අර්.බුදය පැන
නැඟුණේ ඔක්සිජන්වලිනි.
"ළමයි, රෑට ගස් ඔක්සිජන් ආස්වාස කරන්නෙ නෑ.. කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා විතරයි." විද්‍යා ගුරුතුමිය සිටියේ එකොළහ වසර ළමයින්ට මහ හඬින් උගන්වමිනි. "ටීචර්, රෑට ගස් හුස්ම ගන්නවා නේද?" වාද්‍යාට ඉබේටම ඇසිණි. "රෑට හුස්ම ගන්න ගස් මිනිස්සුද?" ගුරුතුමිය වාද්‍යා වෙත කඩා පැන්නේ නොසිතූ අයුරිනි.
වාද්‍යා හිඳ සිටි පුටුවේම පිටුපසට විසි වූවාය. "කොහොමද තමුන් කියන්නෙ රෑට ගස් හුස්ම ගන්නවා කියල.." ගුරුවරිය පෙරටත් වඩා හයියෙන් කෑ ගැසුවාය. "ටීචර්, ගසුත් මිනිස්සු වගේම ජීවී කොට්ඨාසයක්නෙ.." වාද්‍යා හෙමින් මිමිණුවාය.
කේන්තියෙන් පිපිරෙමින් පන්තියෙහි ඉදිරියටත් පිටුපසටත් ඇවිද යමින් සිටි ගුරුවරිය "දැන් ඔයාද මෙතැන උගන්නනෙ මමද?" යි වාද්‍යා දෙසට හැරී හැකි තරං උච්ච ස්වරයෙන් ඇසුවාය. ඉනික්බිති ඇය පන්තියේ අනිත් ළමයි දෙසට හැරුණාය. "දැන් ඕගොල්ලො කියන්න මමද මේ පන්තියට උගන්නන්න ඕනි.. මෙයාද?" පන්තියේ ළමයින් මීයට පිම්බාක් මෙන් බිරන්තට්ටු වී බලා සිටියහ.
"උත්තර දෙනවා" ඈ නැවතත් මහ හඬින් ගුගුළාය. "නෑ.. නෑ.. ටීචර් තමයි අපිට උගන්නන්න ඕනි.." පන්තියේ දක්ෂ ළමයි කාණ්ඩය එක හඬින් කෑ ගැසුවහ.
"තමුන්ට ඇහුණ නේද? දැන් පන්තියෙන් පිටවෙනවා, මට මං උගන්නන දේ ඉගෙන ගන්න ළමයින්ට උගන්නන්න ඉඩ දීල" විද්‍යා ගුරුතුමිය වාද්‍යාව පන්ති කාමරයෙන් එළියට තල්ලු කළාය. වාද්‍යා පන්තියෙන් පිට වූයේ ගැහෙන දෙපයින් යුතුව ය.
ඇයටත් නොදැනීම ඇය පැමිණ තිබුණේ පන්ති කාමරයට පහළ මිදුලේ පඩි පෙළ වෙතය. එම පඩි පෙළ අවසන් වූයේ පාසල අද්දර ක්‍රිම්සන් නදී ඉවුරෙනි. ඇය එහි පඩියක හිඳගත්තාය. ඇය සිටි තැනට පාසල අද්දරින් වක් වී ගලන ගඟ යාන්තමට පෙනුණි. තරමක වැසි පැවති නිසාදෝ ඉන් එපිට වර්මන්ට් කඳුවැටිය මත ගොළු බෙල්ලන් ඇවිද ගිය පාරවල් මෙන් කුඩා දිය ඇලි වැටී තිබුණි. වාද්‍යාගේ උගුර මත යමක් සිර වී දැවෙන්නට වූයෙන් තිමිර පටලයක් බැඳෙන්නාක් මෙන් වූ ඇගේ ඇස්වලට ඉහත දර්ශන පෙනුණේ බොඳ වෙමිනි. ඉන්පසුව ඇයට විද්‍යා ගුරුවරිය වේගයෙන් වේගයෙන් විදුහල්පතිතුමාගේ නිල කාමරය වෙත යන අයුරු දැකිය හැකි විය.
