Tuesday, March 5, 2024

වසත් කල එතරම් දරුණු නොවුණා නම්..

 

ළමා අපචාර චෝදනාවකට අහුවෙන කොට ඊතන්ට වසය අවුරුදු තිහයි.
 
බඩේ අජීර්ණයකින් පෙලුණු ඊතන් බෙහෙත් ගුලි පැකට්ටුවක් රැගෙන විත් ගිනි පෙට්ටිය හොයමින් අඳුරෙහි අත පත ගෑවා. ඊතන් කළේ වඩු වැඩ. ඔහු ගුවෙන්ෂෝ ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක වැඩ අවසන් නොවුණු මේ ගෙදරට ඇවිත් යන්තං සතියක් වුණා විතරයි. ගෙදරට විදුලිය තිබුණෙ නෑ. ඉටිපන්දමක් පත්තු කර ගත් ඊතන් බෙහෙත් ගුලි දෙකක් ගිල දමා යන්තං ඇඳේ හාන්සි වුණා විතරයි ඔහුට තරප්පු පෙළ දිහාවෙන් මහා ඝෝෂාවක් ඇහෙන්න ගත්තා. ඝෝෂාව එන්න එන්නම ළං වෙනව වගෙයි ඔහුට ඇහුණෙ. ඊළඟට ඊතන්ට මුකුත්ම හිතන්නවත් ලැබුණෙ නෑ.. කවුරුදෝ ඊතන් හිටි ගෙයි දොරට තඩි බාන්න ගත්තා. ඒ එක් අයෙක් නෙමෙයි කියල ඊතන්ට පැහැදිලියි. ඔහු දොර නො ඇර ඉන්න තීරණය කළා. ඇති වුණු තැතිගැන්මට ඊතන්ගෙ තොල කට සිඳී යන්නා වගේ දැනුණා.
 
වැඩ ඉවර වී නොතිබුණු ගෙදරක් නිසා පැරණි පලු දෙකේ දොරකුයි ගෙදරට තිබුණෙ. දොරට වැඩි වෙලා පීඩනය අල්ලාගෙන ඉන්න බැරි බැව් ඊතන්ට තේරුණා. තවත් විනාඩි කීපයකින් දොර කඩාගෙන මිනිසුන් කාණ්ඩයක් එක පොදියට ගෙට කඩා පැන්නා. ඊතන්ව අල්ලා ගත් ඔවුන් ඊතන්ට තඩිබාන්න ගත්තා. කළුවර නිසා ඒ කාවවත්ම ඊතන්ට පෙනුණෙ නෑ. අනෙක් අතට ඊතන් ගුවෙන්ෂෝ පළාතේ මිනිස්සු එතරම් දැනන් හිටියෙත් නැහැ. "ඇයි මේ..? මොකක්ද මං කළ වැරැද්ද?" කියල ඊතන් හඬමින් ඇහුවත් ඒ හඬ එතැන උන්නු අයට ඇහුණෙත් නැති තරං. වීදුරු මල්පෝච්චියක් ඊතන්ගෙ පිට මැදට වැදිල පුපුරා ගියා. ජීවිතේ අවසන් වෙන්න යන බව ඊතන්ට තේරුණා. එයා ඔළුව බදාගෙන පොළොවට පාත් වෙද්දි වටේ හිටපු මිනිස්සු වාෂ්පයක් මෙන් අතුරුදහන් වෙමින් ආපිට හැරිල දුවන්න පටන් අරන් තිබුණා.
 
පොලිසිය ඇවිත් අත්අඩංගුවට නොගන්න ඊතන්ගෙ මරණය වෙන්න තිබුණෙ එදා. එහෙනම් මැරෙන්නෙ මොකක් නිසාද කියල නොදැනම එයාට උඩු ගුවනට පා වෙලා යන්න තිබුණා.
 
