Thursday, November 29, 2012

ඔබට සිහි විණිද?



වැසි දියෙන් ගැලවෙනු පිණිස
ඉටි ගවුම් ඇඳ
රබර් යුවතිය

මහ වැස්සේ ම
තේ ලිය
නෙළන ලිය
කඳුළින් පිරෙන කූඩය

ඔබට සිහි විණිද,
මහ වැස්සක උණුහුමින්
තේ රසයෙන් පිනන විට
රබර් මෙට්ටයක කිමිද
උණුසුම විඳින විට
ඔවුන්?

Picture - Mary Cassatt, Afternoon Tea Party

Tuesday, November 27, 2012

අඳුර



අතපය රිදෙන හැටි
දන්නවා නම් අඳුර
රාත්‍රිය වී ඉඳි යි
මා මියෙන තුරු ම

නිමක් නැති වැඩපලෙහි
අතර කෙස ඉදිණ
එළිය නිව් දර ලිපෙහි
තනි ව බත ඉදිණ

ජීවිතේ හැටි ය මේ
වදා හළ රුවින
ලොකු මහත්තුරු අහල
මට අහක බැලිණ



සොඳුර නුඹ නිපාතයකි

http://arunishapiro.files.wordpress.com/2011/04/proto-sinaitic-inscription1.jpg
සොඳුර නුඹ නිපාතයකි
මා හුස්ම'රුත්
උඩු ද යටි කුරු කරන

එහෙත්, නැත, ප්‍රියය,
නුඹ මා අතැර ගිය පසු
කිසිදු අරුතක් නැති
තනි වචනයක පමණි
ජීවිතය සොයන

සිහසුනක් නැති රජෙකි ප්‍රේමය

සිහසුනක් නැති රජෙකි ප්‍රේමය
දිදුලන්න නිල් නුවන් අනවැසි
ගල ගලා යයි මඩ දියෙහි වුව
මහ හඬින ශ්ලෝකයක් කියමින

ගෙඹි බිරින්දෑ තියා අඩි බර
හෙමි හෙමින් යයි පුතුන් දැකුමට
ගෙඹි මහතෙකි ය හබරල කුඩය ගෙන
සුනංගුව හිනැහෙමින් විමසන

වැසි කල ය ගං පිට ආර යන
ගන්ධාර රාවයෙන් වොරැඳෙන
කවි කැලය සිඳ බිඳ දුවන් යන
ගහ කොළන් දැක මුවන් නැවතෙන
 

මේ සඳ ම අවර'ඟන පායාද නුඹ ඇස?



අප්පච්චී ගියා හැර මහා අකුණක් සමඟ
අඳ කුඹුර පාලු කර දෙබැම පුපුරා හැලුණ
පාර සොයමින් නුඹට ගෙදර පෙන්වන පිණිස
දුහුවිල්ලෙ පොර බඳින පුරුදු සුවඳක් නොවෙද

නුඹ තබන තබන පිය පිපුණු මල් පුදන්නට
තද සිහිනෙක මල් ගිලිහුණා සුළඟට
නුඹ සෙල්ලම් කෙරුව කලා වැව අද්දර
දිය සිඳී ගොස් හඬ යි තනි ව වැහි ලිහිණිය

සුසුමකින් මුදා හැර ජීවිතය ඉවතට
පිලට වී මඟ බලා උන්නු සඳ නික්මිණ
තනි ව පිස ගෙන දිවිය සොයන සඳ පුර සඳ
මේ සඳ ම අවර'ඟන පායාද නුඹ ඇස

ගසා සමනල තටුව වසන්තය අසුන් ගත්
මලුයනක මිහිරි වෙණ වයන්නෙද අහස් ගඟ
ළපලුරක් මත තව ම හිස තබා ගෙන කව
ගිනි වදියි පිනි කඳුළු අඳුරු මල් තෙමමින

Sunday, November 25, 2012

කිණිස්සක් වෙන්න


මා හද මතු පිටින් පැන යයි ඔබේ කවි
ඒ නිසා මං කැමතියි
කවියක් නොවී ඔබ කිණිස්සක් වෙනවට