එදායින් පසු විද්‍යා පාඩමට සහභාගි වූ දවසක් වෙතොත් වාද්‍යාට එය මතක හිටියේ බඹර ප්‍රහාරයකට මුහුණ දුන්නාක් මෙනි. වාග් ප්‍රහාර මාලාවකට මුහුණ පාමින් ඇගේ හිත තඩිස්සි වූ අතර හිතේ ඇනුණු බඹර තුඩු ඉවත දැමීමට ඇයට බොහෝ කාලයක් ගත විය. පාඩම් පොත පෙරලූ වාරයක් පාසා එ'තුළින් විද්‍යා ගුරුවරියගේ දිගු ඕවලාකාර මුහුණ පෙනෙන්නට වූ හෙයින් ඇය පාඩම අත හැර දැම්මාය. "මේ පන්තියෙන් විශිෂ්ට සාමාර්ථ ගැනීමට හැකියාව තියෙන්නේ මෙන්න මේ අයටයි.. " කියා පටන් ගෙන ඇය දින පතා නාම ලැයිස්තුවක් කියවාගෙන ගිය අතර ඒ අතර වාද්‍යාගේ නම තිබුණේ නැත. ඒ සෑම වතාවකම සමච්චලය පිරි මුහුණින් ඇය වාද්‍යා දෙස බැලුවාය. "ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට මිස ගුරුවරුන්ට උගන්නන්න හදන උන්ට විභාග පාස් වෙන්න බෑ.." ඇය එවන් විට උස් හඬින් ගුගුළාය.
වාද්‍යාගේ පාසල සතුව පුස්තකාලයක් නොතිබුණු අතර වර්මන්ට් නගරයේ පුස්තකාලයේ ගස් ආස්වාස ප්‍රස්වාස කරන ආකාරය විස්තර කරන ලද පොත් නොතිබුණි. වර්මන්ට් කඳුකරයේ පරිගණක පහසුකමක් නොතිබුණු අතර වර්මන්ට් තැපැල් කාර්යාලයට කලකට ඉහතදී ආධාර ලෙස ලබා දී තිබුණු පරිගණකයද තිබුණේ අක්‍රිය තත්ත්වයේය.
වර්මන්ට් කඳුකරයේ මැද හරියකට වන්නට තිබුණු වාද්‍යාගේ ගෙදර ඉදිරි පිලට වී ඇය කල්පනා කරමින් සිටියේ එබැවිනි. ඇයගේ ගෙදර අය ඔක්සිජන් ගැන දැන සිටියේ නැත. ඔක්සිජන් ගැන ඇය මුලින් ඉගෙන ගෙන තිබුණේ එය ජීවීන් ශ්වසනය කරන වායුව ලෙසය. එහෙත්, ප්‍රශ්නය පැන නැඟුණේ රාත්‍රී කාලයට ගස් ඔක්සිජන් ආස්වාස කරන්නේ නැතැයි විද්‍යා ගුරුවරිය ඉගැන්වූ තැන සිටය. ජීවිත් වීමට ශ්වසනය පැවතිය යුතු යැයි වාද්‍යා සිතූ අතර ගස් රාත්‍රී කාලයේදී ශ්වසන ක්‍රියාවලිය නවත්වන්නේ කෙසේදැයි ඇයට වටහාගැනීම දුෂ්කර විය.
