Friday, October 15, 2021

කවුරු නම් පීනත්ද උඩු ගඟ?

මිනීමරු දූපතක
පාත්තයන් මෙන් අප
එහෙට මෙහෙට පියාඹන

හිත පෙළන කටු අකුලු හැමතැන
හිත සනසන කෙනෙක් නම් නැත
ක්‍රීඩාව කෙළින කෙලුවන්ය උන්
බෝලයද පිත්තද තණබිමද උන්ගෙය

පීඩකයන්ට ආවඩන දන
අතර දියවෙයි කොඳු තැනුව බිම
මාරුතය වෙළා ගනු මිස
කවුරු නම් පීනත්ද උඩු ගඟ

Saturday, October 2, 2021

ඔබේ තනි කළු-සුදු පින්තූරය

යළිත් ඔබ සහ ඇය
හමු විය යුතුය සකිසඳ
ලියූ හැම කවියක්ම
ඉල්ලා අස් කර ගනිමි මම
යළිත් ඉඳ හිට ඔබේ කවුළුව දකින විට
ඇගේ දෑසට එබී ඔබ සිනාසෙන හැටි
ඇඳී තිබිය යුතුය එහි, 
ඔබේ තනි කළු-සුදු පින්තූරයට
තමා මං අකැමති

Wednesday, September 15, 2021

ඉතින් අපි හමුවන්නෙ කොහොමද?

මම හිස්තැනක් වෙලා ඉන්න කාලෙක ඔබ ඉන්නවා හිනා වී ගෙන ඔබ හිස්තැනක් වෙලා ඉන්න කාලෙක මම ගඟක් වගේ පිරීගෙන ඉතින් අපි හමුවන්නෙ කොහොමද ඔබ ඉන්ද්‍රචාපයක් කඳු මත මම දුමාරයක් මිටියාවත ඔබ ගඟක් වගේ ගලන විට සයුරට මම විලක් නිම්නයක තනිවුණ ඔබ නැව් තොටක් දුර ඈත හිනැහෙන මම තොටු පොළක් ගඟ ඉවුර තනිවෙන ඒත් ඇති එකම පුදුමය ඔබමයි ම'හද ඔපෙරාව මිමිණෙන Picture - Sergei Belov

Monday, August 23, 2021

වසංගත සමයක


#Incorrect Grammar for Incorrect Situations

ඔවුන් දෙස බලා සිටිනා විට
දෙවියන්ගේ හදවත පවා දැදුරු වුවද
මිනිසුන් සිටියහ බොහෝ
වසංගතයක් පවා විකිණුව

ලොක්කන් හිංසා කළහ නියම කර
රෝගාතුර මිනිසුන් වෙත පවා රාජකාරිය
හරියටම ගණිමින්
ලෙඩක් සුව විය හැකි දිනය
මල් වඩමක් පවා යැවිය යුතු නැති වීම
සහනයක් විය ඔවුනට
මිය ගිය මිනිසෙකු දැක ප්‍රීති වීමට 
තරමටම අකාරුණික විය ඔවුන් හදවත්
ආණ්ඩුවේ පෙට්‍රල් ආණ්ඩුවේ වාහනයක
ඔහේ පුච්චා හරිමින්
ගමන් කළහ උන්, බනිමින් කුඩා උන් හට

උයමින් පිහිමින් දරුවන් බලන මවුවරු
සියල්ල නිදි ගත් විට නිවස
එල්ලා වැටෙන දෑස්වලින්
පෙරළුහ වැඩ ගොනු
උදෑසන උයන කණිසම තබමින්

වසංගත සමයක
බලගතුන්ගේ අඬුවෙන්
මිරිකී ගියහ 
සියල්ලන් යහමින්

Picture - Theodoros Stamos

Tuesday, August 17, 2021

නික්ම ගොසින් අවසන් ඇය


නික්ම ගොසින් අවසන් ඇය
රෝස මලක් මෙන් මුදු ඇය
හෙමි-හෙමිහිට පාද තබා
මහ පොළොවට නොරිදෙන ලෙස