බොහෝ කලකට පෙර
මියගිය හදවතක
යළිත් ගිනි අවුළුවන්නට
කවියකට පුළුවන්ද

එසේ නැතිනම් මගේ හදවත
ගන්න ඔබ කඩු තුඩගින් විනිවිද
රතු පෑය අරන් මුහුණට ගැහෙන්නට ආසයි මම

මා හිත ගත් කමිසය හුරුබුහුටි
පඬු පෑය සූරා හැර කවිය
නහවන්න සාදලිංගම් රතු පැහැය
ඔය පෑන විසි කර දා ඉඳින්
ගන්න මා ඉකිබිඳුම තුඩ'ගට


Saturday, November 24, 2012

රුව


ගඟ දිය ම හැඩි කළෙමි
නොපෙනෙන පිණිස රුව
එ සඳ ඔබ මතු විය
පුර පස ම දෙබෑ කර

කොවුල් වීණා නද ගෙන
කොනිත්තන හද සකිසඳ
කිමද නුඹ දුක විඳ විඳ
අහිමි කවකට පෙම බැඳ

සංසාරය


සෙනඟ මැද හුස්ම හිර වෙවී
දහදිය මුගුරු වගුර වගුරුවා
අපි ඉතින් යනවා මේ ගමන
කුසගිනෙහි පෙළි පෙළී
පිපාසාවෙන් වෙළි වෙළී
කවුළුවෙන් එපිට වැස්සට තෙමෙන්නට
බසයෙන් බැස නවතිනු නොහැකි ව
හැම උදේ හවසක ම
අපි යනව සංසාර ගමන

හැම විට ම පත්තු වෙන රතු එළිය
පැය ගණන් පෝලිමේ හිට ගෙන
හරි ට්‍රැෆික් මේ සංසාරය
දූවිලි හුස්ම හා අඩි තියන නගරය
සිහිනෙකින් ඇස් ඇරී බැලුවත්
පියක්වත් තබා නැති ඉදිරිය


පැතුම්


විලක් හිතුවා ගඟක් වෙන්නට
සිත් තොසින් මඟ ඇවිද යන්නට
ගඟක් පැතුවා විලක නිසසල
නිහඬ අරුමය තඹුරු පුබුදන

පච්චයක් කෙටු ගඟ


හද අගුලු ලා ගඟක
පච්චයක් කෙටු හෙයින් තරුවක
ගඟ වෙව්ල වෙව්ලා සලයි
බලෙන් ළැම දිලෙන සඳ

ගඟ


හද අගුලු ලා ගඟක
පච්චයක් කෙටු හෙයින් තරුවක
ගඟ වෙව්ල වෙව්ලා සලයි
බලෙන් ළැම දිලෙන සඳ

සාදලිංගම් රතෙන් මත් ව
ගලයි ගඟ දෙකකුල් දිගේ සඳ
මල් එකින් එක විසුළ සුළඟට
තුරු නෙත් අයයි මළගම

දෑත පටලා සසර මඟ
රළු බොරළු බිම ඇදෙන සඳ
සෙමින් හිස පිරි මැදි රුව
කඩා වැටුණා නිම්නෙට

තඹුර උදුරා ගැඹුරු ම
විස පෙවී තනි ව සිහිනෙන
සැමියා වඳින ගත තව
අත් පසුරු ගා සොයනව ගඟ

ගෙදර එනවද නැවත



වල දමා ආ දා තරුව
තෙමි තෙමී ඇඬුව මහනුවර
නුඹට මතකද තව ම
මා දමා ගිය බිරිඳ

හුළු ගඟෙන් රැළි නැඟී මැකූ යුග හසරැලී
දැස අග වෙලි වෙලී අඳුරු තිරකඩ අදී
කළුවර ම දවාලෙත් දුදුලු කඳුළෙන් වැසී
කඳු මතින් බිමට පැන රිදී ඉදිකටු අනී

කොකුම් සුවඳැති වරල විදා මා වැළඳ ගත්
සරා සඳ අහස හා විරසක ව යන්ට ගොස්
අහස අඳුරු ව හඬන හැටි නොදන්නෙද සඳක්
දුක ද ගල් ගැසී යයි අහිමි සඳ උරහිසක්