අඩ සඳ එළිය ගලා ආ රාත්‍රියේ වර්මන්ට් කඳුකරය වසා ගත් වන රොද පෙනුණේ රන් දිය ඉසුවාක් මෙනි. අරමුණක් නැතිව එ දෙස බලා සිටි වාද්‍යා සුසුමක් හෙලුවාය. අතු අග හිම බිඳිති රැඳී ඇති මෙන් ඉතා කුඩා සුදු පැහැති මිදි මලින් සැරසුණු ගස හමා ආ සිහින් සුළඟත් සමඟ සෙලවෙන්නට වූයේ අත් පා ලෙළන නැට්ටුක්කාරියක මෙනි. නැට්ටුක්කාරියකට හුස්ම නොගෙන ජීවත් විය නොහැකි යැයි වාද්‍යාට ඊළඟට සිතිණ. ඔක්සිජන් කියා දෙයක් නොතිබුණා නම් තමාට මෙවැනි විපතක් කිසිකලෙක නොවන්නේ නොවේදැයි ඇය ඊළඟට වැළපුණාය.
විද්‍යා ගුරුවරිය තමාව පන්තියෙන් නෙරපීමටත් වඩා වාද්‍යාගේ හිත රිදුණේ පන්තියේ ළමයින්ද විද්‍යා පාඩමට ඇගේ සහභාගිත්වය නොරිස්සීමය. "අපෝ එයත් ඉන්නවනෙ අද.. අද ඉතින් ඉගෙන ගෙන ඉවරයි.." ඔවුහු කසුකුසු ගෑහ. මේ නිසා, විද්‍යා පාඩම වෙලාවට වාද්‍යා වැඩිපුරම හිටියේ පඩිපෙළේය. ඈ ගැන සොයා බැලීමට කිසිවකු නොවූ අතර පඩිපෙළ ළඟ බර්ච් ගසේ සෙල්ලම් කළ ලේනුන්ට ඇතැම් දිනවල කාලය ගෙවා දැමීමට ඇයට උදවු කිරීමට බැරි විය. එවන් දිනවල ඇය පඩිපෙළ බැස ක්‍රිම්සන් නදී ඉවුර වෙත ඇදුණාය.
ක්‍රිම්සන් නදියේ නිසල දිය රැඳි ඇතැම් තැනක දිය බුබුළු ඉහළ ආවේ ඔක්සිජන් බුබුළු මෙනි. නැවතෙන්නට ලොබින් මෙන් හඬ නඟමින් ඉගිල යන රොබින් කුරුල්ලෙකුගේ හඬ එවන් විට වාද්‍යාට ඇසුණි. ඉඳහිට ඉවුරෙහි වට ගල් කැටයක් දෙකක් ඇහිඳ ගෙන ඇය සෙමින් ගලා බසිනා ගඟ දියට විසි කළාය. කාල පරිච්ඡේදය අවසන් වූ බවට පාසලේ සීනු නාදය ඇසෙන තෙක් ඇතැම් විට ඇය ගඟ ඉවුරෙහි හිඳ සිටියාය.
විද්‍යා ගුරුවරිය හිටියේ නොසෑහෙන්න කේන්තියෙනි. ප්‍රශ්නයක් ඇසීම යනු තමාව අභියෝගයට ලක් කිරීමකැයි ඇය සිතුවාය. ක්‍රිම්සන් ඉවුරෙහි ඇන තියා ගෙන දෙදණ මත හිස පිහිටුවා සිටි වාද්‍යාව හැඩි දැඩි පුරුෂයෙකු විසින් අල්ලා ගන්නා ලදුව ක්‍රිම්සන් නදී බඩ ගල්තලාවකට ඇද ගෙන යන විට ද විද්‍යා ගුරුතුමිය හිටියේ වාද්‍යාට දෙස් දෙවොල් තියමිනි. විභාගය ළඟ ළඟ එන නිසා ඇය විසින් එකොළහ වසර සිසුන්ට සති අන්තයේ අමතර පන්ති පටන් ගන්නා බවත් එයට වාද්‍යා ඇතුළත් කර නොගන්නා බවත් ඒ බව වාද්‍යාට පවසන ලෙසත් ඇය කියුවාය.