ඇගේ මිහිරි සුවඳ දැනී
කඳුකරයම මලින් පිරේ
වයයි ගීතිකා වාදන
විහඟුන් ඉර එළිය බි බී

Picture - Henry Roderick Newman, American, 1833 - 1918

Monday, August 16, 2021

මම



ඔහුගේ
පැරණි පෙම්වතිය
දකින විට
දුම් දමා නාය යන
කන්දක්මි
මම

Picture - Dario Campanile, Italian, born 1948

සමුගැන්ම


සැඳෑ අහස ගිනි රතු වී
ඔබ ගිය බැව් මුමුණාවී
හී තුඩ තුඩ බිමට එවා
රුහිරු ගඟක් වපුරාවී
මඳ රැස මත ගිමන් නිවූ
යොහොඹු කුසුම නැවතේවී
සුමුදු සුවඳ මා වට කළ
සුළඟ සමඟ මුහු වේවී

නිතඹ වැටුණු මුදු කෙහෙරැළ
ඈතට පාවී යාවී
නිතර ඇසුණු නිසඟ වදන්
නිකමටවත් නෑසේවී
ආලය වෙනුවට පාළුව
මා දිය කර වැගිරේවී
කතරක මල් පිපුණ වුණත්
මා මත මල් නො පිපේවී

මා වට කර ඉතින් සොඳුර 
ගිනි කඳු පුපුරා යාවී
උණුහුම නැති හිරිකඩ මැද
ශීත සමය ගත වේවී
ඕඝය වෙනුවට මේඝය
මා වට කොට වැතිරේවී
තානය නැති කාලය මැද
හෙමිහිට වියැළී යාවී

Picture -Ron Hicks, American, The Love on the Road

Sunday, July 18, 2021

Floating Bodies in River Ganga

Covid 19: India's holiest river, the Ganges, has been swollen with bodies in recent days.  
 
භාරත මාතා හැර යන  දරුවන් 
දරා ගනී ගංගා
ගංගා ගංගාවේ වැළපෙනවද 
සරැළි තරංගා 

සුරසැප වෙනුවට දුකඳුර හිමිවුණ
පිටකොඳු වකවුණ රළු'ඟිලි රිදවුණ
පොඩි මිනිසුන් හට සිහින දකින්නට 
අහසක් නැති හින්දා
දිය මත රන්දා අරගෙන යනවද 
මහ මුහුදට කැන්දා 

අහසට ඉනිමං බඳින මිනිස්සුන්
සුව ඇකයේ රන්දා
භාරත මාතා පොළොවට වැඩිවුණෙ
පොඩි අයමද මන්දා

Sunday, June 13, 2021

සෆියා සුල්තානා

බිඳෙන් බිඳ බිඳා ම'හදා
සෛලයෙන් සෛලයට බැස කිඳා රිදවා
යනෙන මඟ අවුරා - පැහෙන ගිනි දහරා
සිනාවෙයි සුදු සොඳුරු මුව පාරා
සෆියා සුල්තානා

නවන්නට සිත බැරි වුණා
දනන් හට හිමි බඳුන් කිසිවක්
බිඳින්නට මට බැරි වුණා
තවන්නට ඇය රුදුරු ආශා
මහමඟට මා නොපැමිණී
තලන් මා ගත තලන් මා ගත
වියරු විලිසැන් යකු මෙනී

සිනාවෙයි සුදු සොඳුරු මුව පාරා
සෆියා සුල්තානා

විඳින්නට සුව හැකි වුණා
රජුන් පස හිඳ මවන් කුසුමක්
සිනාසෙන්නට හැකි වුණා
මවන්නට ඇය සොඳුරු විජිතේ
දනන් පිරිවර රැස් වුණා
තලා මා හිත, තලා මා ගත
දෙව්ලොවට ඈ පිවිසුණා

Shasika Amali Munasinghe

Monday, May 31, 2021

තරුවක් හිනැහුණා


තරුවක් බල බලා
වරුවක් හිනැහුණා
කොපුලක් රතුවුණා
තරුවක් හිනැහුණා

මුදුනක් කඳු දිගේ
අඳුරක් පෑදුණා
හැරුණත් ආ මඟේ
මුහුදක් කැලඹුණා

Shasika Amali Munasinghe
Picture - Liu Chenyang, Chinese, born 1984, Golden Years 

Tuesday, May 4, 2021

වෙන අතක පැටලීගෙන?