සඳේ ළය දෙපලු වී වලාවක ඇනෙන්නේ
නුඹ කූරු වී ගිහින් වක වෙලා පෙනෙන්නේ
සඳට කිරි එරෙන බව නොදන්නෙද කියන්නේ
එළි පුඤ්ජ එකතු කර යළි තරුව තනන්නේ

අකුරු හා පාපිලී නොදන්නෙ ය ගොතන්නට
ඇලපිලි ද ඉකි ගසයි නුඹ සොයා ඇදෙන්නට
නොදන්නෙමි සොඳුර මම මගේ දුක ලියන්නට
ගෙදර එනවද නැවත අපෙ තරුව සොයන්නට

අත්තටු


Indian Child with Tear - Grace Carpenter Hudson

ඇස්වලට මේ හැටි ම වද දෙන

දුක් කියා දේවල් තියෙනවද
ඉගෙනගත්තත් අපට ලොකු මිනිසුනට 
මෙන් අත්තටු මැවෙනවද

අත් උදවු දෙන්නට අහස ඉඹ
නැඟෙන රජ මැති මාලිගාවට
දිය ද ගඩොලින් කඳුළු අහසින්
උමතු වී ඇමිණුණා කවි පද

අත් වැරැද්දෙන් වියන විසිරී
කුරුල්ලෙකු මෙන් බිමට ආ සඳ
රක්ත වර්ණෙන් පාට කෙරුවෙමි
අඳින්නට බල බලා උන් සඳ

අම්මෙ අමතක වුණා නොවෙ මට
මාසෙ අන්තිම බේත් පංගුව
තෙමී දියබත් කළා කාලය
අකුණු ගසමින් වීථි කණිසම



Friday, November 23, 2012

"මිහිමවුනි, පිළිගනු මැන මා සිරුර.."


Monet painting
මිහිමවුනි,
අනුභව කර ඇද්ද අප ඔබ ව කොතෙක් නම්
ඔබ කොතෙක් කීතු කීතුවලට ඉරා ඇද්ද
කුණු කසල ලිංගයන්ගෙන් දමා ගසමින්
සිඳ බිඳ ඇද්ද සැළමුතු බව
පොර කා ඇද්ද කොතෙක්
ඔබ කොටස් කොටස් වලට කඩා 

අයිති කර ගැන්මට
ඔබ ගත මායිම් ලකුණු කර
කවර නම් ඔප්පුකර ලියා ඇද්ද
කොතෙක් නඩුකර කියා ඇද්ද
යුද ලෙයින් ඔබ ගත සිදුරු කර ඇද්ද
අවසන ඔබට පෙර මිය ගිය සිරුර
පිළිගන්ට ආයාචනා කර ඇද්ද

ඔබට හිමි කොටස


http://neurosciencenews.com/neuroscience_images/forget-him-autobiographical-memory-public.jpg

කෙළ පෙරෙන ඇඟිල්ලෙන්
මකා හරිමි
චිත්‍රයේ ඔබට හිමි කොටස

සායම් ගෙන වනවලින්
මහත් වැසි හා කලතමින්
තෙත මාත්තු කරමි වසන්තය
ඉනික්බිති නැවතෙමින්
සීරී ගිය පත් කුඩ
හි
වර්ණ මල් පළඳමින්


දික්පිටිය උඹද පුස්පෙ-


http://blog.scienceinsociety.northwestern.edu/wp-content/uploads/2012/08/RomeoandJulietPaintingWikimediaPublicDomain.jpg

පුස්පෙ මම
එන ගමන් මඟ
අද ටිකක් ෂොට් එකක් වැදුණා
ඔන්න ඔහෙ වැනි වැනී එනවා

කෙළින් හිටියට බොහොම
කවද කින්ද මන්ද ද හරි ගියේ
මං නැති වරේ ගෙදර ගෑනිත්
අරගෙන ගියා උඹ පුස්පෙ
ඉතිං පුස්පෙ මං
ඇයි එන්නෙ වේලහන ගෙදර