වාද්‍යා කෑ ගැසූ නමුත් ගංගාවේ හෝ හෝ හඬ පැරදවීමට ඇගේ හඬට නොහැකි විය. පොර බැදීමට නොහැකිව ඈ සිටියේ අගුලු දමා මෙනි. එවිටම පාසලේ විවේක කාලයට මුල පුරමින් සීනුව නද දෙන්නට පටන් ගත් අතර කොල්ලො කුරුට්ටෝ වැසිකිළිවල තදබදය හේතුවෙන් ක්‍රිම්සන් නදී තෙරට දිව එන්නට වූවෝය. ගොදුර අත හැරි මිනිසා ගඟෙන් එගොඩ ව වහ වහා නොපෙනී ගියේය. ඇගේ ඇඳුම පොඩි වී මඩ ගෑවී තිබිණ. රළු ගල්තලාව මතට ඇදීමෙන් හීරී ගොස් තිබූ අත් පා වසඟ කර ගෙන නැඟී සිටියද වාද්‍යා සිටියේ වෙවුලමිනි. ඇගේ ඇඳුම පොඩි වී මඩ ගෑවී තිබිණ. ඇයට වචනයක්වත් කතා කර ගත නොහැකි විය. පාසැල හැර දා හති හලමින් වේගයෙන් දිව ගිය ඇය නතර වූයේ ගෙයි ඉස්තොප්පුවට ගොඩ වූ තැන ය. වැටී තුවාල වූ නිසා කලින් ගෙදර ආ බවක් ගෙදරට කීවද ඇය සතියේ ඉදිරි දින කිහිපයේදීද ගෙදරින් හෙලවුණේ නැත. ඇගේ ගමේ මිතුරියක වූ සොෆියා වාද්‍යා බැලීමට ආවේ මේ අතරය.
රාජාලියෙකු මෙන් වාද්‍යාව ඩැහැ ගැනීමට ආ මිනිසා හැඩහුරු කම අනුව නම් දින කිහිපයකට පෙර දිවි නසා ගෙන ඇති පුද්ගලයා විය යුතු යැයි සොෆියා කීවාය. කුමක් වුවද විභාගයට තව ඇත්තේ මාස කිහිපයක් පමණක් බැවින් වහාම පාසල් ආ යුතු බව සොෆියා වාද්‍යාට සිහි කර දුන්නාය. වාද්‍යා පහුගිය දින කිහිපයේම නින්දෙන් කෑ ගැසූ අතර ඇය සිහිනයෙන් ක්‍රිම්සන් නදී බඩ හිඳ සිටියාය. නොයෙක් ආකාරයේ මිනිසුන් පැමිණ ඇයට හිරිහැර කරන්නාක් මෙන් ඇයට පෙනෙන්නට වූ අතර ඇය දෙකන් වසා මහ හඬින් කෑ ගැසුවාය. ඒ සෑම විටම ඇය අවදි වූයේ දහදියෙන් තෙමී ගෙන වෙවුලමිනි. ඇය භූත දෝෂයකට හසු වී ඇතැයි සිතූ වාද්‍යාගේ සීයා ගුරුන්නාන්සේ කෙනෙකු ගෙන්වා ඇගේ අතේ නූලක් බැන්දුවේය. තව මොහොතකින් තමා ක්‍රිම්සන් නදියේ ගිලී යා හැකිව තිබූ මළ මිනියක් විය හැකිව තිබූ බව දැන සිටියේ වාද්‍යා පමණි.