ඊතන්ව පොලිස් ජීප් එකෙන් ගුවෙන්ෂෝ පොලිසියට අල්ලගෙන ගියා. එයා පොලිසියෙ බංකුවක වාඩි කෙරෙව්වා. ඊතන් වාඩිවෙලා හිටපු බංකුවට එහා පැත්තෙ බංකුවේ හිටියා හරියට මූණ කටවත් හෝදලා නැහැ වගේ පෙනුමක් තියෙන අවුරුදු දහයක පමණ තරමක් උස පිරිමි ළමයෙක්. ඒ ළමයා අමුතු විදිහට ඊතන් දිහා බැලුවා. ටික වෙලාවක් ගියාට පස්සෙ ඊතන් දැනගත්තා තමන් අත් අඩංගුවට පත්වෙලා ඉන්නෙ ඇයි කියල. තුවාල පිටින්ම එයාගෙ අත්වලට මාංචු දාල තිබුණා. පොලිස් කොස්තාපල් කෙනෙක් ඇවිත් එයාගෙන් ඇහුවා, "ඇයි මේ වගේ කැත වැඩ කරන්නෙ මිනිහෝ" කියල. ඊතන් අත් අඩංගුවට පත් වෙලා හිටියෙ එහා පැත්තෙ බංකුවේ ඉඳගෙන ඉන්න පිරිමි ළමයාව අපචාරයට ලක් කරල කියල එතකොටයි ඊතන් දැනගත්තෙ.
 
එයාගෙ ඇඟේ තැලුම් පෙලුම් රිදීම් සීරීම් සියල්ලම පරදලා එයාගෙ මුළු ඇඟම මහා බයකින් හිරිවැටිල යනව වගෙයි ඊතන්ට දැනුණෙ. බඩේ අජීර්ණය නිසා ඊතන් හිටියෙ හරියට කෑමකුත් බීමකුත් නැතුවයි. හීන් කලාන්ත ගතියක් එක්ක ඊතන් පුටු ඇන්දෙ ඔළුව ගහගත්තා.
 
එතකොටත් මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙලයි තිබුණෙ. මේ විශ්වයේ වැටෙන්න පුළුවන් භයානකම සහ ගැඹුරුම තැනක් තියෙනව නම්, ඊතන් අන්න එතැනට වැටෙමිනුයි හිටියෙ. ඊතන්ට මහ හයියෙන් අඬන්න ඕනෑ වෙලයි තිබුණෙ.
 
කූඩුවේ අගුලු ලා සිටියදී වෙහෙසත් වේදනාවත් වැඩි කමට ඔහුට නින්ද ගියේය. ඊතන් සිහිනයෙන් ඔහුගේ පිටිසර ගම් පළාත බලා ගොස් සිටියේය. ඔහු ඔහුගේ ගමත් අල්ලපු ගමත් යා කරන මිරීසා නදියෙන් ගොවිපළවලට වතුර ගෙන ආ කුඩා දිය පහරකට දෙපා ඔබා ගෙන නියරක් උඩ හිඳ සිටියේය. ඔහුගේ මිතුරන් දෙදෙනා දිය පාර අනෙක් පස හිඳ සිටියේය.  ඒ සැඳෑවේ අලස විලාසෙන් ගව රළ ගොවිපළවලට ඉහළින් තණ බුදිමින් සිටි අතර දිදුලන තද රෝස පැහැයෙන් තණ බිම්වලට එපිටින් ඉර බැස යමින් තිබුණේය. "ඇයි උඹ යාධාට කැමති වෙන්නෙ නැත්තෙ?" යි ඊතන්ගේ එක යහළුවෙක් ඊතන්ගෙන් ඇසුවේය. යාධා ඔහුට ආදරය කළාය. තමා හා පැමිණියොත් යාධාට හොඳකට වඩා සිදු වන්නේ නරකකැයි ඊතන් සිතුවේය. "මට විභාගෙ කරගන්නත් බැරි වුණානෙ.." බැල තණ නටුවක් එහෙටත් මෙහෙටත් අඹරමින් ඊතන් කීවේය. ඉන් පසු ඔහු යාධා මිරීසා නදියට වැටෙන්නට ඔන්න මෙන්න සිටින අයුරු දුටුවේය. ඔහු "යාධා.." යි මහ හඬින් කෑ ගසා ඇයව වැළඳ ගත්තේය. ඒත් සමඟම ඔහු සිහිනයෙන් අවදි විය.
 
පසුදා උදයේම ඊතන්ව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේය. වෛද්‍යවරයා ඔහු දෙස බැලුවේ අනුකම්පාවෙනි. වෛද්‍ය පරික්ෂණවලින් පසු ඔහු මෙසේ කීවේය. "වරදක් නොකළ අයට වෛද්‍ය විද්‍යාව වැරදි කරන්නෙත් නෑ. අල්ලන් ඉන්න අමාරු කාලෙ" ඉන් පසුව ඔහු ප්‍රදේශය භාර මහේස්ත්‍රාත් වෙත ගෙන යනු ලැබුවේය. වෛද්‍යවරයා හැර අනෙක් සියල්ලෝම ඔහු දෙස බැලුවේ සාපජනක ජුගුප්සාසහගත බැල්මකිනි.
 