එකට ම යි උඹ මම හිස් කළේ ජීවිතය
පුස්පෙ මේ අගුපිලේ
බෝතලේ අඩිය පේනකොට
මට පෙනුණෙ ඇගෙ ඇස් සානු යුග
නිම්නයක් වෙනකොට ඇය
ගඟක් වෙන්ඩ යි මං හිතුවෙ
ඉරක් වී උඹ පුස්පෙ
ගඟ සිඳ දැම්මා නිම්නෙ
දැන් ඉතින් මේ ලෝකෙ
මල් පිපෙයිද බං ආයෙ

උඹ ඉන්නවද පුස්පෙ
ඈ බලාගන්නවද පුස්පෙ
නිවෙනකල් මගෙ හුස්මෙ
මං තනි වෙලා පුස්පෙ

උඹ කියපන් ඇයට
ඇගේ මුව එපා අහසට
ගොම්මන තමයි රිසි මං
මං මළත් නොපෙනෙන ලොවට

දික්තලා ඇයද පුස්පෙ
දික්පිටිය උඹද පුස්පෙ
මට ඉතින් නොපෙනෙන හීන
උඹට පෙනෙනවද පුස්පෙ

Sunday, November 18, 2012

පහන් තරුවක්


 
දැන් අත්තම්මා දිරා ගිහින් ඇති
මිහි මවුන් ආදරෙන් වැළඳ ගෙන
ඇගේ පෙම්බර ලකුණු පෙන්වා
හිනා වෙයි බෝවිටිය ගොන්න ම

ගොම්මනේ ගන කළුව මැද වැද
ඇවිද යන අත පත ගගා මඟ
අත්තම්මා මට දීල ගිය
විදිලි පන්දම
තව ම දිලි දිලී
එළිය පෙන්වන

නගුලු ගෝනුසු ලකුණු පෙන්වා
හිනාවෙන තාරකා පන්තිය
පරයමිනි එක පහන් තරුවක්
කිම්ද මේ හැටි එළිය දීගෙන

ගසක් වී අතු නමා අදරින්
සියලු දරුවන් එක මිටට ගත්
සිනාසෙයි අස්වැන්න සේ ඈ
තනතුරු ද නිල නම්බු නොදැන ම

Monday, November 12, 2012

Thou, Migraine,

I will die like a little bird
I had a conscience till today, this moment
Thou, Migraine, You should know this

I had no boundaries
Trees, mountains are kissed
With love and kindness
Thou, Migraine, You, Unknown that

I was a pen in my lifetime
I saw laugh as well tears
Now I can go far away with the death
You do not Know that, dear Migraine

Sunday, November 11, 2012

පලා

සල සලා පිනි නෙළ නෙළා දළු වෙල් අසල දණ ගසන්නේ
පලා නොම ගිය ජීවිතේ ගෙන පලා රස ගුණ සොයන්නේ
බලා අවසර හෙළා බැල්මක් ජීවිතය කැටි කරන්නේ
පලා අම්මා අකුරු නොම දැන යුග තුනක කවි ලියන්නේ

'වසර ලද හැම විට ම යුග ඇස අහසට ම යොමු කරන්නේ
සියලු දුක දුරු වෙලා දරු සය දිවිය ලෝකය පතන්නේ
ගොර බිරම් අස හිස නමා හිත සිනා මුහුණින් මකන්නේ
හැඹිලියේ ලා නොගෙන දුක් කඳ ඇළ දොළට විසි කරන්නේ

ඈ නික්ම ගොස් තිබුණා ය


ඉර සත් කඩ පැලී
ලේ ගලන්නට වුණු අකුණ
හොරණ බසයක සෙනඟ මැද
හිඳි විටෙක වැදුණි ය
මගේ දුරකථනෙට

මුහුණවත් බලන්නට ඉඩ නොතබා ම
අවසන් ආශිර්වාදයේ තාල මාත්‍රය
ළං ව හිඳ මුමුණන්ට නොතබා ම
සසර පුරා ම එකට එන බව
දෑත දෝතට ගෙන සපථ වන්ට ඉඩ නොතබා ම
ඇය ගිහින් තිබුණා ය

