Sunday, March 21, 2021

ලෝකයක් විවර ව තිබෙයි


1.
නංගියේ තවම නෑ පමා
එන්න කැනඩාවට
හිම මිදෙනවා තරමම
මල් පිපෙනවා නිතරම
හිත රිදෙන තැන් හරි අඩුයි
ගත තැලෙන තැන් හරි අඩුයි
සටන් වෙනුවට විඳින්නට හැකි
ලෝකයක් විවර ව තිබෙයි

2.
මම ආස ගඟුල මට අඬ ගහන හඬ ඇසෙයි
වන පෙතට රිදුම් දෙන දෙපා ඇලවී තියෙයි
බක් මහේ කොවුල් හඬ පවා මා හද පිනයි
මැරෙන්නට ඉපැදිච්ච තැනම මගෙ හිත කියයි

1.
වන පෙතක් කොහිද එය සිඳින මිනිසුන් මිසක
කවි කෙතක් කොහිද ගිනි බිඳින හිවලුන් මිසක
වෙණ නදක් කොහිද හද රිදන වහලුන් මිසක
මැරෙන්නට නම් ඇහැකි, විඳින්නට නැත මෙලෙක

2.
හිත රිදෙනවා තමයි වැහි වහිනවා තමයි
ඉකි බිඳෙනවා තමයි දුක හිතෙනවා තමයි
සනුහරයකම සුසුම සැඩ සුළඟ වී හමයි
ඒ සුසුම නිවන එක මගෙ හදේ සිහිනයයි

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Yousuf Karsh, Canadian, 1908-2002, Agnes MacPhail

1 comment:

  1. මගේ හිතත් ලියලා වගේ... මේ රට අපට සැනසීමෙන් හුස්මක් ගන්න ඉඩක් දෙන්නෙම නැති පාටයි. ඒත් කිවිඳියට දැනෙන හැඟීම ම තමයි මටත් දැනෙන්නෙ.

    ReplyDelete