කෙටි දැනුම්දීමකින් වුවද ගමේ සිට ඊතන්ගේ වැඩිමහල් සහෝදරයාත් ඊතන්ගේ මිත්‍ර සෙකෝත් ගුවෙන්ෂෝ බලා පැමිණියහ. ඊතන්ව වඩා සමීපව ඇසුරු කොට තිබූ ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් ඊතන් විසින් ළමයෙකු අපචාරයට ලක් කරනු ලැබ ඇතැයි යන්න විශ්වාස නොකළහ. දන්නා හඳුනන අයෙකු විසින් ඔවුන් දෙදෙනාට නීතිඥ මහතෙකු රෙකමදාරු කළ අතර ඔවුන් දෙදෙනා හදිසි ඇමතුමකින් අනතුරුව නීතීඥවරයා හමු වීමට ඔහුගේ නිවසට ගියහ. විශාල උද්‍යානයක් මැද අටපට්ටම් කූඩුවක හැඩයට පිහිටා තිබූ නීතීඥවරයාගේ විශාල නිවසෙහි වම් පසට වන්නට තිබූ කාර්යාල කාමරය තුළ කිසිවෙකු විසින් ඔවුන්ව අසුන් ගන්වනු ලැබුවහ.
 
"ළමා අපචාර නඩු කියන්නේ ලේසි පාසු නඩු නෙමෙයි." නීතිඥවරයා කතාව පටන් ගත්තේය. "ඒත් අපේ ඊතන් ඔහොම දෙයක් නොකරන වග මට දිවුරා කියන්නට පුළුවන්." සෙකෝගේ කට ඉස්සර විය. "ඔයාගෙ දිවුරුම නෙමෙයි මෙතැනට අදාළ. ළමා අපචාරකයන් කියන්නෙ තමන්ගෙ පවුලෙ අයටවත් හඳුනාගන්න පුළුවන් අය නොවෙයි. මේකට ඇප ඉල්ලන එක අමාරු වැඩක්. ශරීර ඇපත් මුදල් ඇපත් අවශ්‍ය වේවි." නීතිඥවරයා තරමක දීර්ඝ විස්තරයක් කළේය. ඔහුගේ ගාස්තුව පමණක් ලක්ෂයක් විය. එය පසුවදා නඩුව කැඳවන විට ගෙව්වාම ඇතැයි ඔහු කීවේය.
 
එතරම් මුදලක් මෙතරම් ඉක්මනට සොයාගන්නේ කෙසේදැයි උභතෝකෝටිකයකට පත් වූ ඊතන්ගේ සහෝදරයාත් මිත්‍ර සෙකෝත් මුහුණින් මුහුණ බලා ගත්තහ. කෙසේ වුව ඊතන්ගේ සහෝදරයාට ඊතන්ගේ ඥාතියෙකුගෙන් අත මාරුවක් ඉල්ලා ගත හැකි විය.
 
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව කැඳවන විට පොලිසිය විසින් ඇප ලබා දීමට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබ සිටියේය. එනම්, ඊතන් හට ඇප ලබා දෙනු ලැබුවහොත් මහජන කලබලයක් ඇති විය හැකි බවත් එයින් ඊතන්ගේම ජීවිතයට හානි විය හැකි බවත් පොලිසියේ මහත්වරු අධි බර කොට කියා සිටියෝය. ඊතන්ට ඇප නොලැබුණු අතර ඔහුව සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේය.
 
ඊතන් හිටියේ සුදුමැලි වී ගොසිනි. විත්තිකාර කූඩුවට නංවන ලද සිය බාල සොහොයුරු සහ යහළුවා දුටු ඊතන්ගේ සහෝදරයාත් මිතුරාත් දෙදෙනාම භීතියෙනුත් ශෝකයෙනුත් වෙවුලා සිටියහ. මෙය ඊතන් විසින් කෙසේ දරා ගනු ලබන්නේදැයි ඔවුන් හට චින්තන විෂයාතික්‍රාන්ත විය. 
 