නගරය ම පිපිරුණු
ලේ විලක් විය එසැණෙහි ම
අහස මත වූ රතු වලාකුළු
අඬන්නට විය තතු නොදන්ව ම

බමන මතින් මෙන්
පෙරළෙන්ට විය
ගිඩි ගිඩි ගා මහ පොළොව
දහඩිය පෙරා ගෙන මහ හඬින්
කෑ ගාන්ට විය රිය පෙළ ම
මේ කිසිත් අසන්නට ඉඩ නොතබා ම
දුර ඈත රෝහල් ඇඳක තනි ව ම
ඈ නික්ම ගොස් තිබුණා ය

සියලු කවි මහ මඟ ම අත් හැර
පිටවන්ට ගිනි අකුරු පෝලිම
ඩොක්ටර් ශ්‍රී ලාල් ඔබ දන්නව
මේ හැම
අත්තම්මා රැක ගන්ට මා දරපු වෑයම
ඇගේ හද වෙණ තත් බිඳුණු ගී රාවය
අත්තම්මා කැටුව ආ මිනිපිරිය මතක් වෙන්නේ නැතිවද
ඩොක්ටර් ශ්‍රී ලාල් ඔබ දන්නවද මගෙ අත්තම්මා යන බව

ඈ රැකගන්ට වුණිමි මම
ඉර හඳ පවා විසි කොට
මා එන්ට කලින් සෙවණට
ඈ යන්න ගිහින් තනි ව ම

අත්තම්මේ අසිහියෙන් ම අවසන් සැණ ගෙවුණු වෙලේ
මතක් වුණිද අපි දෙන්නා කළුතර බෝධිය වැන්දා
හති ඇර ඇර සසර ගමන ගල් පඩි නැඟ අපි දෙන්නා
බුදු හිමි සෙවණට ඇවිදින් කන්දෙ විහාරය වැන්දා

නිතර නොදැක නුඹේ හිතට රිදුම දුන්න මුදු බැඳුමත්

භවයක් විය හැකි ව තිබුණි මා සිටියා නම් මොහොතක්
අත්තම්මේ ඒ වුණාට මං අඬනව හැමදාමත්
නුඹෙ පැටලෙන වචන නැති ව ජීවිතය ම හරි වෙහෙසක්

Saturday, November 10, 2012

වෙඩ්ඩාගේ 'අත්තම්මා' සහ රත්න ශ්‍රීයන්ගේ 'මවු නැති මවු බිම' කියවා

හඬා වැටෙ යි උදෑසන..
ගල් ගිල්ලා වගේ සිටි යි උසට උස ගොඩනැඟිලි
මා වටා පිරී ඇති මේ පයින් ගස් කුමට ද
කුඩා කල සැරසූ අඹ දඹ නාරං ම මිස
කුමට ද මේ
ඇල්සේෂන්  බලු තඩියන්
ගෙදර ගොම ගෑ පොළොව වැතිර නාටු වල්ගය වනන
බින්දුවා තරං අගේද උන්

මිය ගිය තැන්වලින් නැඟ නැඟ නැඟ එන්න
ජීවිතේ බග තරුව වී අහස සරහන්න
මල් මකරන්ද මැද ජීවිතේ තෙත් වන්න
මගේ ගම නෑයනේ මා සොයා ගෙන එන්න

මේ කඳු ෆයිල් මිටි වීසි කර දමමි මඟ
මල් මුහුලසක් වී මතකය ම ආ සඳ
කන්කලු ය බක් මහේ කුරවි ගී රාවය
රතු පාට හිනාවෙන තුරු වසත් සමය ම

අරුමැසි සඳ


 

කාටත් වැරදුම් විය හැක
නම ගැන තණ්හා නැති කොට
නිවන් යන්ට මඟ පෙන්වන
නුඹ ම නොවෙද අරුමැසි සඳ

ගඟ දිය විගහින් හැඩි කොට
නුඹ රුව පලවා හැරි විට
ඇසින් හැලෙන කඳුළු බිඳෙක
'විත් සැඟවෙ යි අරුමැති විල

