ඉර සත් කඩ පැලී
ලේ ගලන්නට වුණු අකුණ
හොරණ බසයක සෙනඟ මැද
හිඳි විටෙක වැදුණි ය
මගේ දුරකථනෙට
මුහුණවත් බලන්නට ඉඩ නොතබා ම
අවසන් ආශිර්වාදයේ තාල මාත්‍රය
ළං ව හිඳ මුමුණන්ට නොතබා ම
සසර පුරා ම එකට එන බව
දෑත දෝතට ගෙන සපථ වන්ට ඉඩ නොතබා ම
ඇය ගිහින් තිබුණා ය
නගරය ම පිපිරුණු
ලේ විලක් විය එසැණෙහි ම
අහස මත වූ රතු වලාකුළු
අඬන්නට විය තතු නොදන්ව ම
බමන මතින් මෙන්
පෙරළෙන්ට විය
ගිඩි ගිඩි ගා මහ පොළොව
දහඩිය පෙරා ගෙන මහ හඬින්
කෑ ගාන්ට විය රිය පෙළ ම
මේ කිසිත් අසන්නට ඉඩ නොතබා ම
දුර ඈත රෝහල් ඇඳක තනි ව ම
ඈ නික්ම ගොස් තිබුණා ය
සියලු කවි මහ මඟ ම අත් හැර
පිටවන්ට ගිනි අකුරු පෝලිම
ඩොක්ටර් ශ්‍රී ලාල් ඔබ දන්නවද මේ හැම
අත්තම්මා රැක ගන්ට මා දරපු වෑයම
ඇගේ හද වෙණ තත් බිඳුණු ගී රාවය
අත්තම්මා කැටුව ආ මිනිපිරිය මතක් වෙන්නේ නැතිවද
ඩොක්ටර් ශ්‍රී ලාල් ඔබ දන්නවද මගෙ අත්තම්මා යන බව
ඈ රැකගන්ට වුණිමි මම
ඉර හඳ පවා විසි කොට
මා එන්ට කලින් සෙවණට
ඈ යන්න ගිහින් තනි ව ම
අත්තම්මේ අසිහියෙන් ම අවසන් සැණ ගෙවුණු වෙලේ
මතක් වුණිද අපි දෙන්නා කළුතර බෝධිය වැන්දා
හති ඇර ඇර සසර ගමන ගල් පඩි නැඟ අපි දෙන්නා
බුදු හිමි සෙවණට ඇවිදින් කන්දෙ විහාරය වැන්දා
නිතර නොදැක නුඹේ හිතට රිදුම දුන්න මුදු බැඳුමත්
භවයක් විය හැකි ව තිබුණි මා සිටියා නම් මොහොතක්
අත්තම්මේ ඒ වුණාට මං අඬනව හැමදාමත්
නුඹෙ පැටලෙන වචන නැති ව ජීවිතය ම හරි වෙහෙසක්
No comments:
Post a Comment