තමාගේම ශික්ෂණයක් පවත්වාගෙන ආ ඊතන්ට තමාටම වෙන් වූ දර්ශනයක් විය. කඩවසම් තරුණයෙකු වූ ඔහු කිසි කෙනෙකුට වංචාවක් හෝ හිංසාවක් නොකළ අතර වෙනෙකක් තබා ඔහු සතෙකුට පවා හිංසාවක් කරනවාට මනාප නොවීය. වරක් සෙකෝ ඇතුළු ඔහුගේ මිතුරු කැල මිරීසා ගඟේ මාළු අල්ලනු ලබන දිය වලක මාළු ඇල්ලීමට ඊතන්ව කැටුව ගියහ. වෙනදා යහමින් බිලී පිත්ත වෙත මාළු ඇදී ආ මුත් එ දින උන් එකෙකුවත් බිලී පිත්ත දෙසවත් නොබැලුවේය. ඊතන්ගේ හිතේ එක මාළුවෙකුවත් පිත්තට අසු නොවේවායි මහා ප්‍රාර්ථනාවක් බල පැවතුණේය. එවැන්නක් බලා සිටීම සීරු බව ඔහුට හැඟිණ. "අද නං අප්සට් ඩයල් එකක් මාළු බාන්න ඇවිත් ඉන්නවා. නැත්තං කවදාවත් මෙහෙම වුණේ නැහැ." හිස් කූඩය ඔසවමින් ඊතන්ගේ මිතුරෙක් කෑ ගැසුවේය. ඊතන් මුවෙහි වූයේ සඟවා ගත් මන්දාස්මිතයකි. එහෙව් ඊතන් විත්ති කූඩුව තුළ සිටියේ කාගේ හෝ බිලී පිත්තකට හසු වූ මීනයෙකු මෙනි.
 
ඊතන්ගෙ දුරකථනය විසන්ධි වෙන කොට මේ දේවල් ඊතන්ගෙ ගෙදරින් සඟවා ගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඊතන්ගෙ වැඩිමහල් සහෝදරයා මේ ගැන ගෙදරට කිව්ව දවසෙ ගෙදරම තිබුණෙ නාය ගිහින් වාගෙයි. අම්මා ගෙදර බුදු පිළිමෙ ඉස්සරහ වාඩිවෙච්චි ගමන් හොලවන්නවත් බැරි වුණු ගානයි. දවස් කීපයක් යන කොට ඇගේ කල්පනාව නැති වෙයිදෝ කියල අනෙක් අයට බය හිතෙන්නත් ගත්තා. පිරිත් සජජායනා හැර වෙන කිසිවක්ම ගෙදරින් නෑසුණු ගානයි. ඒත් තාත්තා ගොවිපොළෙන් කොටසක් උකස් කරල සල්ලි අර ගෙන ඇවිත් ඊතන්ගෙ වැඩිමහල් සහෝදරයාගෙ අතේ තිබ්බෙ කොහොමහරි ඊතන්ව බේරගෙන ගෙදර ගේන්න කියලයි.
 
ඊට පස්සෙ ඊතන්ගෙ ගම්මානය කෙළවරින් ඉර නැඟීම ඉර බැසීම වගේ ඇප ලබා ගැනීමට නඩුව කැඳවීම, ඇප ඉල්ලීම ප්රතික්ෂේප වීම, ඊතන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන එක ස්වභාවික සංසිද්ධියක් ගානට වෙලයි තිබුණෙ. වෙනසකට තිබුණෙ හැම දවසකටම නීතීඥ ගාස්තු ගෙවන්ඩ වීම විතරයි. හැබැයි ඊට පස්සෙ හමු වූ නීතීඥ මහත්වරු මුල නීතීඥ මහත්මයා තරං විසාල ගණන් අය කරේ නැහැ. ඒත් එක දවසක සල්ලි ගත්තු නීතීඥ මහත්මයෙක් නඩුවට පෙනී ඉන්න ආවෙත් නැහැ. එතුමා එන කොට නඩුව ඉවර වෙලා ඊතන්ව නැවත බන්ධනාගාර ගත වෙලත් ඉවරයි.
 
ගමත් ගුවෙන්ෂෝ බන්ධනාගාරයත් අතර තිබ්බ දුර නිසා හැමදාම ඊතන්ව බලන්න යන එක කාටවත් කළ නොහැකි දෙයක් වුණා. ඇරත්, සිරකරුවන්ව බලන කවුන්ටරයට වටවුණු පිරිසේ ගාල ගෝට්ටිය නිසා ඊතන්ටවත් යන අයටවත් කිසිම දෙයක් පැහැදිලිව කතා කරගන්නත් බැරි වුණා. එතැනදි කතා කළේ නඩුව සහ ඇප ලබා ගැනීම විතරමයි. අනෙක් හිරකරුවන්ගෙන් ගැලවෙලා පාඩුවෙ ඉන්න ඊතන් දිගින් දිගටම සල්ලි ඉල්ලුවා. ගැන විස්තරයක් නොඅහම ඊතන් බලන්න යන අය ඊතන්ට සල්ලි දුන්නා.
 