වාද්‍යා සිය මිතුරිය සොෆියාගේ අත අල්ලා ගත්තාය. එහෙත් ඇය තනිව පාරෙහි යාමට පවා බිය වූවාය. ඇය හා කැටුව පාසල් යාමට සොෆියා පොරොන්දු වූවාය. සොෆියාගෙන් පාඩම් පිටපත් කර ගත් වාද්‍යා හෙමින් හෙමින් පාඩම් කිරීම ඇරඹුවාය. මලක පෙත්තක් මෙන් සුමටව සහ මටසිලිටිව තිබූ ඇගේ මෘදු හිත විභාගය පෙරටු කරගෙන හෙමින් හෙමින් දැඩි කර ගැනීමට ඇය සමත් විය.
විද්‍යා ගුරුවරියගේ සහ පන්තියේ දක්ෂ ළමයින්ගේ නොරිස්සුම තවදුරටත් ඇය තැකුවේ නැත. අනෙක් අතට ඇය පන්තිය ඇතුළේ සිටීමට වඩා පන්තිය පිටත සිටීමට බිය වූවාය. ගුරුවරියගේ ද ළමයින්ගේ ද රිදෙන සුලු වචන හදවත වැදී රිදෙන විට වාද්‍යා හවස්කල සූර්යකාන්ත මලක් මෙන් හැකිළී ගිය නමුත් වෙහෙස වී වැඩ කිරීම අත නොහැරීමට ඇය ඉටා ගෙන තිබුණාය. සිතෙහි කල්පනා එහෙ මෙහෙ යන විට ඇය හඬ නඟා පාඩම් කියවීමට කටයුතු කළාය.
කෙමෙන් කෙමෙන් අතපසු වූ විද්‍යාගාර පරීක්ෂණ යළි ග්‍රහණයට ගැණීමට වාද්‍යාට හැකි විය. වාර විභාගය ළං වන විට වාද්‍යා තරමක් යථා තත්ත්වයට පත් ව සිටියාය. ඇයට තවදුරටත් විද්‍යා ප්‍රශ්න පත්‍රය අපහසු වූයේ නැත. විද්‍යා ගුරුවරිය සමහර පාඩම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගැන්වූයේ සති අන්තයේ බැවින් වාද්‍යාට ඒවා මඟ හැරිණි. එබැවින් නොතේරෙන කාරණා කටපාඩමින් හෝ ඔළුවට දමා ගැනීමට ඇය කටයුතු කළේ රළු කළු ගලක් හා පොරබදින කම්කරුවෙකු සේ ය.
වාර විභාගයේ අවසාන දිනයේදී මුහුණ දීමට නියමිතව තිබුණේ චිත්‍ර විෂයේ ලිඛිත ප්‍රශ්න පත්‍රය ය. වාද්‍යා සිටියේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමිනි. පිළිතුරු ලිවීම අරඹා පැය භාගයක් යන්නට ඇත. විද්‍යා ගුරුවරිය විභාග ශාලාවට පැමිණියේ කෑ ගසාගෙනමය. "මෙන්න වාද්‍යා උත්තර කොපි කරනවා.." ඇගේ හඬට වාද්‍යා පවා තිගැස්සුණි. ඇය කුතුහලයෙන් යුතුව විද්‍යා ගුරුවරිය දෙස හැරී බැලුවාය. විද්‍යා ගුරුවරිය කෙළින්ම වාද්‍යාගේ මේසය වෙත පැමිණියේය. මේසයේ යට තට්ටුවේ තිබූ චිත්‍ර අච්චු පොතක් ඇය විසින් එළියට ඇද ගනු ලැබුයේ අසුරු සැණක් ගතවන්නත් පෙර ය. ඇගේ අත වැදීමෙන් වාද්‍යාගේ පැන්සල් පෙට්ටිය හඬ නඟා බිම වැටුණි.
