Tuesday, August 5, 2014

සිහින



මම දුටිමි රෑ සිහිනයෙන්
සොරෙකු පැන නිවසට
සොරා ගෙන යනු ඉදිකටු
තුඩ ගෙවී ගිය පැන්සල
පාදයක් අබලන් ට්‍රයිපොඩය

උදෑසන අවදි වූ මිදුලෙහි
විසිර තිබුණි කැඩී ගිය පයින් අතු
නැවී තිබුණි තාප්පය මත යකඩ තුඩු

මින් වසර තුනකට පෙර දින තුනක් එක දිගට
සිහිනයෙන් දුටිමි අත්තම්මා යන වග
වහා ගෙදර යා යුතු වග අයෙක් කීවේය මට
අසමත් වෙන්නට යෙදුණු විභාගයක් නිසා
සෙල්වීමටවත් නොහැකි වුණි උන් තැනින්

වරින් වර සිහින පැමිණ
පණිවිඩ කියා යයි මේ ලෙසින්
සුරංගනාවියක් ලියයි මගේ දිනපොත
රෑ වසින සඳ දියෙන්
ඇතැම් විට පෙන්වයි
පැන පත් පවා සිහිනයෙන්

Gil Junger විසින් අධ්‍යක්ෂණය කරන ලද 'If Only' චිත්‍රපටිය නැරඹුවෙමි. Wikipedia එය හඳුන්වා දී ඇත්තේ romantic fantasy චිත්‍රපටියක් ලෙසයි. එහෙත් මගේ අත්දැකීම් අනුව වරක් දෙවරක් නොව බොහෝ අවස්ථාවන් ප්‍රමාණයක් මම මේ අත්දැකීම විඳ ඇත. මා එය එසේ වන බව තේරුම් ගත්තේ 9 වසරේදීය. දිනක් මම සිහිනයෙන් මගේ මිතුරියක මා හා තරහ වනු දුටු අතර එසේ වීම කෙසේ හෝ වළක්වා ගත යුතුයැයි උදෑසනම කල්පනා කළෙමි. එහෙත් කවර වැළකීමක්ද? කෙසේ හෝ ඇය මා හා තරහ වූවාය.

දිනක් මම මගේ මිතුරෙකු වාහනය කැඩී අතරමඟ සිටිනු දුටු අතර උදෑසන ඔහුට ඒ බව පැවසීමි. "ඔයා නම් පුදුම සංවේදී කෙනෙක්. ඊයෙ රෑ වාහනය මඟ කැඩුණා" ඔහු කීවේය.

එහෙත්, If Only චිත්‍රපටියේ රැයේ දුටු සිහිනයට ඇහුන්කම් දෙමින්
Ian Wyndham, Samantha Andrews මරණයෙන් ගලවා ගනියි. මම මගේ මෝටර්‍රථය ගත් කල එහි අත්තම්මා දමාගෙන රවුමක් යෑමට සිහින දුටු නමුත්, මා එයින් මුල්වරට ගමනක් කියා ගියේ අත්තම්මාගේ මළගමටය. සමහරවිට විභාගය අතැ මා එහි ගියා නම් මට ඇයව බේරාගැනීමට තිබිණ. බේරා ගැනීමට නොහැකි වුවත්, ඇගේ ජීවිතයට ලස්සනම දවස් කිහිපයක් එක්කිරීමට තිබිණ. මට විභාගය තිබුණේ අද නම් හෙට උදය වන විට ඇය නික්ම ගොස් තිබිණි. මේ ගැන මා සතුව පශ්චත්තාපයන් නැතැයි කිව හැක්කේ කාටද?

කොහොම නමුත්, මට කියන්නට ඕනෑ එය නොවේ. ඔබ ආදරය කරන අය තවත් සුළු මොහොතකින් ඔබ අතැර නික්ම යා හැකියැයි සිතමින් ඔබ ඔවුන්ට ආදරය කළ යුතු බවයි; ඔවුන්ගේ ජීවිත ලස්සන කළ යුතු බවයි.


* If Only
is a 2004 romantic fantasy film directed by Gil Junger and starring Jennifer Love Hewitt and Paul Nicholls.


Picture - Judy Gibson

2 comments:

  1. Dream is the place where a wish and a fear meet. When the wish and the fear are exactly the same, we call the dream a nightmare. - Gregory David Roberts - Shantaram

    ReplyDelete