පොලිස් පරීක්ෂක මැල්කම්ගෙ කකුල් දෙක මේසය යටින් පෙනුණෙ බාල් නැටුමක් නටන්නා වගෙයි. අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවට දාන්නෙ මොනවද කියලයි පැන්සලකුත් කටේ උල උල මනුස්සය කල්පනා කර කර හිටියෙ. ළමයා උස්ස ගත්ත විදිහ ලිව්වා. දැන් කොහොමද ළමය අරගෙන ගියේ. ඔය ළමයව තනියම උස්සගෙන යන්න බෑ නේද කියල මැල්කම්ට එතකොට මතක් වුණා. අනෙක් අතට මිනිස්සු එන යන ජනාකීර්ණ පාරක ළමයෙක් එහෙම උස්සගෙන යන්න පුළුවන්ද කියන එක වෙනුවට මැල්කම්ට මතක් වුණේ ළමයා උස්සගෙන ගිය විදිහ ගැනමයි. ඊළඟට ළමයා කොහොමද චූදිත ඊතන්ට මුලිච්චි වෙන්නෙ කියන එක ගැන එයා හිතුවා. බී වාර්තාව ලියන හැම පොලිස් නිලධාරියෙකුට වාගෙම එකකට එකක් නොගැලපුණත් හිස්තැන් පුරවමින් කතන්දර හැදීමේ කලාව මැල්කම්ටත් ප්රගුණ වෙලා තිබුණා.
 
ළමයා පාරෙදි මුණ ගැසුණු විට චූදිත ලේන්සුවක් ළමයාගේ නාසයට ළං කළ බවත් ළමයා ඉන් පසු සිහිසන් වූ බවත් ඉන් පසු චූදිත සහ තවත් තිදෙනෙකු ළමයාව ඔසවාගෙන චූදිත වාසය කළ නිවාස සංකීර්ණයට ගෙන ගිය බවත් එහි නිවාසවලට යන තරප්පු පේළියේදී ළමයා අපචාරයට ලක් කරන ලද බවත් ඊළඟට මැල්කම් සනිටුහන් කළා. ළමයා නොමැති බව දැනගත් නිවැසියන් හා අසල්වාසීන් ළමයා සොයමින් දිව යන අතරතුර නිවාස සංකීර්ණයේ තරප්පු පේළියේ සිහිසුන්ව සිටි ළමයා හමු වූ බවත් ඔහු ඊළඟට සනිටුහන් කළා. ළමයා හමු වූ පසු චූදිත සොයා අසල්වැසියන් දිව ගිය බවත් අසල නිවසක දොර අගුලු ලා සිටියදී චූදිතව හමු වූ බවත් දොර කැඩූ අසල්වැසියන් ඔහුට පහර දෙමින් සිටියදී පොලිසිය එහි ගොස් චූදිතව අත්අඩංගුවට ගත් බවත් ඔහු ඊළඟට සටහන් කළා. වාර්තාව ලියමින් සිටින අතර මැල්කම්ට චූදිතව අත් අඩංගුවට ගනු ලැබූ නිවසේ ඩීවීඩී යන්ත්රයක් තිබූ බව මතකයට නැඟුණා. චූදිත නිල චිත්රපට බලනා බවට සැක උපදවන යන්ත් එම නිවසේ තිබූ බව ඔහු වැඩිදුරටත් වාර්තාවට ඇතුළත් කළා. බී වාර්තාව ලියා අවසන් කළ මැල්කම් සැනසුම් සුසුමක් හෙලුවා. පුදුමයකට වාගේ ළමයත් විදිහටම ඔහුගේ ප්රකාශයේ කරුණු සටහන් කොට තිබුණා.
 
මේ කලබගෑනිය සිද්ධ වුණේ ගුවෙන්ෂෝ ප්රදේශයේදී නිසා ඊතන් ගැන ගමෙන් සැඟවීම තරමක් පහසු වුණු බවයි ඊතන්ගෙ තාත්තා හිතුවෙ. නැතිනම් ගමේ එකාලගෙ කට කැඩිච්ච කතාවලට අහුවෙලා ඊතන්ගෙ අම්මගෙ හුස්ම යන්නෙ එතැනමයි කියල ඊතන්ගෙ තාත්තා දැනගෙන හිටියා. ඊතන්ගෙ අම්මා සංවේදී සහ කරුණාවන්ත මනුස්සයෙකු වීම ඊතන්ලාට යහපත්ව ලොකු මහත් වෙන්න හේතු වුණත් තමන්ගෙ පුතා මාස ගණනක් තිස්සේ බන්ධනාගාරගත කරල තිබීම දරා ගන්නා එක ඇයට පහසු වුණේ නැති තරං.
 