ශාලාවේ සිටි අනෙක් ගුරුවරුද වාද්‍යා සිටි තැනට දිව ආවෝ ය. "මං මෙහෙම පොතක් දැකලවත් නැහැ." වාද්‍යා ආයාසයෙන් වචන එකතු කර ගත්තාය. "එහෙනං මමද දැකල තියෙන්නේ. කොපි කරා මදිවට තව කියවන්නත් එනවා." විද්‍යා ගුරුතුමිය වාද්‍යා වෙත කඩා පැන්නාය. "මේ මගේ පොතනෙ." චිත්‍ර ගුරුවරියගේ පොත අතට ගනිමින් පැවසුවාය. ශාලාවේ සිටි සෙසු ගුරුවරු විසින් තිදෙනාවම විදුහල්පතිතුමා වෙත යොමු කරනු ලැබුවහ.
විදුහල්පතිතුමා ඉදිරිපිට සිටගෙන සිටි වාද්‍යාගේ දෙපා වෙවුලුවේය. විදුහල්පතිතුමා හිස ඔසවා බලා "ඇයි මොකද?" යි ඇසුවේය. "මේ ළමයා මුල ඉඳන්ම ඔහොමයි. මටත් උගන්නන්න ආවා. අද වාර විභාගෙදි චිත්‍ර ටීචර්ගෙ පොත තියාගෙන කොපි කරන කොටයි අල්ලගත්තෙ.." විද්‍යා ගුරුතුමිය හුස්මක් නෑරම කියාගෙන කියාගෙන ගියාය. "චිත්‍ර ටීචර් මේ ළමයට පොත දුන්නද ඉතින්." විදුහල්පතිතුමා චිත්‍ර ටීචර්ගෙ පැත්තට හැරිල ඇහුවා. "චිත්‍ර පොත තිබ්බෙ ගුරු විවේකාගාරයෙ මේසෙ උඩ. මං දැක්කෙ නෑ මේ ළමය ඒ පොත ගන්නවා." උස හීන්දෑරි චිත්‍ර ගුරුතුමිය කිව්වා. විද්‍යා ගුරුවරීගේ මූණ පිනි ජම්බු ගෙඩියක් වගේ වෙනව කඳුළු අතරින් වාද්යාට පෙනුණා. "දැන් ඉතින් අවසාන වාර විභාගෙනේ. සාමාන්‍ය පෙළ විභාගෙට කොපි කරල අහු වුණොත් නම් ලේසි වෙන් නෑ." විදුහල්පතිතුමා බැරෑරුම් කට හඬින් කිව්වා. මොකද වෙන්නෙ කියල විදුහල්පති කාමරයේ ජනේලයෙන් එබි එබී බලන පන්තියේ ළමයි විද්‍යාට පෙනුණා. "විභාගෙට කොපි කරොත් ඔය ළමයට ආයෙ කිසිම විභාගයක් ලියන්න හම්බ වෙන් නෑ. ඒක මතක තියාගෙන වැඩ කරන්න." විදුහල්පතිතුමා කිව්වා. වාද්යාගේ ඇස්වලින් කඳුළු කඩා හැලුණා. "දැන් ඔය ළමයා යන්න." කියනවත් එක්ක වාද්යා විදුහල්පති කාමරයෙන් එළියට බැස්සා. එතැන උන් සොෆියාගෙ අත අල්ලගන්නවත් එක්ක වාද්යාට මහ හඬින් ඉකි ගැහෙන්න ගත්තා. ඉකි ගැසීම කොච්චර වැඩි වුණාද කිව්වොත් වාද්යාට වචනයක් පිට කරගන්නත් සෑහෙන්න වෙලාවක් ගියා. කොටින්ම කිව්වොත් එයාට චිත්‍ර ප්‍රශ්න පත්‍රෙන් බාගයක් විතරයි ඉවර කරගන්න පුළුවන් වෙලා තිබ්බෙ.