ඔබ හිස්තැනක් වෙලා ඉන්න කාලෙක
මම ගඟක් වෙලා ගලන්නැති පිරී ගෙන
මම හිස්තැනක් වෙලා ඉන්න කොට
ඉන්නෙ ඒකද හිනා වී ගෙන
වෙන අතක පැටලීගෙන?
 
ෂසිකා අමාලි මුණසිංහ
Pic. - Mahnoor Shah, Pakistanian

Thursday, April 22, 2021

ඔබ


ගහක මල් පිපිලා අහන්නේ
මඳහසිනි තවමත්
ඔබ යැයි මා මවා සිටිනා මායාව
මිහිරියි,ය එතරම්

Shasika Amali Munasinghe
Picture - Clarence Alphonse Gagnon, Canadian, 1881 - 1942, "Laurentian Village"

Tuesday, April 20, 2021

කාලයේ වෙනසක්ද ඔබද මා අතර


මම ජීවතුන් අතර මේ මොහොත
ඔබ මළවුන් අතර මේ මොහොත
කාලයේ වෙනසක්ද ඔබද මා අතර
රාරරර රාරරර රා රරර රා

ගඟක් නම් ගලා යා යුතුමයි
අතරමැද රළ නැඟුම් ගල ගැටුම් බොහොමයි

මලක් සුපිපී සුවඳ විහිදයි
අතරමැද බිඟු රැඟුම් මුදු සිපුම් මිහිරයි
හිත බිඳුණ තැන් තනා ඇවිද යා යුතුමයි
අවසාන නවාතැන එකමයි

කාලයේ වෙනසක්ද ඔබද මා අතර

පද - ෂසිකා අමාලි මුණසිංහ
හඬ -
චිත්‍රය - Chen Yifei

Sunday, March 21, 2021

ලෝකයක් විවර ව තිබෙයි


1.
නංගියේ තවම නෑ පමා
එන්න කැනඩාවට
හිම මිදෙනවා තරමම
මල් පිපෙනවා නිතරම
හිත රිදෙන තැන් හරි අඩුයි
ගත තැලෙන තැන් හරි අඩුයි
සටන් වෙනුවට විඳින්නට හැකි
ලෝකයක් විවර ව තිබෙයි

2.
මම ආස ගඟුල මට අඬ ගහන හඬ ඇසෙයි
වන පෙතට රිදුම් දෙන දෙපා ඇලවී තියෙයි
බක් මහේ කොවුල් හඬ පවා මා හද පිනයි
මැරෙන්නට ඉපැදිච්ච තැනම මගෙ හිත කියයි

1.
වන පෙතක් කොහිද එය සිඳින මිනිසුන් මිසක
කවි කෙතක් කොහිද ගිනි බිඳින හිවලුන් මිසක
වෙණ නදක් කොහිද හද රිදන වහලුන් මිසක
මැරෙන්නට නම් ඇහැකි, විඳින්නට නැත මෙලෙක

2.
හිත රිදෙනවා තමයි වැහි වහිනවා තමයි
ඉකි බිඳෙනවා තමයි දුක හිතෙනවා තමයි
සනුහරයකම සුසුම සැඩ සුළඟ වී හමයි
ඒ සුසුම නිවන එක මගෙ හදේ සිහිනයයි

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Yousuf Karsh, Canadian, 1908-2002, Agnes MacPhail

Thursday, March 11, 2021

හැම අකුරමත් දැනන් හිටියෙ නෑ දුයිෂෙන්


පාසලක් තැනුවට අකුරු ඉගැන්නුවට
හැම අකුරමත් දැනන් හිටියෙ නෑ දුයිෂෙන්
දන්නා අකුරු කියා දී පොඩි හිස් මත
මල් උයන් වැව්වෙ මවිතෙන්
කඩා වැදී පාසල් කාමරය වෙත ලෙනින්
තලා නොපෙලුවේය ඔහු ලෙයින්
'අකුරු නොදන්නා මෝඩයා..' කියමින්
ගම්මුන් හා කැකිරි නොපැලුවේය හාසෙන්
ඔහුගෙන් උගෙන මුල'කුර
මහැදුරන් බිහිවුණේ එබැවින්!