ඊතන්ගේ යාළුවෙකුගෙනුයි යාධා ඊතන්ට සිදු වුණු අවාසනාව දැනගත්තෙ. කොච්චර වැළපුණාද කීවොත් ඇගේ වැළපීම ඇගේ සහෝදරියන්ගෙන් සඟවා ගන්න ඇයට බැරි වුණා. යාධාගේ තාත්තාගේ කණට මේ ගැන ආරංචි වෙන්න ඉතින් වැඩි කාලයක් ගත වුණේ නැහැ. එ වර යාධාගේ තාත්තා යාධාට කතා කළේ බොහොම තදින්. "අපයෝජකයෙක්ව කසාද බඳින්න හීනෙකින්වත් හිතන්න එපා!" ඔහු යාධාට සැර කළා. "එහෙම දෙයක් අපේ සනුහරේකවත් සිද්ධ වෙලා නෑ." ඔහු ආයෙමත් යාධාට කිව්වා. "එයා එහෙම නෑ" කියන්න කට හදාගත්තට මොකද යාධාගෙ කටින් පිටවුණේ හැඬුමක් විතරයි.
 
ඊතන්ට ඇප ලැබුණෙ මාස හයකට පස්සෙයි. එයා ගුවෙන්ෂෝ ඉඳල කෙළින්ම ආවෙ ගෙදරට. ගෙදර කවුරුවත්ම එයාගෙන් මොකවත්ම ඇහුවෙ නැහැ. කවුරුත් එයාගෙ හිත රිදෙන දෙයක් නොකියන්න වග බලා ගත්තා. ඊතන් දවසෙ වැඩි කොටස හිටියෙ කාමරයට වෙලයි. අධික නින්ද සමහර වෙලාවට ඔහුව සැහැල්ලු කළා. ගුවෙන්ෂෝවේ ගෙදර තිබුණු බඩු ඊතන්ගේ වැඩිමල් සහෝදරයා ගෙදර ගෙන 'විත් තිබුණා. ඒවායින් නඩුවට ප්රයෝජනයක් ගන්න කියලා ඉතිරි වෙලා තිබ්බෙ එදා කඩෙන් බඩේ අජීර්ණයට ගත්තු බෙහෙත් ගුලිවල බිල විතරයි.
 
ඊතන්ට විරුද්ධව ළමයෙක් අපහරණය කිරීමේ ඉඳළා අපයෝජනයට ලක් කිරීම දක්වා චෝදනා ඇතුළත් වෙලා තිබුණා. ඇත්තටම ළමයාව කවුරු හරි අපයෝජනය කළාද? ඊතන්ට හිතුණා. ඊතන්ගේ කල්පනාවේ හැටියට පොලිසිය සිද්ධිය සිද්ධ වුණැයි කියන වෙලාවේ තමා හිටියේ බෙහෙත් ගුලි ගැනීමට ගිය කඩයේ බව ඊතන්ට අනෙක් අතට හිතුණා. බිලේ තමන් බෙහෙත් ගුලිවලට මුදල් ගෙවූ දිනය, වේලාව සටහන් වෙලා තිබුණත් කඩේ නම සඳහන් වෙලා තිබුණේ නෑ.
 
ඒත් තමන්ට විරුද්ධව තියෙන චෝදනාවල සඳහන් අනෙකුත් පුද්ගලයන් ගැන ඊතන් දන්නේ මොනවාද? තමන් නිල් චිත්රපට බලනා බවට පොලිසිය සැක කරන බව සටහන් කොට තිබීමත් තමන් සිටි නිවසේ විදුලිය නොතිබීමත් කොතරම් හාස්යජනකද? ඊතන් බැලුව නිල් චිත්රපටයක් නැති අතර නිල්, කොළ, දම් ආදී එක චිත්රපටයක්වත් ඔහු බැලුවේ නැත. නිල් චිත්රපට බැලීමත් ළමා අපයෝජනයත් අතර සම්බන්ධයක් පවතී නම් ගැන පියවර ගැනීම ඊතන්ට අයිති කාරණාවක් නොවේ. එහෙත්, ඔහුගේ හිස පුරා වින්දිතයා ලෙස පෙනී සිටින ළමයාගේ හඬ රැව් පිළිරැව් දුන්නේය. ඔහු තමාව අපයෝජනය කළේ මේ පුද්ගලයාමයි කියමින් ඊතන්ව පෙන්වා සිටියේය. ඊතන් ඊට පෙර එවැනි ළමයෙකු දැක තිබුණේවත් නැත. අනෙක් අතට මුහුකුරා ස්වරූපයක් දැරූ ඒ ළමයා ඊතන් දන්නා ඊතන්ගේ පවුලේ ළමා ළපටීන්ගෙන් වෙනස් බවක් ඔහුට හැඟුණේය. ඊතන් පසුව එම ළමයා නගරයේ අධිජනාකීර්ණ ප්රදේශ ළමයෙකු බව දැන ගත්තේය. පසුකලෙක නඩුව තනිකරම ගෙන ගියේ පොලීසිය බැවින් එම ළමයා උසාවිය ඉදිරියේ පෙනී සිටීමක් සිදු වූයේ නැත.
 
