි රචනාවක් නොවේ. මුතු ඇට පිනි කැට, මිහිදුම ගැවසි හෙල්මලු කෙත්, කනමැදිරි එළි විහිදුවමින් මිහිදුම බිඳ ඇදී යන දුම්රිය.. මා දුම්රියක් දැක තිබුණේ පින්තූරවලින් පමණි. ඉන් කුමක් වේද? මා පින්තූරවලින් හෝ එය දැක ඇත.

වචන වෙනස් කර යළි යෙදීමට නම් සමාන වචන සොයා ගත යුතුව ඇත. එය පහසු නැත. එහෙත්, 'සහ' වචනය බොහෝ වාරයක් යෙදී ඇත. ඉඳින් මම, රචනය පිටපත් කරන අතරේ, 'සහ' සඳහා 'හා' ද 'එමෙන්ම' සඳහා 'එසේම' ද මාරු කර දැමීමි.

පසු දින ගුරුතුමිය වෙත රචනය කියැවීමේ මගේ වාරය උදා විය. මම කිසිදු වෙනසක් නැතිව එය කියවාගෙන ගියෙමි. ගුරුතුමිය උත්තර කොටස කියවා නොමැති බව පෙනේ. හිත ගැහෙනෙක මන්දගාමී බවට හැරේ. එහෙත්, මට මා අසල උන් යෙහෙළිය බලු නකුටු මල් පැහැ ගත් ඇගේ ඇස් කරකවමින් මා දෙස බලා සිටිනා හැටි ඇස් කොනින් පෙනේ. ඉඳින්, තවත් මට කියැවීමට ලැබුණේ පේළි කිහිපයක්ම පමණි. "ටීච', මෙයා.....කොපි කරලා.." යි ඇය කෑගහන්නට වූයේ, හරියට මා ඇයට ගැහුවා වාගේය. මම බලු කුක්කෙකු මෙන් නකුටු අකුලා ගතිමි. මගේ යෙහෙළිය මට පෙනුණේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූවාක් වැනි ජයග්‍රාහි ලීලාවෙනි.

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Hans Heyerdahl, Swedish, 1857-1913