ෂසිකා අමාලි මුණසිංහ
Picture -Richard Schmid

Wednesday, March 3, 2021

ඔබ මට සිහිවේ


ගිනි ගෙන දැවෙනා ලොව එක තැන
සිට ගත් මොහොතේ
ඔබ මට සිහිවේ
රන් වන් රන් පිල් කලඹක් වාගේ
ලොව සියලු පිවිතුරු බව දරා සිත
සැළමුතු බව හදිනුරා නෙත
සිලිලාරයක් වගේ අරණ මැද
ඔබ හිඳී හිනා වී ගෙන

අලුව වුව තුරු මතින් පෙරා දීගෙන
යනෙන මං මඳ නලින් වසා ගෙන..

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Iván Ivánovich Shishkin

Sunday, February 28, 2021

මිරිඟුවක්වත් නැත!


ඒ තනිකමෙහි මා වෙළිලා
මලේ සකුරා
එදා සවනට ඇසුණු මුණු මුණු මිතුරු
එකක්වත් නැත!
වැළඳ අප හිනැහුණු අයුරු
මිරිඟුවක්වත් නැත!

සුබපැතුම් ආ හසුන්
පනම් බිල් විතරක්ද
දුරකතන හඬ පවා
උපදෙස්ම විතරක්ද
තවම මල් පිපෙනවද
ඇවිද ගිය මාවතේ
හෙමින් අසනා කෙනෙක් 
ආයෙමත් හමුවෙයිද

බිළිඳුන්ගෙ මුදු හැඬුම්
අහර සැකසුම් ඉවුම්
අතර අප ජීවිතේ
පියානෝ හඬ මැකී
හැමදෙනා බැබළෙද්දි
ජීවිතේ පිටු අතර
කඳුළු ඇසෙනා කෙනෙක්
සොයාගන්නට හැකිද?

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Vincent Willem Van Gogh

මේ රිදුම් අවසරයි ගෙනයන්න


අහසකට බැරි නිසා තනිවෙන්න
සහසකට වැඩිය තරු දිලිහෙන්න
පහසකට බැඳි සෙනෙහෙ මියයන්න
මේ රිදුම් අවසරයි ගෙනයන්න

උදාවක උදාගිර නැවතෙන්න
ගමන දුර බැරිය තව නවතින්න
මතක ඉඟි එලා යමි තෙතඟු දිගු වරලසෙහි
ආයෙමත් ආවොතින් හඳුනන්න
මේ රිදුම් අවසරයි ගෙනයන්න

ෂසිකා අමාලි මුණසිංහ
Painting - John Atkinson Grimshaw

Sunday, February 7, 2021

මතක ඔරුවක කඳුළු පිරුණා


පාවෙලා අර ඈත අහසේ තාරුකාවකි දිලුම් දෙන්නේ
ඇඟිලි ගැන්නට දුරයි තාමත්, කවමදා නෑ මගේ වෙන්නේ
වැතිර උන්නට තැනිතලාවක, කඳු උඩයි තනි තරු පිපෙන්නේ
ඇඟිලි ගැන්නට දුරයි තාමත්, කවමදා නෑ මගේ වෙන්නේ

මිදී යන්නද රිදී ඉන්නද 
හිතාගන්නත් බැරිව උන්නා
මාවතේ දුක් අහුරු රන්දා
ආදරේ මගෙ හිතම බින්දා

කාලයේ සුළඟට ඇදී යන
මතක ඔරුවක කඳුළු පිරුණා
ආයෙමත් හමුවෙන්න ඕනා
තැනෙක වතුසුදු පොකුරු පිපුණා