ගෙදර අලුත ඊතන්ට මිරීසා නදිය සමීපයෙහිදී යාධා මුණ ගැසුණු අතර ඇය දිව විත් ඊතන්ගේ අතෙහි එල්ලුණේ හඬා වැළපෙමිනි. ඊතන් හිත තද කර ගනිමින් අත ගසා දැමුවේය. "ඊතන්, මං කවදාවත් ඔයා ගැන අහිතක් හිතුවෙ නැහැ.." යාධා හුන් තැනම සිටගෙන කෑ ගැසුවාය. ඊතන්ට ඇය දෙස බලන්නටත් ඇයගේ උරහිස මත හිස තබා ගෙන ඇති තරං හඬන්නටත් ඕනෑ වූ නමුත් ඔහු නිකමටවත් ඇය දෙස යළි හැරී නොබැලුවේය.
 
ඊතන්ට මුලින් උවමනා වූයේ යමක් කමක් හම්බ කරගෙන යාධා වෙත හැරෙන්නටය. මහන්සි වී වැඩ කිරීම සඳහා වඩු වැඩෙහි දක්ෂ වූ ඔහු ගුවෙන්ෂෝ ප්රදේශයට ගියේද එබැවිනි. එහෙත් සියල්ල අසුරු සැණකින් මෙන් විනාශ විය. යාධා කිසිසේත්ම මෙහි පංගුකාරියක විය යුතු නැත. තම බිඳී ගිය ආත්මය හා හදවත ඇය හා කුමක් කරන්නදැයි ඔහු සිතුවේය.
 
ඊතන්ට දිගින් දිගටම උසාවිය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වූ අතර විත්ති කූඩුවට නඟින හැම විටම ඔහුගේ දොම්නසත් ලැජ්ජාවත් යළි යළිත් අලුත් විය. උසාවියේ හිඳ ඉන්නා පිරිස පමණක් නොව උසාවියේ බාල්ක, උළුවහු, දොර ජනෙල් පවා "ළමා අපයෝජකයා" නමින් තමා අමතන බවක් ඔහුට හැඟිණ. ඔහුගේ ආත්මය දැඩි නියඟයකට හසු වූ ගංගාවක් මෙන් සිඳී ගියේය.
 
නඩුව කල් ගත වූ පසු මහේස්ත්රාත් අධිකරණයෙන් මහාධිකරණයට මාරු කළේය. පසුගිය වසර දහය තුළ ඇතැම් මාස වල නඩු වාර දෙක තුන පැවැත්වුණු අතර ඇතැම් විට ඊතන් මාසෙටම හම්බකළ මුදල් පවා නඩු ගාස්තු සඳහා පිරිමසා ගත නොහැකි විය. ඊතන්ගේ තාත්තා මහලු වයසට ගොස් සිටි අතර ඔහු උකස් කළ ගොවිපොළේ කොටස උකස අරවා ගත නොහැකිව සින්න විය. ඊතන් සිය පියා අසලට ගොස් ඔහු ළඟ බිම ඇණ තියාගෙන තමාට සමාවන්නැයි ඉල්ලා සිටියේය. මහලු පියා හැකි තරං සුමටව ඊතන්ගේ හිස පිරිමැද්දේය.
 