වාද්යා ගෙදර එන මඟ දිගට ඇඬුවා. මේසෙ යටට පොත දැම්මෙ කවුද කියල වාද්යා දැනන් හිටියෙ නෑ. මේසෙ යට පොතක් තියෙනවා එයා දැක්කෙත් නෑ. තමන් කිසි වරදක් කරල නැති වෙද්දි විදුහල්පතිතුමා අවවාදෙකුත් දුන්නා නේද කියල හිතන කොට වාද්යාට දැනුණෙ එයාගෙ උගුර කියතකින් කපන්නා වගෙයි. "එයා ඇයි එහෙම කළේ..?" වාද්‍යා ඇහුවෙ සොෆියා දිහා බලාගෙනයි. "මට නම් ප්‍රශ්නයක් වුණත් ඔළුවට එන්නෙ ටිකක් පරක්කු වෙලා. නැත්නං ඔය දේ ඔයාට නෙමෙයි මට වෙන්නත් තිබුණා." වර්මන්ට් ගොවිපළට යන පාර ළඟ නැවතිලා සොෆියා වතුර බොන්න පටන් ගත්තා. "මට පොඩ්ඩක් අඬන්න දෙන්න. ගෙදර ගිහින් අඬන්න ගත්තොත් ගෙදර අය බය වෙයි" පාර ළඟ ලී බංකුවේ වාඩි වෙන ගමන් වාද්යා කිව්වා. ඊට පස්සෙ එයා අනේ.. අයියෝ.. කිය කියා විනාඩි පහක් විතර මහ හයියෙන් ඇඬුවා. ඒක බලා ගෙන හිටි සොෆියාගේ ඇස් කඳුළු වට්ටන්නෙ නැතුව ඉන්න පුදුම සටනක් දුන්නා. හඬමින් සිටි වාද්‍යා ඊළඟට පපුව මැද පහළට අත ගාන ගමන් "දැන් හරි" කියල යාන්තමට හිනා වුණා.
වාද්‍යා ඉතිරි වෙලා තිබුණු ටික කාලයේ එක දිගට පාඩම් කළා. පාඩම් මතක තියා ගන්න එයා කෙටි සටහන් හැදුවා, චිත්‍ර ඇන්දා, කවි පවා හැදුවා.. එයාගෙ ගෙදර තැනින් තැන රූප සටහන් අලවලා තිබුණා. අනිත් අය ඔයාට කරන්න බෑ කියල වාද්‍යාට කියපු දේවල් කරන්න පුළුවන්ද බැරිද කියල ඇත්තටම තීරණය කරන්න පුළුවන් වාද්‍යාටමයි කියල වාද්‍යා විශ්වාස කළා.
සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගත්තා. වාද්‍යා විභාගෙ ලියන්න වාඩි වුණේ මේසෙ උඩ යට හැම තැනම පරික්ෂා කරලයි. එයා පාඩම් කරපු දේවල් ගොඩක් විභාගෙට ඇවිත් තිබුණා. එක දෙයක් විතරයි ආරවුලකට තිබුණෙ. චිත්‍ර අඳින්න පින්සල් ටික මේසෙ උඩ තියල වතුර ගන්න ගිහින් එන ටිකට එක නාටු පින්සලක් ඇරෙන්න අනෙක් පින්සල් ටික අතුරුදහන් වෙලා තිබුණා. වටපිට බැලුවත් එයාට කා ළඟවත් එයාගෙ පින්සල් තියෙනව පෙනුණෙ නැහැ. අන්තිමට එයාට චිත්‍ර අඳින්න තිබුණෙ නාටු පින්සලේ කෙඳි ටිකත් මිටත් විතරයි.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල එන තුරා වාද්‍යාගෙ පාසල් කාලය අවසන් වුණා. වර්මන්ට් කඳුකරයේ නිස්කලංකත්වය ආයෙමත් වාද්‍යාගේ ආත්මය පුරා විහිදුණා.