© ෂසිකා අමාලි මුණසිංහ
Picture - Bryan Larsen

Monday, February 1, 2021

The view from my office room: Colombo



හරිත උයනක් කොළඹ
විලෝපත් විතරක්ම ගුමුගුමුව
මගෙ කණට විතරක් ඇසෙන ලෙස
ගයයි ගීතිකා උස් දෙව් මැඳුර

ආදරෙයි, මම, කොළඹ

Saturday, January 30, 2021

නොවැස්කා හෙවත් කඳුකර දැරිය


පාර්යා සිටියේ කෘත්‍රිම රතුරෝස මලක් මේසයේ එහෙටත් මෙහෙටත් පෙරළමිනි. ඇයට එය ඇගෙන් කැමැත්ත ඇසූ තරුණයාට දීමට අවශ්‍ය විය. නගරයේ සංගීත පන්තියට යන විට ඇයට ඔහු හමු වෙයි.

පාර්යාගේ සිහින සිතුවිලි ගැන නොවැස්කා උනන්දුවක් නොදැක්වුවාය. පාර්යාගෙන් කැමැත්ත ඉල්ලූ තරුණයා කිසිදු හේතුවක් නැතිවම නොවැස්කා අකැමති එකෙකු විය. අනෙක් අතට නොවැස්කාගේ සංගීත පන්ති ගමනත් සති කීපෙකට පෙර, අහිංසක ලෙස, නැවතී තිබිණ. ඒ අහවල් එකක් නිසා නොව, බිලාවල් රාගය නිසාය. බිලාවල් රාගයේ ස්වර ඛණ්ඩයක් වූ ස,රි,ම,ප,නි, ආසන්න වචන දෙකකට හැඩ ගස්වා නොවැස්කා අසල උන් ෂේන්යා 'ගයන්නට' වෙත්ම නොවැස්කාට 'බකස්' ගා සිනා ගියාය. එම සිනාවෙන් සංගීත ගුරුතුමිය පරල විය. තමුන් සිනා වූයේ මගේ ඇඳුමට නොවේදැයි ඇය කෑගසන්නට වූ අතර නොවැස්කා වැන්නවුන්ට සරිගම උගන්වන්න්ට තමා සූදානම් නැතැයි ඇය පැවසුවේ හැඬෙන්නට ඔන්න මෙන්න තියාය. අවසානයේ සරම සාරියට මාරු වූ අතර, තමා සිනා වූයේ ඇඳුමට යැයි පිළිගැනීම නොවැස්කාට පහසු විය.

නොවැස්කා චිත්‍ර පන්තියට තල්ලු වීමට ආසන්න හේතුව එය විය. ඔය දෙකින් එකකටවත් බුහුටි නොවූ ඇය, ඒ ගැන කුමට වද විය යුතුද? නොහැකි වූ 'මුත්, තමා කැමති දේ කිරීමට නොවැස්කා කිසිවිටෙකත් පැකිලුණේ නැත. සංගීතය බැරි වුණාට ඇය, ඇය අත වූ මෙලෝඩිකාවට පැය ගණන් පිම්බාය. ඒවා ඇගේම තාල වූ අතර රචකයාද සංගීතඥයාද ඇයම විය. සංගීතය එසේ වූ කල, චිත්‍ර යනු අන් කවරක්ද? තමන්ට ඕනෑ ඕනෑ හැටියට පාට ඇතිල්ලීමය. හිතේ තාලයට අනුව ඇය එය කළාය. පාර්යා රෝස මලක් ඒ මේ අත පෙරළමින් සිටින අතරේද ඇය කළේ එයය. 

පාර්යාගේ රෝස මල දිගේද කැන්වසයේ තැවරි වර්ණ රේඛා දිගේද, අනතුරුව, ගැඹුරෙන් ගැඹුරටද නොවැස්කාගේ සිතිවිලි පියඹා ගියේය. චිත්‍රවලට කවදත් මෙය කළ හැකිය. ප්‍රේමය යනු නිල් අහස වෙත නිදහසේ පියා විහිදුවීමකැයි ඇතැම්හු සිතා සිටිති. එහෙත්, ඉනික්බිති පැමිණෙන විරහව, ඇවිදීමට දෙපා ඇති 'මුත් ඇවිදගනු නොහී අබ්බගාතව සිටීමක් වැනිය.