නඩුව වැඩි හරියක් කල් ගියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කල් ඉල්ලා සිටීම නිසාය. එහි නිලධාරීන් සූදානම්ව පැමිණියේ එහෙමත් දවසකය. නඩුවෙන් වසර දහ අටකට පසුව ඊතන්ගේ සාක්ෂිය හා ළමයාගේ සාක්ෂිය ලබා ගන්නා ලදී. ළමයා වන විට වයස විසි අට සපුරන ලද උස හීන්දෑරී විවාහක තරුණයෙකු බවට පත් සිටියේය. එහෙත් ඔහු නැවතත් කට පාඩමින් මෙන් තමා අපයෝජනයට ලක් කළේ ඊතන්ම යැයි උසාවිය ඉදිරියෙහි දිවුරා කීවේය.
 
අධිකරණ වෛද්යවරයාගේ සාක්ෂිය ගත්තේ සිද්ධිය සිදු වී වසර දහ නවයකට පසුවය. වාසනාවකට මෙන් වන විට ඔහු ජීවතුන් අතර සිටියේය. වෛද් වාර්තා අනුව ඊතන් එවැනි අපරාධයක් සිදු කරන ලද බවක් සනාථ නොවන බව ඔහු අධිකරණය ඉදිරියෙහි පැහැදිලිව කියා සිටියේය. විනිසුරුවරුන් ගණනාවක් ඉදිරියෙහි අසන ලද නඩුව විත්තියේ නීතීඥතුමාගේ වාචික දේශනයට තැබුයේ සිද්ධිය සිදු වී වසර විස්සක් ගත වූ තැනය. නීතීඥතුමා නීතිමය දෝෂ, ප්රායෝගික දෝෂ සහ විත්තිකරුගේ නිදොස් බව පෙන්වමින් පැයක පමණ වාචික දේශනයක් සිදු කළ අතර දේශනය අවසානයේ ගරු විනිසුරුතුමන් වෙත මෙසේ කියා සිටියේය.
 
"ඊතන් එදා සිටි නිවස තුළ එදා සිටියේ මා නම්, අද චූදිත ලෙස මේ විත්ති කූඩුවේ සිටින්නේ ඊතන් නොව මායි."
 
උසාවිය මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද විය.
 
තැනින් තැන කෙස් සුදු වී සිටි ඊතන්ගේ ඇස් වලින් කඳුළු කඩා හැලුණේය.
 
ගරු විනිසුරුතුමා වැඩි දවසක් නොයාම නඩු තීන්දුව ප්රකාශයට පත් කළේ නාට්යානුසාරී වාර්තා ලිවීම පිළිබඳ පොලිසියට දොස් මුරයක්ද නඟිමිනි. ළමයා සිවු දෙනෙකු විසින් ඔසවා ගෙන යනු ලැබුවේ නම්, ඉතිරි තිදෙනා සිටින්නේ කොහිදැයි ඔහු ඇසුවේය.
 
ළමා අපචාර චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වෙන කොට ඊතන්ගෙ වයස අවුරුදු පනහකි.
 
- ෂසිකා අමාලි මුණසිංහ

5 comments:

  1. සාධාරණ බැලීමක් තමා. මේකෙ අනෙක් පැත්තත් මේ වගේමයි. කල් ගතවී තීන්දුව දීමෙන් වින්දිතයාට යහපතට වැඩිය අයහපතක් තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නඩු අසා අවසන් කරන්න අසාධාරණ කාලයක් ගැනීම නම් පුදුම තරං ඛේදවාචකයක්. අඩුවෙන් කතා කෙරෙන කෙනාගෙ පැත්ත අරන් ලියන්න හිතුවා. ස්තූතියි කමෙන්ට් එකට.

      Delete
  2. අර දොස්තර ට ඒක කලිං කියන්න බැරි වුණේ ඇයි.
    ළමය එහෙම දෙයක් කලෙ ඇයි කියන එකට උත්තරයක හින්ට් එකක් වත් තිබුණ නං මේක නියමම කතාවක් වෙන්න තිබුණ ඒ ප්ලොට් හෝල් ටික හැදෙනව නං මම කැමතී.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරයාගේ සාක්ෂිය අන්තිමට ගන්නෙ මොකද කියල හොයල බලන්න ඕනි දෙයක් තමයි. වෛද්‍ය වාර්තාවල අවුලක් නැති වුණාම අපයෝජනය කියන එක හලල අපහරණය තියනවා. ඒක වෛද්‍ය වාර්තාවක උදවුවෙන් නිදහස් වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මං ළමයාගෙ කතාව ගලපන්නම්. මේක ෆික්ෂන්මත් නෙමෙයි. ස්තූතියි කමෙන්ට් එකට 🙏

      Delete
  3. ලෙහෙසියෙන් ගන්න පුළුවන් දේවල වටිනාකම අඩුයි නෙ.

    ReplyDelete