ලල් ලල ලල් ලල් ලල ලල්
සල් උයනක පුසුඹක් යට
බෝසත් වී ඉපදෙන්නට
පිරු පිරුමෙහි වරද කුමට
 

වැහි ළිහිණියන

මල් පිරුණු තැනිතලාව තල්ලු කර ගෙන එමි නගරෙට
හීන් සුළඟට කතා කරන රුක් අත්තන සුවඳ සමඟින
ළං ළං ව ගතු කියන තරු යුවළක් අසල
හිනා වෙන හැටි දුටුවද නිකසල සඳ මඬල

ගිම්හානයෙ ගිලිහුණ වලා පෙළවල් අතර
නිලන නිරුවත් අහස කඳුළු බිඳුවක් රැගෙන
වස්සානෙට ම නිතොර මඟ අසන
විලාසය දුටුවෙහිද වැහි ළිහිණියන

Friday, November 9, 2012

ඩෑෂ්,

http://img.bollywoodsargam.com/albumsbolly/John_Abraham/BollywoodSargam_dot_com_Model_john_ebraham_003.jpg

ඩෑෂ්, මට ඉංග්‍රීසි කතා කරන්ට ඕනෑ ය
ඔබ දෑස තුළ මා ගිලී ඇමිණී ගිය දිනෙක
හදවත කෑ ගසද්දිත් මුව ගොළු විය
නොදැන ඔබ බස
ඔබ ඉගෙන ආවෙහි ය මා හා
කතා කරන්නට සිංහල
"පුංචි ගෑණු ළමයා.."
ඔබ මිමිණී  ය මා කණට
ඔෆීසියේ සියලු දෙන
නොතැන් වන තැන් බල බල ම

ඩෑෂ්, මහ මඟ ද කඳු අතර පොත්ගුල්හි ගැවසි
සියලු ඉංග්‍රීසි වචන ගෙන
දමා ගසමි ඔබ පපුවට

ඩෑෂ්, මට ඉංග්‍රීසි කතා කරන්ට ඕනෑ ය
වැසි ගැන ඔබ කියන කවි අහන්ට ඕනෑ ය
නොතේරෙන දෑසින් මා බලා සිටිනා විට
"English is great. You wanna learn it.."
නැවත මට ඔබගෙන් ම අහන්ට ඕනෑ ය
ඔබේ දුම් බොන පෙම්වතිය ආ දින
මගේ ළය ගිනි කූරු වදිමින්
පිළිස්සුණු අයුරු
ඔබට කියන්නට මට ඕනෑ ය

ඩෑෂ් ඔබ සමුගෙන ගිය දින
අත මිරිකා කියූ කවිය
ඉංග්‍රීසියෙන් ලියන්නට ඕනෑ ය
අනේ ඩෑෂ් මට ඔබේ ඇස තුළ ගිලී යන්ට ඕනෑ ය

Thursday, November 8, 2012

දර ලිය

එළලිය වන් එළුලිය
කල එළියක් ගෙනලිය
නොවේද ඈ සලෙළිය
අහපි අහල බැළලිය

බකල කකුල් පෙරළිය
සකල තැන ම සරැළිය
කුමට සුවඳ අරලිය
සුවඳ ය මගෙ එළලිය

එකතු කරන් හඳෙළිය
පාට කරමි මුව ලිය
හොයන නොයෙක හෙරළිය
විටෙක ඇය ය දර ලිය

Wednesday, November 7, 2012

'යකින්නිය'

වටපිට සියලු මිනිසුනගෙන්
ගරු නම්බු ලද 'යකින්නිය' නම්
මම ගැහැනියක්මි පුත
පෑනෙන් පින්සලෙන් නොව
දබරැඟිල්ලෙන් ජීවිතය ලිවූ

පුත නුඹ පිය සඳ දිවි සෙවූ ගස් අතර
මොර සූරන වැසකට අසු ව
ළපල්ලක් සේ ගිලිහි උන් දිනෙක
සියලු කඳුළු අහවර කළෙමි
කුසෙහි උන් නුඹ ද සොඳ
නුඹ කුඩා සොයුරියන් තිදෙන ද
රැගෙන ගිරි දඹ නඟිනු පිණිස ම