නොවැස්කා රාත්‍රී අහසේ තරු අතර මෙවැනි අබ්බගාතයන් ඕනෑතරං දැක ඇත. හැඩ සදිසි තාරුකා වදුලු ඕනෑ තරං ඇත. ඩොම්සේ කඳු යායට මෙපිට කෙත්යායෙහි සිය බලන විට එවැනි තාරුකා වදුලු ඕනෑ තරං හමු විය හැක. නොවැස්කා තම චිත්‍රයේ පාර්යා කහ පාටටත් තමාව කළු පාටටත් පාට කරන්නට වූවාය.

පාර්යා මේ අතර පන්තියට අතුරුදහන් විය. 

© ෂසිකා අමාලි මුණසිංහ
Painting - Joseph Wright (1734 - 1797)

Wednesday, January 27, 2021

'කටුවක්ද?'


බිණීමට කිසිත් නොහැකිව
පැය තිස් හතර දහසකුත් පන්සිය හැටකුත්
හිඳීමි මම පාෂාණභූතව මෙන්
පපුව හරි මැද හිරව තෙරපෙමින් නිතර
දැවෙන ඊයම් බරුව
ගලවන්නට තැත් දරන හැම විටම
සම් මස් ඉරා ඇතුළටම කිමිදිණි

ශාන්ත ජෝසප් දෙව් මැඳුර
හිරු එළිය හා මුසුවු පස පැහැයෙන්
මා පිටුපසින් උස්ව නැඟී සිටින්නට වූයෙන්
මම කතා කරන්නට වුණෙමි
මට හිමි සන් බසින්

එකම එක දෙයකි, මා බිය වූ, එය
හිස නවා ගෙන සෝබරව
පෙන්වන විට පපුව මැද
ඇය අල්ලාගෙන මා අත
'කටුවක්ද?'
ඇසුවාය

'බය වෙන්න එපා
ඇරිල යයි ඒක කවද හරි දවසක'
හිස සෙල වූ නමුත්
අවිශ්වාසය තවම මට එය

- ෂසිකා අමාලි මුණසිංහ
Picture - Man Ray (Emmanuel Radnitzky, American, 1890-1976): Alice Rahon portrait, 1930.

Tuesday, January 26, 2021

ලියා එවනවද මගෙ නම?


සඳ


සඳ කියන්නේ ගමන් සගයෙකි
සතුටින් පෙළෙන සාංකාවෙන් වෙළෙන
කැකෑරෙන පීඩාවෙන් රුදා දෙන
තත්පරෙයෙනුත් කොටසක
මා දරා සිටින

වදුලුවල ඇවිද යන විටද
නගරවල ඇවිද යන විටද
ඉපැදෙන විටද මියෙන විටද
සංක්‍රාන්තික සමයකද
අත අත නො හැර සිටින

විතැන් වෙන මතක පෙති ගෙන
සිතින් හිඳ සිටිමි අරලියා ගස යට
හඳ මුළු අහස අරාගෙන 
මා මඳ රැසින වසා ගෙන!

සඳ කියන්නේ ගමන් සගයෙකි

- ෂසිකා අමාලි මුණසිංහ
Picture - Ransirimal Fernando

Tuesday, January 19, 2021

දනිමි මම ඇගේ සිනහව


මා නවකතාකාරියක නොවෙන්නට
එය හිස් ගොඩනැඟිල්ලක්ව පැවතුණි
දැන් මට පෙනේ එහි
ඩාලියා සකසන හැටි ලිපි
මුව වසාගෙන මුළුමනින්

එහෙත් මම දනිමි
රෝස පැහැ සායම් ගැල්වූ
ඈ සිහින් දෙතොල මත
මඳ සිනාවක් රැඳී ඇති

පියෝනී මලක් මෙන් ඇගේ හදවත
සියලු පෙති විහිදුවා ඇති 

Picture - Krzysztof Lukasiewicz. Polish, Kirsten Dunst