ඒ අතරේ වර්මන්ට් නගරයේ පරිගණක පාසලක් විවෘත වුණා. වාද්‍යාගේ තාත්තා පරිගණක පාඨමාලාවක් හදාරන්න වාද්‍යාට මුදල් හොයා දුන්නා. අන්තර්ජාලය පිළිබඳ පාඩමේ ප්‍රායෝගික පාඨමාලා කාල සීමාවේදී වාද්‍යා රාත්‍රී කාලයේදී ඇත්තටම ගස් ආස්වාස සහ ප්‍රස්වාස යන දෙකම සිදු කරන බව හොයාගත්තා. ඒත් එයා ඒක කිව්වේ සොෆියාට විතරමයි.
පරිගණක පාඨමාලාව අවසන් වෙද්දිම වගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා. වාද්‍යාට විෂයන් අටෙන් හතකටම තිබුණෙ විශිෂ්ට සාමාර්ථයන්. චිත්‍ර විෂයට විතරයි එයාට ඊට අඩු සාමාර්ථයක් තිබුණෙ. වාද්‍යාට දැනුණෙ මුළු වර්මන්ට් කඳුකරය පුරා විහිදුණු වන තුරු ලිය මඬුලු ඇළ දොළ හැමකක්ම එයාට සුබ පතන්නා වගෙයි.
Fiction - ෂසිකා අමාලි මුණසිංහ
Painting - Jeffrey Larson
ටීචර්ගේ චරිතය කලු වැඩිද කියලත් හිතෙනවා. හැබැයි ළමයින්ගේ මානසික වර්ධනය ගැන අවබෝධයක් නැති ගුරුවරු වැඩියි තමා.
ReplyDeleteස්තූතියි. ඊළඟ චරිත ගොඩනැඟීමේදී ඒ ගැන සලකා බලන්නම් 😊
Deleteකතාවේ හැමතැනම අපේ පාසල්වල ඉන්න සාම්ප්‍රදායික ගුරු චරිතය මැවිලා පෙනුනා. ඒ චරිත දරුවන්ගේ ඉතිරි ජීවිත කාලෙත් අහුමුලු වලින් සැරින් සැරේට හොල්මන් කරනවා. හැම තිස්සේම ස්වභාවික සෞන්දර්යත් එකතු කරලා ලියන ඔයාගේ කතා හරිම ලස්සනයි අමාලි.
ReplyDeleteගොඩක් ස්තූතියි 💖
Deleteමගේ හුස්ම නතර වුණා වගේ දැනුනා.
ReplyDeletehm.. thank you for the comment!
DeleteGood one...Keep writing....
ReplyDeleteThank you very much!!
Delete+++++++++++++++
ReplyDeleteThank you very much!!
Deleteමේ කතාව නං මැක්ස.. 👌👌👌
ReplyDeleteවිද්‍යා ටීචර් වගේ හේතුවක් නැතිව අහේතුකව කඩා පනින, කිසිම තේරුමක් හේතුවක් නැතිව තෝරාගත් ළමයින් පිරිසකට වෛර කරන, එයාලව කොන් කරන ගුරුවරියක් මටත් හම්බෙලා තියේ. ඒ වගේ අය ඉද්දි තමා අනික් අයගෙ අගය පේන්නෙ. ඒත්. ඒ වගේ කෙනෙක්ට පුලුවන් ළමයෙක්ව හොඳටම කඩල බිඳල දාන්න. ආයෙ හදන්න බැරි වෙන්නම.
මොකද වාද්‍යා වගේ රෙසිස්ට් කරන්න පුලුවන් ළමයි හරි අඩු නිසා.
මේ වගේ අය අපේ වගේ රටවල ඉන්නවා. ඇත්තටම පාසල් ගුරුවරුන්, ආයතන ප්‍රධානීන් වගේ රජයේ සේවකයන්ව කලින් කලට මානසික සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කරන්න ඕනි කියලයි මම හිතන්නෙ. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. පෑනට තීන්ත ඇවිත් තියෙන්නෙ මේ දවස්වල. ඒ නිසා ටිකක් වැඩිපුර ලියනවා. 😊
Delete