Thursday, October 15, 2020

නත්තල් සීයා සහ අකුරු කියවීම

සීයා යනෙන තැන සීයාගේ පසුපස යාමට එකල මා ප්‍රසිද්ධ වී තිබිණ. සීයාද යනෙන තැන මා කැටුව ගියේ විරෝධයක් නො පාමිනි. ඒ අනුව, සති දෙකකට වරක් නොවරදවා සීයා සමඟ නගරයේ ඉරිදා පොළට යාමට පවා මම අමතක නොකළෙමි.

සීයාට ඥාති පුත්‍රයෙකුගේ අකුරු කියැවීමකට ආරාධනයක් ලැබුණේ මේ දිනවලය. ඉදිකට්ට පසුපස නූල සේ සීයා පසුපස ඇදෙන මමද එහි යාමට සැරසුණෙමි. "යන ගමන් හන්දියේ කඩයෙන් මොනව හරි අරගෙන යනවා." සීයා ආච්චිට කියනු ඇසිණ.

උදෑසනම අපි එහි යාමට පටන් ගතිමු. අපගේ ගෙදර සිට හන්දියේ කඩයට යාමට පැය භාගයක්වත් ගත වේ. තුන්මං හන්දියේ පිහිටා ඇති කඩය තුළට සීයා සමඟ මමද ඇතුළු වීමු. ගෙදරට විස්කෝතු පැකැට්ටුවක්, කෙසෙල් ඇවරියක් කාරිය ගත් සීයා අවසන කුඩා දරුවාට තෑග්ගක් තෝරන්නට විය. සීයාට උවමනා වූයේ දරුවාට පොත් කට්ටලයක්, පැන්සල් පෙට්ටියක් ගැනීමටය. 

ඒත්, පොත් පැන්සල්වලට ඉහළින්, නූලක එල්ලී ගත්, නත්තල් සීයලා නටමින් සිටියහ. 'අනේ, මා රැගෙන යන්නැ'යි සිනාසෙමින් එල්ලී සිටින නත්තල් සීයාව මා නෙත ගැටුණේ කඩයට ඇතුළු වෙද්දීමය. නත්තල් සීයලා සුළඟ සමඟ රවුමට රවුමට කැරකෙමින් නටමින් සිටියහ.

අහා! එය කවර පියකරු දසුනක්ද? නත්තල් සීයාගේ ඇඳුම රතු පැහැ වූ අතර ඔහු උරයෙහි තෑගි මල්ලක් විය. මේ අකුරු කියවීමකට හරියනම තෑග්ගය. බලන්න, නත්තල් සීයාගේ ලස්සන! රන්වන් කෙස් වසා ඇති තොප්පිය! මුදලාලි මාමා සැණෙකින් නත්තල් සීයා මා අත තැබීය. රබර්වලින් සාදා තිබූ එය අවැසි නම්, එහෙටත් මෙහෙටත් අදින්නටද හැකි විය.

"සීයේ, මේක තමයි හරියනම තෑග්ග. අපි ඒක ගෙනියමු." 

මම සීයාට කීවෙමි. සීයා එය නොතැකුවේ, "නත්තල් සීයල හොඳයි නත්තලට" කියමිනි.

"ඒ වුණාට සීයේ, නත්තල් සීයා තමයි හොඳම" සීයාට එය තේරෙන බවක් නොපෙනිණ. සීයා නත්තල් සීයා ගැන දන්නවා මදි වෙන්නටද පුළුවන. නැතිනම්, රබර්වලින් තැනූ මෙ'කදිම නත්තල් සීයාව එපා කියන්නේ නැත.

නත්තල් සීයා පිළිබඳ නොයෙකුත් චිත්‍ර මම ළමා පුවත්පත්වලින් දැක තිබුණෙමි. ඒ හැම චිත්‍රයකම, මේ නත්තල් සීයා වාගේම, නත්තල් සීයා තෑගි මල්ලක් උරින් එල්ලාගෙන සිනාසෙමින් සිටියේය.

හැම නත්තලකදීම, නත්තල් සීයා තෑගි ගෙන එතැයි මම මඟ බලා සිටියේ, නත්තල් දා රෑ, නත්තල් සීයලා තෑගි ගෙන 'විත් ගෙදර තබා යන බව අම්මා කියා තිබූ නිසාය. නත්තල් සීයා හරියටම නත්තල් දා රෑ දොළහට එන බව මම සිතා සිටියෙමි. නත්තල් දා, රෑ කල නොනවත්වා වැයෙන ගල් ඔයෙහි මුණු මුණුවත් නිශා කල නිසල බව පාරමින් ඇසෙන විහඟ පියාසැරියත් අතර,නත්තල් සීයාගේ යානයේ සීනු හඬ දැන් දැන් ඇසෙතැයි කන් යොමා සිටි මට, හැමදාමත් ඒ හඬ නො ඇසී ගියේ ඊට පෙර නින්ද ගිය බැවිනි. 

ඒත්, හැම නත්තලකම පාන්දරින් නැගිට, ගෙයි ඉදිරිපිට දොරකඩ වෙත දිව ගොස්, තෑගි තිබේදැයි පරික්ෂා කිරීමට මම අමතක නොකළෙමි. එහෙත්, කිසිවිටෙක තෑග්ගක් මුණ නොගැසුණේ නින්ද යෑම නිසා විය යුතුය. එක දිනෙක විතරක්, තරමක් ලොකු මිනිරන් කැබැල්ලක් එහි තිබූ අතර, එම දිදුලන මිනිරන් කැබැල්ල ඇහිඳගත් මම එය පරිස්සමට ආච්චිගේ ඇඳුම් පෙට්ටිය ඇතුළට බහා තැබීමි.

මා නත්තල් සීයාව වඩ වඩා තුරුලු කර ගත්තෙන්, එය නැවත ලබා ගැනීම මුදලාලි මාමටත් සීයාටත් කළ නොහැක්කක් විය. "ආයෙත් නං එක්කන් එන් නෑ" සීයා විරෝධය පෑවේය. ඒත් ඉතින් හොඳම නම් නත්තල් සීයාය. අකුරු කියවන ළමයෙකුට හොඳටම හොඳය. නත්තල් සීයාව ළඟ තියාගෙනම අකුරු කියැවිය හැක. අවසානයේ සීයාට පොත් පැන්සල් ගන්නට නොහැකි වූ අතර, අපි නත්තල් සීයාව මිල දී ගතිමු.

සීයා කතා නොකර තරහෙන් ඉදිරියට ඇදෙන්නට වූ අතර, නත්තල් සීයා තුරුලු කර ගත් මා සීයා පසුපස දිවයමින් සිටියේ හිම යානයක නැඟී යන්නාක් පරිද්දෙනි. මහ පාරෙහිද අතුරු පාරවලද සතුටින් උඩ පනිමින් නෑ ගෙදර ගිය මම, සීයා රවද්දීම, එම මහාර්ඝ  වස්තුව කුඩා ඥාති සහෝදරයා වෙත පිරිනැමුවෙමි. 

- ෂසිකා අමාලි මුණසිංහ

Painting: https://www.pinterest.com/pin/722475965194140163/ Sierra Missouri

No comments:

Post a Comment