පුත එ මඟ පිය නැඟ
ලිස්සා යන විට නිම්නවල
බෑවුම් ද කඳු හෙල්වල
තුරු ගැහැණු බදා වුන්
නොයෙකාකාර වැල්පටවල්
අත දෙන්ට පොර කෑ 'නමුදු
නුඹ සිවු දෙන ද අතින් ගෙන
නැඟුණෙමි සීරී ගිය දණින් ම මම

නුඹ පිය සෙවණ යට උන් සඳ
හෙල්මැලක සියුමැලි හඬ
ගොර බිරමට නඟන්නට වුණෙමි
හෙල ගල් මුල් පෙරළන්ට වූ සඳ
වන සතුන් නෙක වෙස් ගෙන
අප සපා කන්ට ආව ද

මහා සැඩ රළට අසු ව
ගසා ගියෙමි කාලයේ දිය පහරට
සොඳුරු ඉවුරක රැඳී
පුත දියණියන ඔබ
පිපෙන තුරු සව්සිරි දි දී

Tuesday, November 6, 2012

සඳට පෙම් බැඳි තිසර


සඳ පෙනැහැල්ලෙහි
දූවිලි පුරවාගෙන
ඇමිණී තට්ටු නිවසක
සිටී පණ අදිමින

කඳු හිස සිපත් පෙම් අමතක ව
නගරයට ආ දා සිට ඇය
ගඟ දිය හැඩි වන්ට විය
නිලින කරමිනැ එළිය

අහස සිදුරු ව වැටිණි
සඳට පෙම් බැඳි තිසර
ගිලිහි අතැඟිලි දැක
ගිරිඳ ළය පිපිරිණ

ගංගාව ගාව ලෙය කැටි ගැසී
ගං පත්ල මැකිණ ගේ පද
සඳට නොපෙනී මැකී
ජනේරුව පැළඳි මල මියැදිණ


හමු නොවිණි ඇය මට
මල් පිරුණු උද්‍යානයක
නිල දිය කඳුරු පිරි නිම්නයක
තුරු ලතා වෙළා ගත් සුවඳැති සානුවක

වැඩ මුර අවසන් වන පැයෙක
හයිලෙවල් පාරේ ඇදුණ
අතුරු සිදුරු නැති මිනිස් ගුලියක
දහදිය ගඟුල් උනන
හුස්ම හිරවෙන බසයක
බිම බලා ගෙන සීරුවට උන්
දහදිය වෙහෙස පාට ගෑ
පොඩි ව ගිය භාව චිත්‍රයක් මෙන්
සාරියක් තුළ සිර වී උන්
දුටිමි මම ඇය පළමු වර

හද ගැස්ම නැවතුණු බව දැනී මෙන්
හෝන් ගසන්ට විය රිය පෙළ ම තරගෙට
විදුලි රැහැන් මත නැවතී උන්
කපුටු පවුල් එක් ව
තටු ගසන්ට වූහ හිටිවන ම
විදුලි පහනක් ඉඟි මරන්ට විය
සිය එළිය නිවමින් දල්වමින්

තුරු අතරින් තෙරප තෙරප
නිදහස් වූ සඳක්
අරණ ඉස්මත්තට නැඟෙන්නා මෙන්
දුවිලි වලා පිස දමමින්
මා නෙතු අග ගිලී
පායා ආවාය ඈ


උදෑසන

පෙර දින වෙහෙස
නිවෙන්ටත් කලියෙන්
කවුළුව ළඟට විත්
තට්ටු කරයි උදෑසන

ජීවිතේ මුට්ට බර තල්ලු කර ගෙන යන්ට
රථ හොරණෑ හඬට පපුව දී වෙව්ලන්ට
දූවිලී තට්ටු වැද මූණ කණ සුදු වෙන්ට
දිනයකින් දිනයකට හීනය ම කල් යන්ට

රළු බොරළු බිම හැපී දෙපා හීරී යන්ට
අව්වෙන් ම පාට වී කළු ගලක් වී ඉන්ට
දුඹුරු පෑ හරිත පෑ එකට කවලම් වෙන්ට
නෙළන්නට බැරි ම නම් මලත් උගුලාලන්ට

ජීවිතේ සතුටකට කියා ඇත්නම් දෙයක්
මඟ දකින උඹෙ මූණ තරං නෑ වෙන දෙයක්
ජීවිතේ හුස්ම ගන්නට ලැබෙන වාරුවක්
පතා නැඟිටිමි අදත් ජීවිතෙත් රමණයක්




Sunday, November 4, 2012

ගොවි බිසව් මිය ගොසින්

කඳු අතර ළඳු කැලෑ
පත් වැහැරි හිස් හි අත් ගසා
අහස් කොන බුර බුරා
ගිනි කඳුළු නගමින් විලි රුදා
ගොවි බිසව් කොයිද ගම අස අසා
හෙළ යි සුසුමක් බිමට හිස නමා!

ගොම්මන ද ගොළු වෙයි
රැහැයියන් විලාපය හඬ නඟා
අඳුර ඇවිදින් වස යි
පියන ගැලවුණු ගෙයක කව් කතා
කනප්පුව මත ඈඳි බුලත් හෙප්පුව
හෙළ යි අඩ බැල්මක්
ඉස්තෝප්පුව හිස් කොලොම්බුව
දෙස ම ඇස අය අයා

කෙඩෑරි ව පාට හේ බා
සළුවක් පොරෝනා කොට
රළු සිහිනෙක උණ ගැනී
නිදන්නෙ ය වනපෙතා
ඇගේ මුදු අත වෙළි වෙළී
පැදුරක් වෙන්ට බලා උන්
පොල් ගසින් වැටි අතු බිස්ස
දිරා යයි මහ පොළොව බද බදා

කුස්සියෙන් අලුත් දුම්
පතා ගෙන පාත් වූ
කඳ දිරා යන ගසක්
හුස්ම ගිලෙහෙනු පිණිස පත පතා

වෙස්සන්තර,

වෙස්සන්තර,
මා ඇඹෙණි සෙනෙහෙ මිස
සිතා ගත නොහී මට
ඇගේ අයිතිය මටද
ඈ ඉල්ලා එන
ඕනෑ බමුණෙකුට දන් දෙන්ට..

දන් දෙන්නේ කොහොමද මං
දරු දෙන්නා වුව
බමරුන් පොඩි නොකරාවිද
මගේ කුඩා මල
මට බුදු බව එපා ඉතින්
එහෙම වුණොත් 'හෙම
මං මැරේවි මං මැරේවි
මන්ද්‍රී දේවිය

සෙනෙහස නම් අයිතිය සෙනෙහස පටු ගසකට
දේවිය නුඹ රිසි නම් හැර ගියාට කම් නැත
බැඳුමෙන් හිත මුදවා මල් පිපේ ය එදිනට
එහෙම නැතුව කොහොමද මං දන් දෙන්නේ නුඹ


නපුර


තල මලක අරුම දැක
විස්සෝපයෙනි බිම් මල් මෙනෙවියන් කැල
තුරු පලස අහස සුදු ලපය වුණ
නපුර දැක අත් නඟා ඉහළට
බලා සිටින්නෝ ඉපල් ගස් පෙළ

රබරඳුර දිය ව ගිය මොට්ටුව
කිළි පොලන්නෙය යුග ද යුග මතක
සාක්කිය දෙනු පිණිස එකදු පත
නොනැඟි 'රුම නොදැක මහ පොළොව ද

දිය කඳුරු කඳුළු හෙළනු ද බිය ව
සිඳී ඇත ගිම්හානය නොදැක ම
අහස කව් ලිව් අඳුරු පැන්සල
තුඩග ගිලිහී විසිර වැළපෙන

අන්ධකාරය සමඟ මතු වී රකුසු ගොර බිය
නින්ද ගිය සඳ වලා ගැබ අස මන්ද සැඟ වී
කන්ද කපමින් පාය එන්නට බියෙන් මෙන්
සුළඟ සුණු කළ ඉටිපාන ගිලිහී නිවී